දැන් ඇත්තේ දේශපාලුවන්ගේ ත්‍රස්තවාදය අවසන් කිරීමට ප්‍රවිශ්ඨ වීමයි.

ප‍්‍රභාකරන් හෝ විජේවීර අහම්බයෙන් අහසින් කඩා වැටුණු අය නොවන අතර මේ රටේ සමාජ ආර්ථික හා දේශපාලන හේතූන් විසින් බිහිකරන ලද පුද්ගලයන් දෙදෙනකු ලෙස සැලකිය හැකි කරුණකි. රටක ආර්ථික, සමාජීය ප්‍රශ්න උඩ බාහිර සමාජයේ කැරැල්ලක් ඇතිවීමට ඉඩ නොලැබෙන ලෙස ක‍්‍රියාකිරීම ශීලාචාර රාජ්‍යයක වගකීමය. මිනිසුන්ගේ බදු මුදල් වලින් පාලනය වන රාජ්‍ය යාන්ත්‍රණයක වගකීම එයය. එහි තේරුම කැරැල්ලක් ඇතිවීමට ඉඩ නොලැබෙන ආකාරයේ හැඩිදැඩි පාලනයක් ගෙන යා යුතු බව නොව, කැරැල්ලක් ඇති කිරීමට බලපාන හේතු ඇතිවීමට ඉඩ නොලැබෙන ලෙස රාජ්‍යය ක‍්‍රියා කළ යුතු බවය.

එහෙත් මෑත ඉතිහාසය දෙස බැලීමේදී අපේ රටේ කැරලි ඇතිවීමට අවශ්‍ය හේතු සම්පාදනය කරදීමට තරම් රාජ්‍ය සහ පාලකයන් අඥාන වී ඇතිවා පමණක් නොව ඒවා මතින් තම දේශපාලන න්‍යය පත්‍රය එලාගෙන තම බල තණ්හාව සංසිඳවා ගැනීමටද ඔවුන් ක්‍රියා කර තිබෙනවා සහ තවමත් ක්‍රියා කරමින් සිටින බව පැහැදිලිය.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ජනතා මුදල් වැයකොට ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ එමගින් රටේ පාලනය ගෙන යෑම දියුණු රටවලට උචිත වූවත් තුන්වෙනි ලෝකයේ අපේ රට වැනි ගෝත්‍රික සිතුවිලි සහ වහල් සිතුවිලි වලින් නිමග්නව පවතින ජනතාවක් සිටින රටකට තාමත් ගැලපී නැත. එහි වාසය උපයෝගී කරගෙන දේශපාලන පොරපිටිය තුළ විවිධ ප්‍රශ්න ගෙන එමින් රටක විසඳිය යුතු සැබෑ ප්‍රශ්න යටගසමින් ධනය සහ බලය උදෙසා සෙල්ලමක් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්ත්‍රික සමාජවාදී ජනරජයේ මෙතෙක් සෑම දේශපාලකයෙක් විසින් කරගෙන ඇවිත් තිබේ. වර්තමානයේද කරගෙන යමින් තිබේ.

මැතිවරණයක් ලංවිමත් සමගම ගෝත්‍රික සිතුවිලින් ජන මනස පුරවාගෙන නිල්, රතු, කොළ ආදී විවිධ පාට පක්ෂ වලට ජනතාව බෙදෙන්නේ එම තමා නියෝජනය කරන කඳවුරේ ඇති ප්‍රතිපත්ති හෝ වෙනයම් තින්දු තිරණයක් ගැන හාන්කවිසියක්වත් නොදැන වන අතර හුදෙක්ම තමා කවරෙකුගේ හෝ දේශපාලන අතකොලුවක් වෙමින් තාවකාලික වින්දනයක් ලබා දීමට පමණක් එම ජනතාව දේශපාලකයන් විසින් භාවිතා කරනු ලබනවා.

ඉන්පසු කිසියම් හෝ හේතුවක් නිසා ජය ලැබුවොත් එම පිලේ සිටි අයවලුන් තමන් අනිත් අය ඉදිරියේ අමුතු සත්වයෙක්, අමුතු රැස් විහිදෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ දීර්ඝකාලීනව තමන්ට සිදුවෙන දෙයවත් නොදැනයි. ඉන්පසු මාස දෙක තුනක් ගත වූ පසුව සැබෑ තත්වය අවබෝධ වන නමුත් මෙම චක්‍රය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නොකඩවා සිදුවෙමින් පවතියි..

වර්තමානයේදී දියුණු රටවල එම රටේ පාලනය තන්ත්‍රය මහල්ලන්ගෙන් තරුණ කොටස් අතට පත් වෙන අයුරු රැල්ලක් ලෙසින් සිදුවෙමින් පැවතියත් අපේ රටේ එවැනි දෙයක් සිදුවෙතැයි හීනකින්වත් සිතිය නොහැකිය. එයට හේතුව තවමත් එවැනි වූ දේශපාලන පරිවර්තනයකට සූදානම් වීමක් ප්‍රදේශීය මට්ටමින් හෝ දක්නට නොමැතිවීමයි.

දහසකුත් පොරොන්දු රාශියක් මහජනතාවට පොරොන්දු වෙමින් 2015 දී බලයට පත් වූ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පසුගිය පාලකයන් හා සමවෙමින් එම මගෙහිම නොයනු ඇති බවට තවමත් සමාජයේ මලානික වෙමින් පවතින සියුම් බලාපොරොත්තුවක් තිබෙනවා. එහෙත් දූෂිතයින්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය තුළ පතිවන ඩීල් දේශපාලන වටපිටාව තුළ වැරදි කරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය පිළිබඳ ජනතාව පසුවන්නේ සතුටකින් නොවේ.එයට උදාහරණ ඕනෑ තරම් තිබේ.

“ඉදිරියට එන්නේ සංවාදය සඳහා වැඩි ඉඩ කඩක් ලබා දිය යුතු කාලයකි..!

අපි අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක්, අලූත් නීති, අලූත් ආචාර ධර්ම ඇති කිරීමේ අලුත් න්‍යාය පත‍්‍රයක් සමගින් නව රටක් සඳහා ගොනු වෙමින් සිටින්නෙමු. එය පිළිගැනීමට පුරවැසියන්ව සූදානම් කිරීම ඒ අදාළ අංශ වලින් සිදුවන්නේ දැයි විමසා බැලීම ඉතා අගනේය.අපට නම් දක්නට ඇත්තේ ව්‍යවස්ථාව පිළිබඳ සංවාදය කෙසේ වෙතත් කෙටුම්පත් කිරීමට බලාපොරොත්තු වන ව්‍යවස්ථාව ගැන කිසිම විදිහේ සන්නිවේදනයක් සිදු නොවන බවයි.

මේ සෑම කාරණයකදීම වැදගත් වන්නේ පක්‍ෂ,විපක්‍ෂ සෑම පාර්ශ්වයකටම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට,වාද විවාද කිරීමට ඉඩ කඩක් ලබා දී එහි සත්‍ය,අසත්‍යතාවය ගැන පුළුල් වූ සමාජ කතිකාවතක් ඇති කිරීමය.විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් නිර්මාණය කර ගැනීම වූ කලි මුළුමනින් ම සත්‍ය සංවාදයක් තුළින් ගොස් පක්ෂ,විපක්ෂ මත එකට එක්වී සියල්ලෝම එකඟ වීම මත කළ යුතු දෙයකි. එහෙත් අවසනාවකට තාවකාලික දේශපාලන බලය මත පදනම් වී රටේ තීන්දු තීරණ ගැනීම සහ සමහර යහපත් තීන්දු තීරණ විවේචනය කිරීම නිසා ආපස්සට යන්නේ අපේ රටයි.

මිහිඳු ෆොන්සේකා

Facebook Comments

more recommended stories

%d bloggers like this: