හිසමතට වැටී හදවතට රිදුම්දෙන “පතිනිවරුන්ගේ ප්‍රාර්ථනා දිව්‍ය ලෝකය ද මේ..!

මෙරට කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අළෙවිකිරීමට අවස්තාව ලබා දී තිබෙනවා.

ඒ අනුව  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එයට අදාල ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එසේම මෙම අවස්ථාව හිමි වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණක් බවද සඳහන් වෙන්වා.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීම හා මත්පැන් මිළදී ගැනීම සඳහා තිබූ තහණම ඉවත්ව යනවා.

පොල්, එළවළු, හාල්, පරිප්පු, මිලටත් වඩා මහජනතාවට දැවෙන ප්‍රශ්න එනම් පුරුෂයන්ගෙන් කාන්තාවන්ට විඳීමට සිදුවන අතවරයන් ය. නැතහොත් ගෘහස්‌ථ හිංසනයයි.

වත්මන් සමාජයේ මගී බස්‌ රථයක, දුම්රියක, හැන්දැවේ තියා මහ දවාලකවත් කාන්තාවකට නිදහසේ ගමන් බිමන් යා නොහැකි ය. පිරිමින්ගෙන් නොයෙක්‌ හිංසන සිදුවෙනවා සේම අවසානයේ එම හිංසනයට එරෙහිව කිසියම් හඬක්‌ නැගුවහොත් කාන්තාව පිටම වරද පටවා නිදහස්‌ වන්නට තරම් ඇතැම් පිරිමි සාහසික වන බවට නිතර උදාහරණ හමුවේ. එපමණක්‌ නොව පුවත්පතක්‌ නිරීක්‍ෂණය කිරීමේදී කාන්තා හිංසනය පිළිබඳ ප්‍රවෘත්ති දිනපතාම වුව ද සොයා ගැනීම අපහසු නොවේ.

කාන්තා හිංසනවලට එම කාන්තාවන් ගොදුරු වීමට හේතු කිහිපයක්‌ ද බලපානු ඇත. එකක්‌ අනියම් සබඳතා ය. ගැහැනියක්‌ විවාහක සැමියාගෙන් පරිබාහිර පිරිමියකු ඇසුරු කරන්නේ සැමියාගේ කුමන හෝ අඩුවක්‌ නිසා විය හැකිය. එසේ නොවී පාදඩකමට වෙනත් පිරිමි සොයා යන ගැහැනු ද නැත්තේ නොවේ. පිරිමින්ගේ බීමත්කම අනෙක්‌ ප්‍රධාන හේතුවයි. බීමතින් ගෙදර එන පිරිමි තම බිරිඳට පොලු මුගුරුවලින් පහර දුන්නත් ඔහුට එරෙහිව පොලිසියකට පැමිණිලි කිරීමට කාන්තාව පියවර නොගන්නේ පිරිමියා පඹයෙක්‌ වුවද, ඔහුගෙන් ඈත් වී තනිවම දරුවන් හදා වඩා ගැනීම දැලි පිහියෙන් කිරි කන්නා සේ දැඩි අවදානම් සහගත ක්‍රියාවක්‌ බව සමාජ අත්දැකීමෙන් ම දන්නා බැවිනි. එම නිසා රැයක්‌ එළිවන තුරු සැමියාගේ පහරකෑම්වලින් පීඩා වින්දත් “ඔය ඔක්‌කොම වෙරි හිඳෙනකම් විතරයි” යනුවෙන් සාධාරණීකරණය කිරීමට ද ඇතැම් කාන්තාවෙන් දක්‍ෂය. කාටත් හොරා තෙල් බෙහෙත් ටිකක්‌ ගල්වාගෙන සිතත්, ගතත් සනසා ගන්නට ඇය පෙළඹෙන්නේ ඉහත කී සමාජ අර්බුද නිවසේ අභ්‍යන්තර ප්‍රශ්නයට වඩා උග්‍ර බැවිනි. ඇතුලේ ගිනි පිටට නොදෙන බැවිනි.

මීට උදාහරණ පසුගියදා ගෙල සිරකර මරා දැමූ විනූ වෙත්තමුණි නම් නිළිය පිළිබඳ කරුණු දැක්‌වීමෙන් ද පැහැදිලි කළ හැකිය. ඇය සැමියා නොමැතිව දරුවන් සමඟ ජීවන සටන ගෙන ගිය තැනැත්තියකි. දරුවන් කුසගින්නේ හඬද්දී කළ හැකි නරකම රස්‌සාව හෝ කිරීමට ගැහැනියක්‌ පෙළඹීම අරුමයක්‌ නොවේ. ඇය යම් දෙයක්‌ කළා නම් ඒ මුදල් අවශ්‍යතාව නිසා බව තොරතුරුවලින් පැහැදිලි වේ. සැමියෙක්‌ නැති බිරිඳකගේ අනාරක්‍ෂිත බව මෙවැනි සිදුවීම්වලින් සනාථ වනු ඇත. එවැනි සමාජ පසුබිමක සමස්‌ත ජන සංඛ්‍යාවෙන් හරි අඩකටත් වඩා කාන්තා නියෝජනය තිබුණ ද කාන්තාවට අත්වන සාධාරණයක්‌ දැකිය හැකි ද?

කාන්තා කටයුතු අමාත්‍යාංශයක්‌ මේ රටේ ක්‍රියාත්මකව ඇත. එමගින් කාන්තාව සවිබල ගැන්වීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවට ප්‍රවෘත්ති නිකුත් කෙරේ. ඔවුන් මේ රටේ කාන්තාවන්ට සිදුවන අසාධාරණයන් හමුවේ ඊට විසඳුම් ලබා දීම සඳහා නොයෙක්‌ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ඇත. එහෙත් මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් අඩුම තරමේ කනගාටුව ප්‍රකාශ කිරීමටවත් ඔවුන් ඉදිරිපත් නොවීම ගැහැනුකමට ද නිග්‍රහයකි.

සාමාන්‍යයෙන් මේ රටේ කාන්තාව පිළිබඳ කතා බහ නොකරන ඇතැම් කාන්තා සංවිධාන ද මේ සති දෙක තුනේදී වැඩි වැඩියෙන් කාන්තාව පිළිබඳ කතා කරනු ඇත. ඒ මවාගන්නා ලද කාන්තා හැඟීමකින් බව මෙවැනි සිදුවීම් හමුවේ ඔවුන්ගේ නිහඬ බවින් ම සනාථ වේ. මාර්තු අටවැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කර තිබීමත්, එදිනට කුමන හෝ වැඩසටහන් ඉදිරිපත් කර ලෝකය හමුවේ පුහු හපන්කම් මවාපෑම මෙවැනි සංවිධානවල ජීවනෝපාය වනු ඇත. කාන්තාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුමක්‌ නොදෙන සමාජයක කාන්තා දිනයක්‌ සැමරීම ද නින්දිත ක්‍රියාවක්‌ නොවන්නේ ද?

මානව හිමිකම් පිළිබඳව ලොව පුරා ප්‍රශ්න ඇති කරන මේ රටේ ඇතැම් පුද්ගලයන් මන්ත්‍රීවරියට සිදු වූ සිද්ධියේ මානව අයිතිවාසිකම සම්බන්ධයෙන් මෙතෙක්‌ ප්‍රශ්න කර නැත. ගැහැනිය කුමන තරාතිරමක තැනැත්තියක වුවත් ඇයට පහර දීමේ අයිතියක්‌ තිබේද? ගෘහස්‌ත හිංසනය පිටු දකින විද්වත් කාන්තා නායිකාවන් පවසන්නේ ගෘහය ඇතුළත දී වුව ද කාන්තාවකට පහර දීමක්‌ නොව ඇය අපහසුතාවට පත්වන පරිදි බැණ වැදීමක්‌ හෝ කළ නොහැකි බවයි. එය මානව හිමිකම් කැඩීමක්‌ බව ද ඔවුහු පෙන්වා දෙති. එහෙත් මේ රටේ එවැනි පීඩනයන්ගෙන් සදාකාලික දුක්‌ විඳින කාන්තාවන්ට ඇති පිළිසරණ කුමක්‌ද? ඇය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? තමාට සිදුවන අසාධාරණය පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට යන නිර්භීත කාන්තාව එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් පැමිණිය යුත්තේ පිරිමියාගේ වහළය යටට ම නොවේද? එහෙව් යථාර්ථයක ඇය මානව හිමිකම් සොයා යනවාට වඩා ගුටි කමින් සිටීම එක්‌ අතකින් විසඳුමක්‌ යෑයි ඇය කල්පනා කිරීම සාධාරණ නොවේද?

දරුවකුට වරදකටවත් අතක්‌ ඔසවන්නට ඉඩ නොදෙන මේ සමාජය ගැහැනුන්ට හිංසා කිරීම සඳහා එක පෙළට නැගී සිටිනුයේ පාදඩ වීරකමකිනි. මේ රටේ බහුතරයක්‌ නිර්මාණකරුවන් කාන්තාවන් තාඩනයට පීඩනයට ගොදුරු වන අයුරු ප්‍රදර්ශනය කරමින් පහත් තෘප්තියක්‌ ලබනුයේ එය පිරිමින්ගේ වීරකමක්‌ යෑයි මවා ගනිමිනි. එහෙත් එය තිරිසන් සතකුවත් අනුමත නොකරන නීච ක්‍රියාවකි. පිරිමියකුගේ පෞරුෂය ප්‍රදර්ශනය වන්නේ ගැහැනියකට පහරදීමෙන් යෑයි සිතන හෝ එවැනි ක්‍රියාවන් සිදුකරන සියලු පිරිමි පයට පෑගෙන දූවිල්ලක්‌ තරම්වත් වටින්නේ නැති අධමයෝ ය. ප්‍රශ්නය එය නොවේ. එවැනි පිරිමින්ට නිදැල්ලේ හැසිරෙන්නටත් තව තව එවැනි අමනකම් කිරීමටත් නිදහස ලබා දෙන මේ රටේ නීතිය හා නීතිය රකින මහතුන්ය!

පිරිමින්ගේ පහර කෑමට ලක්‌වන හෝ මැරුම් කන ගැහැනු කුමන තරාතිරමක තැනැත්තියන් ද යන්න මෙහිදී නොසලකා හැරේ. මන්ද වරද කොතැනින් කොහොම ආරම්භ වී කුමන ආකාරයකින් එය විශ්ලේෂණය වුවත් අවසානයේ පොදු සමාජයේ පිරිමි මෙන්ම ගැහැනුන් ද ඇඟිල්ල දිගු කරනුයේ ගැහැනිය වෙතටම ය. ඒ ගැහැනියට අනියම් සබඳතා තියෙන්න ඇති. මනුස්‌සයා ඉන්න අතරේ තව අය එක්‌ක යන්න ඇති. කට හොඳ නැතුව ඇති. චරිතය හොඳ නැතුව ඇති. මිනිහත් එක්‌ක හරියට ජීවත් වෙන්න දන්නේ නැති ගෑනු ආදී වශයෙන් නොයෙකුත් විග්‍රහයන් යම් යම් සිද්ධීන් සමඟ ඉස්‌මතු වනු ඇත. එහෙත් ගැහැනියක්‌ වරදකට යොමු වන්නේ එවැනිම වූ පිරිමියෙකු සමග බව සමාජය නොසලකා හැරීම පුදුමයකි.

පිරිමිනිදු පතන – අවසරකල් රහස්‌ තැන මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරුද වරද නොබැඳෙන

මෙන්න ගැහැනිය ගැන තිබෙන සම්මත වැරදි දෘෂ්ටිය.අදත් එය දශමයකින් හෝ වෙනස්‌ වී තිබේද?

බලන්න පබා කියන කතාවේ හරය දෙසත්. ඇය ප්‍රකාශ කර තිබුණේ මං ගුටි කෑවේ මගේ ප්‍රශ්නයක්‌ නිසා බවයි. මේ රටේ මහජන බලයක්‌ හිමි වූ මහජන නියෝජිතවරියක්‌ එවැනි ප්‍රකාශයක්‌ නිකුත් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දැකීමට තරම් කාරණාවකි. වරද ඇයගේ විය හැකිය. එහෙත් අමානුෂික ලෙස ගුටි කෑමට හෝ පහර දීමට හෝ ඇය ලක්‌විය යුතු නැත. පිරිමින්ගේ වරදකදී ගැහැනියක එවැනි පහරදීමක්‌ කළහොත් එය සමාජය හෝ නීතිය භාරගන්නේ කුමන ආකාරයකින් ද මෙය ශ්‍රී ලංකාව මිස කාන්තාවන්ට එළිපිට හිංසා කරන පාදඩ ඉසව්වක්‌ නොවේ.

කාන්තා හිංසනය පිටු දකිමු, කාන්තාවට එරෙහි හිංසනය වෙනුවෙන් නැගී සිටීමට කාන්තාව සවිබල ගන්වමු, කාන්තාව වෙනුවෙන් හඬක්‌ නගමු. කාන්තා අයිතිවාසිකම් රැක ගනිමු යනුවෙන් උද්ඝෝෂණ පවත්වන මේ රටේ කාන්තා සංවිධාන කාන්තා නියෝජිතවරියට අත් වූ ඉරණම හමුවේ මුනිවත රැකීම විශ්මයකි. මෙම පහරදීම නිවසක්‌ ඇතුළත දොරගුළු ලා ගෙන සිදු වූවක්‌ නොවේ. මහමග මන්ත්‍රී ආරක්‍ෂක නිලධාරීන් ඉදිරියේදී ඔවුන් නිහඬව බලා සිටියදී සිදු වූවකි. ඔවුන්ගේ ආරක්‍ෂාව සලසා ගැනීම මිස මන්ත්‍රීවරියට ඔවුන් දුන් ආරක්‍ෂාවක්‌ නැත. එම පහරදීමේදී ඇය මරණයට පත් වූයේ නම් ආරක්‍ෂක භටයන් එහිදී ද එය පවුල් ප්‍රශ්නයක්‌ ලෙස සලකනු ඇද්ද? උන්ගේ ආරක්‍ෂාවෙන් ඇති ඵලය කුමක්‌ද? ආරක්‍ෂක නිලධාරියකු යනු කුමන ආකාරයකින් හෝ තම සේවාදායකයාට එල්ල වන අනාරක්‍ෂිත තත්ත්වයකින් ඔහු හෝ ඇය හෝ රැක ගන්නා වූ කෙනෙකි. එහෙත් මෙම මන්ත්‍රීවරියගේ ආරක්‍ෂක නිලධාරීන් සිදු කළේ අදාළ පිරිමියා මන්ත්‍රීවරියට හිතේ හැටියට පහර දී ඉවත් වූ පසු ඇයව රෝහල වෙත රැගෙන යැම නොවේද?. මෙහෙව් පොල්පිති ආරක්‍ෂකයන් මොන එහෙකට දැයි කිසිවෙක්‌ අසා තිබේද?

දැන් සිදු වූ දේ සිදු වී හමාරය. ඇය මෙයින් දේශපාලන පාඩමක්‌ උගත යුතුය. මෙවැනි හිංසනයන්ට එරෙහිව ඉදිරියට එන ක්‍රියාකාරිනියක්‌ ලෙස සිය දේශපාලන ගමන්මගට විප්ලවීය ආරම්භයක්‌ දීමට මීටත් වඩා අවස්‌ථාවක්‌ නැත. පුරුෂාධිපත්‍යයේ දඬුකඳින් ඇය නිදහස්‌ විය යුතුය.

මේ රටේ පිරිමි නිසා බැබළෙන කාන්තාවන් අතළොස්‌ස අතර පිරිමි නිසා අපා දුක්‌ විඳින ලක්‍ෂ ගණනක්‌ කාන්තාවෝ වෙසෙති. ඔවුන්ගේ ශාරීරික, මානසික පීඩනයට එරෙහිව මන්ත්‍රීවරියක ලෙස ඇය දේශපාලන හඬක්‌ නැඟිය යුතුය. පබා නමැති බොළඳ ටෙලි නාට්‍යයක්‌ ඔස්‌සේ දේශපාලනයට කඩාපාත් වූ උපේක්‍ෂාට දැන් ප්‍රබල දේශපාලන ප්‍රවේශයක්‌ තිබේ. එය කාන්තා නියෝජනයේ සුබ අනාගතයක්‌ ම වනු ඇතැයි අප මෙන්ම ඇය වෙනුවෙන් වටිනා ඡන්දය පාවිච්චි කළ මහජනතාව ද මෙතැන් සිට අපේක්‍ෂා කරනු ඇත. එසේ නොවුණහොත් මේ සිදුවීම ද පබා මෙන් තවත් රඟපෑමක්‌ පමණක්‌ වනු ඇත.

ලෝකයේ දියුණු රටවල් සමග උරෙනුර ගැටෙන්නට දිව යන මේ සමාජයේ මිනිස්‌ ආකල්ප හා චර්යා රටාවන් වෙනස්‌ නොකළහොත් අපේ රටට පමණක්‌ නොව තුන්වැනි ලෝකයේ කිසිම රටකට ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ කරා කිසිසේත් ම ළඟා විය නොහැකිය.

නිවසේ සිරිකත, උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් පූජනීයත්වයක්‌ ඇතැයි සිංහල බෞද්ධ සංස්‌කෘතික සමාජය තුළ ඔටුනු පළඳවා සිටින ගැහැනිය වටා තිබෙන මායා දැල, ඉරා දැමීම ඇගේ අරමුණ විය යුතුය. පතිනිවරුන්ගේ ප්‍රාර්ථනා ලෝකය හිස මත කඩා වැටෙද්දීත් හිමි පාමුල වැටෙන ලියෝ සිටිත්දැයි ඇය වැනි ප්‍රබල සමාජ නියෝජන ක්‍රියාකාරිනියක්‌ තමන්ගෙන්ම ඇසිය යුතු නොවේද?

Facebook Comments

more recommended stories

%d bloggers like this: