දරුවා පාසලට දමා අම්මා ගිය ‘රහස් ගමන’ – පළමු කොටස

“ළමයි ඉස්කෝලෙ එක්ක එන සමහර අම්මලාගේ සෙල්ලං ගැන දැන ගන්න ඕනද?” පසුගිය දිනක ජා ඇල ප්‍රදේශයේ මගේ හිත‍වතෙක් ඇසීය. ඔහු සත්ව ගොවිපළක් පවත්වාගෙන යන්නෙකි.

“මේවා පත්තර වලට දාලා රටට එළිකරන්නම ඕන දේවල්. නැත්නම් අපේ සමාජෙ ඉවරෙටම ඉවරයි.” හෙතෙම කීය.

“මම තව පැය භාගෙකින් එන්නම් ඔයාව එක්ක යන්න; ලෑස්ති වෙලා ඉන්න.” ඔහු ඒ සමඟම කීයේ මගේ සිත තුළ පැවැති කුතුහලය දෙගුණ තෙගුණ කරමිනි. පොරොන්දු වූ පරිදිම මගේ එම හිතවතා පෙරවරු 11.00 ට මා සොයා ආවේය. ඉන්පසු ඔහු දිගු කළ හෙල්මටයද පැලද මම ඔහුද සමඟ ඔහුගේ මෝටර්සයිකලයෙන් එම ගමනට මුල පිරුවෙමි.

එය ජා ඇල ට මඳක් නොදුරින් කොළඹ – මීගමු පාර හා සම්බන්ධවන අතුරු මාර්ගයකි. මාද කැටුව එම අතුරු මාර්ගය ඔස්සේ මෝටර්සයිකලයෙන් තරමක් දුර ගිය හෙතෙම එක්තරා ස්ථානයක එය නතර කළේය. ඒ අද්දර මාර්ගයෙන් තරමක් ඔබ්බට වන්නට පිහිටි ‍’ගෙස්ට් හවුසියක්’ තිබිණ.

“ඔන්න බලන්න 11.30 වෙන කොට මොකද වෙන්නේ කියලා.”

ඔහු කීයේ මට කිසිවක් තේරුම් ගත නොහැකි දෙයකි.

මුත් ඔහු කී ලෙසම පෙරවරු 11.30 ට විශේෂ දෙයක් සිදුවූයේ නැත. එහෙත් ඉන් විනාඩි දහයකට පසු එනම් 11.40 ට එම ගෙස්ට් හවුසිය දෙසින් ආ කාන්තාවන් පදවන ස්කූටරයක් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය විය.

“වැඩේ හරි”

ඒ සමඟම කී මගේ හිතවතා එම මෝටර්සයිකලයට මඳ දුරක් ඈතින් මාද නංවාගත් තම මෝටර් සයිකලය ධාවනය කළේය. එම කුඩා ස්කූටරයේ දෙදෙනෙකු ගමන් කළ අතර එය පදවන ලද්දේ පිරිමියෙකු විසිනි. එහි පිටුපස කාන්තාවක් වාඩි වී සිටියාය. ඇය අත්දිග බ්ලව්සයක් සහ කළු දිග කලිසමක් ඇද සිටිණු පෙණින. මුත් පැළදි හෙල්මට් නිසා ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට මට නොහැකි විය.

එසේ ගමන් කළ ඔවුන් දෙදෙනා රැගත් මෝටර් සයිකලය කොළඹ – මීගමුව ප්‍රධාන පාරට මීටර් 20 ක් පමණ මෙපිටින් නතර කෙරිණ. ඉන්පසුව සයිකලයෙන් බැස ගත් පිරිමියා තම හිස රැඳි හෙල්මට්ටුව ගලවා එම කාන්තාව අතට දී අඩියට දෙකට එතනින් නික්මුණි.

ඉන්පසුව ඔහු කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ ගමන් කරමින් තිබූ මීගමුව දෙසට යන බසයක එල්ලෙනු මම යාන්තමින් දුටුවෙමි. ඉන්පසු එම පිරිමියා දුන් හෙල්මටය තම මෝටර් සයිකලයේ අසුනට යටින් ඇති බක්කියේ බහා ලූ එම කාන්තාව එය පණගන්වා ගමන් ආරම්භ කලාය. ඇගේ ගමන අවසන් වූයේ විද්‍යාලයක් ඉදිරිපිටින් බව ඇයට රහසින් ඇගේ පසුපසින් ගිය අපට මනාව දැකිය හැකි විය.

ඒ වන විට එම පාසලේ ගේට්ටුව අසල එවැනි ස්කූටර් රථ, ත්‍රිරෝද රථ, මෝටර් රථ, සැලකිය යුතු සංඛ්‍යාවක් නතරකොට තිබූ අතර එහි සිටි ඇගේ සමවයසේ කාන්තාවන් විසින් ඇය ආදරයෙන් පිළිගන්නා අයුරුද අපට දක්නට ලැබිණ.

“මෙයා සතියකට සැරයක් ඔය වැඩේ කරනවා.”

“නමුත් මෙයාගෙ මේ හැසිරීම් අනික් අයට තේරෙන බව මෙයාට වැ‍ටහෙන්නේ නැහැ. ලියාපදිංචි අංකයක් තියෙන වාහනයකින් රහස් වැඩක් කරනකොට එයාව පහසුවෙන් හඳුනාගන්න පුළුවන් කියන කාරණය මෙයා දන්නේ නැහැ.”

මගේ හිතවතා කීය.

“මෙයා ඔය ගෙස්ට් හවුස් එකේ ඉන්න බව ඔයා කොහොමද දැනගත්තේ?”

මම විස්මයෙන් යුතුව ඔහුගෙන් ඇසීමි.

“මම නිතරම මේ පාරේ එහෙ මෙහෙ යන කෙනෙක්. අද උදෙත් ඔය ජෝඩුව ඔය ගෙස්ට් හවුස් එකට යනවා මම දැක්කා. මීට කලිනුත් ඔය දෙන්නා ඔය විදිහට යන හැටි මට හොඳට දැකලා පුරුදුයි. ඔය දෙන්නා හැමදාමත් උදේ වරුවේ ඔය ගෙස්ට් හවුස් එකේ ඉදලා දවල් 11.30 ට ඔය විදිහට ඔතනින් එළියට එනවා. මොකද එයාගේ බබාව දවල් 12.00 ට ඉස්කෝලෙන් ගන්න ඕන නිසා. මේක මං වගේ කෙනෙක් දැක්ක හින්දා හොඳයි. මේ වගේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න කෙනෙක් මේක දැක්කනං මෙයාව ‘බ්ලැක්මේල්’ කරන්න පුළුවන් නේද?”

මගේ හිතවතා ඇසීය.

ඔහුගේ කතාව පූර්ණ සත්‍යයකි. “දරුවා පාසලේ අම්මා හෝටලේ” යනුවෙන් මීට දශක කිහිපයකට පෙර ඇරඹි සමාජ කතිකාවේ නවතම පරිච්ඡේදයක් ඇරඹීමට මට හැකි වනුයේ මෙම සිදුවීමත් සමඟිනි. ඒ අනුව මම දරුවන් පාසල් ගෙනෙන ඇතැම් තරුණ මවුවරුන්ගේ මෙම අවිචාරමත් ක්‍රියා කලාපය සහ එමගින් සිදුවන පවුල් සහ සමාජමය හානිය පිළිබඳ නවතම ගවේෂණයකට මුලපිරුවෙමි.

තවත් තොරතුරු බලාපොරොත්තුවන්න…..

ප්‍රසංග පෙරේරා – ජා ඇල

Facebook Comments

more recommended stories

%d bloggers like this: