“මීඩියා” කියපු පමණින්, ගුලිය පිටින් ගිලිමු ද..?

“මීඩියා” ඒ කියන්නේ සාම්ප‍්‍රදායික මාධ්‍යයන් සහ නව මාධ්‍ය කියන දෙකම. අද වෙනකොට ලෝකය මෙහෙයවන ප‍්‍රධානතම මෙහෙයුම්කරුවා බවට පත් වෙලා. පිළිගත්තත් නැතත් අපිට මුහුණදෙන්න සිද්ධ වෙන යථාර්ථය තමයි ඒ. ඇත්තටම කියනවා නම් පරණ පොත පතේ සහ කටපාඩම් දේශන වල කිව්වාත් ‘මීඩියා කියන්නේ රටක හතරවෙනි ආණ්ඩුව’ කියලා. අද වෙනකොට තියන සත්‍යය තත්ත්වය තමයි මීඩියා කියන්නේ ගෝලීය ක‍්‍රියාත්මක බලවත්ම ආණ්ඩුව කියන එක. ඒ කියන්නේ ඒ ඒ රටවල ආණ්ඩු වලට හරි වෙනත් මොනවා හරි දේවල් වලට ඒ ඒ රටවල් වල මොන තරම් බලයක් තිබුණත්, ඒවාට ගෝලීයව තියන වලංගුභාවය මීඩියා වලට වඩා අඩුයි කියන එක. මීඩියා අද ඉන්නේ ඒ තරම්ම ප‍්‍රබල තැනක. ලෝකේට යුද්ධයක් ඕනේද එපාද කියන එකේ ඉදලා අපි කන්නේ බොන්නේ මොනවද කියන එක දක්වාම ඍජුව හෝ වක්‍‍්‍රව අපිව පාලනය කරන්නේ මීඩියා විසින්.
හැබැයි ප‍්‍රශ්නයක් තියනවා. මේ තරමටම ප‍්‍රබල මීඩියා, පාලනය වෙන්නේ කොහොමද සහ ඒවා අපිට දෙන්නේ මොනවද කියන එක.

මීඩියා සහ ඒවාගේ වැඩ කරන අය සම්පූර්ණයෙන්ම වාගේ පාලනය වෙන්නේ අර්ථපතීන්ගේ අභිලාෂයන් සහ අභිමථාර්ථයන් අනුව. (දැන් කවුරුහරි ඉස්සරහට පැනලා කීවොත් නෑ නෑ එහෙම නෑ කියලා, වීමේ වැඩි හැකියාවක් තියෙන්නේ ඒ කියන කතාව සත්‍යයක් වීමට වඩා ඒ කියන ආයතනය මාධ්‍ය ආයතනයක් නොවීමට ඇති හැකියාව වැඩි වීමයි.* ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ හැමෝටම සිද්ධ වෙනවා අර්ථපතීත්වයේ හද ගැහෙන රාවයට හුස්ම ගන්න. අර්ථපතීන් වමට කියනකොට වමටත් දකුණට කියනකොට දකුණටත් සිග්නල් දාන්න. ඒක ලෝකය පුරා සිද්ධ වෙන්නේ අද ඊයෙක ඉ`දලා නෙවෙයි. ලෝකේ මීඩියා බිහිවුණු දවසේ ඉදලාම සිද්ධ වෙන්නේ ඒක තමයි.

ඒ කියන්නේ මෙහෙම එකක්. ලෝකේ සිද්ධවෙන ඕනම සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යකාරයෝ ඒ සම්බන්ධයෙන් දකින දේ සහ ඒ සම්බන්ධනේ තමන්ට වාසි කෑල්ල අපේ අතුරුමුහුණත වුණු පත්තරේ හරි ටීවී එක හරි වෙබ් එක හරි වෙනත් මොකක් හරි මාධ්‍යයක් හරි හරහා එළියට දානවා. ඒක මට සහ අපිට අදාලව එක විදිහක්. තව කෙනෙක්ට සාපේක්ෂව තවත් විදිහක්. ඔය න්‍යාය හෝ පොදු ධර්මතාවය ලයික්ස් පහක් හයක් තියන ෆෙස්බුක් පේජ් එකක ඉ`දලා බීබීසී සීඑන්එන් දක්වා ම පොදු එකක්. සීඑන්එන් එක අමරිකානු දේශපාලනය සම්බන්ධයෙන් දක්වන්නේ තමන්ට වාසි විග‍්‍රහයක්. අන්න ඒ නිසයි ට‍්‍රම්ප්ට සීඑන්එන් එකත් සීඑන්එන් එකට ට‍්‍රම්ප්ත් එහෙම පිටින්ම වහකදුරු වෙලා තියෙන්නේ. ලෝකප‍්‍රසිද්ධ මේ රහසේ ඉදලා හැම දේශයකටම හැම දීපයකටම හැම කොදෙව්වකටම මේක සත්‍යයක්.

‘අරකේ මෙහෙම තිබ්බා’, ‘මේකේ මෙහෙම තිබ්බා’ ඒ හින්දා මේක තමයි ඇත්ත වගේ ඒවා දැන් අපේ ආශ්වාසය ප‍්‍රාශ්වාසය තරම්ම අපේ ජීවිතේ කෑලි බවට පත් වෙලා. දීර්ඝ කාලයක් තිස්සේ අපි පුරුද්දක් හැටියට මේ වැඬේ ම කරපු නිසා, දැන් අපි දන්නවා අපිට වාසි නිව්ස් දාන ඒවා, අපිට වාසි දේවල් කරන ඒවා මොනවද කියලා. ඉතිං අපි දැන් දැන් ගුලිය පිටින් ගිලින්න අපි කැමති අපිව තෘප්තිමත් කරන තැනුත් හොයාගන ඉන්නේ. ඒ නිසා, ඕනම එකක් සම්බන්ධයෙන් ඇත්ත හෝ යථාර්ථය හොයනවට වඩා අපි පෙළඹිලා ඉන්නේ අර සයිට් එකේ, මේ පේජ් එකේ මොනවද කියන්නේ කියලා බලන්න. ඇත්ත හෝ නැත්ත, ඉතිං ඊට පස්සේ අපි ඒ නිශ්චිත ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දරන්නේ අර සයිට් එකේ හරි අර පේජ් එකේ හරි මතය. ඒ කියන්නේ ඒවායේ බැක්එන්ඞ් එකේ ඉන්න යම් නිශ්චිත වාසිසහගත අරමුණක් වෙනුවෙන් වැඩ කරමින් ඉන්න ඇඞ්මින්ලාගේ මතය.

මෙහෙමයි. මීඩියා විතරක් නෙවෙයි, ලෝකේ පුරා තියන හැම ගනුදෙනුවකදීම අනෙක් කෙනා උත්සාහ කරන්නේ අපිව අන්දවන්න. අපි කවුරුහරි එක්ක කරන ගනුදෙනුවකදී වුණත් අපි බලන්නේ අපිට වාසි කෑල්ල එළියට දාලා අපේ වාසිය තියාගෙන ඒ ගනුදෙනුව කරන්න. ඉඩමක් විකුණන්න ගිහාම නැති වතුර මවලා පෙන්නනවා. වාහනයක් විකුණන්න ගිහාම මීටරේ ආපස්සට කරකවනවා. අතරමාරුවක් කරගන්න ගිහාම වෙට්ටු දාන වංගු දාන ප‍්‍රමාණය අප‍්‍රමාණයි. දීගයක් දෙන්න ගිහාම කියන දේවල්. ඔව් ඒ ඔක්කෝම කියන කෙනා කියන්නේ තමන්ගේ වාසි කෑල්ල. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ඒ කියන දේ තමයි නිරපේක්ෂ සත්‍යය කියලා. අපි කෙල්ලෙක් දීග දෙන්න යනකොට මනමාලයාට කරන දේම තමයි නිව්ස් එකක් ගහන්න ගිහාම මීඩියා කරන්නෙත්.

දැන් ඉතිං මොකද කරන්නේ.

දැන් මොකද්ද විසදුම. ඔව්. ඇත්ත දැනගන්න අවශ්‍යයි නම් සහ ඇදගන්න කැමති නැත්නම් එක දෙයයි කරන්න තියෙන්නේ. ඒ තමයි දීගයක් දෙන්න යනකොට හරි කසාදයක් කරගන්න යනකොට හරි කරන උපක්‍‍්‍රම මීඩියා අයිටම්ස් සම්බන්ධයෙන් පවා අපිට කරන්න වෙනවා. ඒ තමයි, ගුලිය පිටින් ගිලින වැඬේ නවත්තන එක.

මේ ගුලිය පිටින් ගිලින්න පුරුදු වීම සහ එසේ කිරීමට ඇබ්බැහි වීම හා කිරීම තුළ මිනිස්සුන්ගේ තිබුණු යමක් සම්බන්ධයෙන් තියන පර්යේෂණාත්මක ගුණයන් සීඝ‍්‍රයෙන් හීන වීගෙන යනවා. මොකක් හරි පේජ් එකක ශෙයාර් වෙලා තිබුණොත් ‘ඉරවල් දෙකක් පායලා’ තියනවා කියලා, ගෙදරින් එළියට බැහැලා අහස දිහා බලලා ඇත්තටම එහෙම එකක් සිද්ධ වෙලාද කියලා බලන්නැති අපි, අර නිව්ස් එක එක ක්ලික් එකකින් ශෙයාර් කරලා ඔව් ඔව් ඉරවල් දෙකක් පායලා තමයි කියලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න තැනකට පවා පත්වෙලායි ඉන්නේ. ලංකාවේ ජනාධිපති වෙන්න විවාහකයෙන් වෙන්න ඕනේ කියන කතාව ඔය ජාතියේ ප‍්‍රසිද්ධ එකක්. ‘ඔව් ඔව් එහෙම තමයි’ කියන කිසිම කෙනෙක් ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවක් හරි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාල පනතක් පෙරළලා ඒක ඇත්තද, එහෙම එකක් තියනවාද කියලා බලලා නෑ. අනිත් එක තමයි ‘උප්පැන්නේට බෞද්ධ’ කියන කතාව. හැමෝගෙම ගෙදර පෙට්ටගමේ තියන උප්පැන්නේ අරගෙන ඒකේ එහෙම එකක් තියනවාද කියලා නොබලා, මේ ජනප‍්‍රිය මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතාම සරලව අතට අරගෙන බලන්න පුළුවන් මේ වගේ දේවල් සම්බන්ධයෙනුත් අපේ හැසිරීම එහෙම එකක් නම් අනිත් ඒවා ගැන කවර කතා ද. නේද.

ඒ නිසා අවසනුවත් යෝජනා කරන්න තියෙන්නේ, ලෝකේ ලොකුම එකේ ඉදලා ලෝකේ පොඩිම එක වෙනකල් සියලූම මීඩියා එලියට දාන්නේ තමන්ට ඕන එක. සහ තමන්ට පේන එක. හැබැයි, ගුලිය පිටින් ගිලින්න කළිං, ඇත්ත ඒකද කියලා පොඞ්ඩක් හොයලා බලන එක අපිට අදාල වැඩක්. සහ අපි කළ යුතු වැඩක්.

~ Bharatha Prabhashana Thennakoon

Facebook Comments

more recommended stories

%d bloggers like this: