දේශපාලනඥගෙන් තවත් වන විනාශයක් “නිලාවේලි වන විනාශය”

කුච්චිවලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලාවේලි සංචාරක ප්‍රවර්ධන කලාපය තුළ පසුගිය පාලන සමයේ සිදු වූ කළපු ගොඩකිරීම් වත්මන් පාලනය යටතේ ද එලෙසම සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කරති.

කලපු බදු දීම, කඩොලාන විනාශය සහ තදාසන්නව ඇති වනාන්තර එළිපෙහෙළි කර ජනාවාස ඉදිකිරීම් නිසා විශාල පරිසර හානියක් සිදු වෙතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
කලපු ගොඩ කිරීම නිසා සිය ජීවනෝපාය ද අහිමි වී ඇති බවට කලපු ධීවරයෝ මැසිවිලි නගන අතර, එමගින් තමන්ට ද අහිතකර බලපෑම් එල්ල වී ඇති බව සංචාරක හෝටල් හිමියන් පිරිසක් පවසති.
ත්‍රීකුණාමල ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර කියා සිටියේ පැවති රජයෙන් කළ වැරදි නිවැරදි කරනු වෙනුවට වත්මන් රජය ද පරිසර විනාශයට තවත් අනුබල දී ඇති බවය.

“අරිසිමලේ කැළෑවේ අක්කර දහසකට වඩා ඩෝසර් කර පවුල් අටසීයක් පමණ පදිංචි වී සිටිනවා. මෙහි අවසානයක් තවමත් නෑ. අක්කර එක්දහස් අටසිය පහකින් යුත් සලපයාර් කලපුව ලුණු ලේවායක් සඳහා බදු දුන්නේ පසුගිය ආණ්ඩුවෙන්.”

“සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක් වු එහි තිබූ කුඩා දූපත් අද දකින්නට නෑ. වර්ග විස්සක පමණ සියළුම කලපු මසුන් වඳවී ගිහින්. කඩොලාන ශාඛ විනාශ කරලා. කලපුව ලුණු ලේවායක් කිරීම නිසා එහි මසුන් ඇල්ලූ ධිවර පවුල් පන්දහසකට පමණ රැකියා අහිමි වෙලා,” යනුවෙන් පරිසිරවේදී අනුර බණ්ඩාර පැවසීය.

සංචාරක ප්‍රවර්ධන කලාපය තුළ ඇති කැළෑ ඉඩම්වල කෝවිල් සහ සුසාන භූමි ඉදිවෙමින් පැවතීම සංචාරක හෝටල් හිමියන්ගේ අප්‍රසාදයට හේතු වී තිබේ.
සංචාරක හෝටලයක් ඉදිකරගෙන යමින් සිටින නීරංග වික්‍රමසිංහ සඳහන් කළේ ශබ්දවාහිණී යන්ත්‍ර උපයෝගි කරගනිමින් කෝවිල්වල පැවත්වෙන දේව පූජා සංචාරකයන්ගේ නිදහස් විවේකයට බධාවක් වී ඇති බවය.

“මගේ හෝටලයට යාබදව අක්කර දෙකක භූමි ප්‍රදේශයක කෝවිලක් ඉදිකරනවා. තවත් ටිකක් ඈතින් අක්කර හතරක කනත්තක් හදනවා. ඇත්තටම මේවා කාට යාතිකා කරන්නද? කවුරු භූමිදාන කරන්නද? මම ත්‍රීකුණාලේ දිසාපතිතුමාට මේ ගැන පැමිණිළි කළා. එතුමා මගේ අදහස පිළිගන්නවා නමුත් විසඳුමක් නෑ. මේ තත්ත්වය යටතේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්ද ?” යනුවෙන් නීරංග වික්‍රමසිංහ ප්‍රශ්ණ කරයි.

“යම් යම් පුද්ගලයින් විවිධ අයුතු ක්‍රම මඟින් රජයේ ඉඩම් අත්පත් කර ගැනීමක් තමයි මෙතැන සිද්ද වෙන්නේ,” යනුවෙන් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
එරක්කණ්ඩි ගම් සීමාවේ ඇති කළපුවක කඩොලාන මායිම සහ අක්කර සියයක පමණ කැළෑ ප්‍රදේශයක් ඩෝසර් යන්ත්‍ර යොදා එළිපෙහෙළි කර පැල්පත් ඉදිකර ඇති ආකාරය ඡායාරූප ඔස්සේ දැකගත හැක.
එමෙන්ම එම ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ මායිම් ගල් පවා පෙරලා දමා තිබේ.

ගෙවීගිය විසි වසර තුළ පස් වතාවක්ම ඉඩම් කච්චේරී පැවතියත් අනු පවුල්වලට පදිංචිය සඳහා ඉඩම් නොදුන් බැවින් වෙනත් පුද්ගලයෙකු විසින් එළි පෙහෙළි කරන ලද එම ඉඩමේ තාවකාලික පැල්පත් අටවා ගෙන ඒවායේ පදිංචි වූ බව එරක්කණ්ඩි ගම්වැසියෝ බීබීසී සිංහල සේවය වෙත පැවසූහ.

“බැරිම තැන ඒ ඉඩමේ පදිංචි වුනා. ඔස්ට්‍රේලියාවේ පදිංචි අයෙකුට අයත් අක්කර අසූ එකක පුද්ගලික ඉඩමකට බලෙන් ඇතුලු වුනා කියලා ප්‍රාදේශීයය ලේකම් සහ පොලීසිය අපේ ගමේ එකසිය විසි දෙදෙනෙකුට විරුද්ධව නඩු දැම්මා. ඔස්ට්‍රෙලියාවේ පදිංචි කෙනාට මෙහෙ අක්කර අසූ එකයි. අපට බිම් අඟලක් නෑ. කලපුවේ කඩොලාන ඩෝසර් කරපු ඒ පුද්ගලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුනෙත් නෑ,” යනුවෙන් ගම්වැසියෙකු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් කුච්චිවලී ප්‍රාදේශීය ලේකම් පොන්නම්බලම් ධනේශ්වරන් කියා සිටියේ තම බල ප්‍රදේශයේ සිදුවෙන අයුතු ඉඩම් අත්පත් කරගැනීම් සඳහා ඇතැම් ඉහළ නිළධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ ද මැදිහත්වීමක් ඇති බවය.

“මම පරිසර වනාශයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. නමුත් සමහර ඉහළ නිළධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ බලපෑම් නිසා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අපහසුයි. කැළෑව ඇතුලේ තිබුන බුල්ඩෝසර් කීපයක්ම අත්අඩංගුවට ගත්තා. පසුව චෝදනාවක් නැතුවම නිදහස් කරන්න සිදුවුනා. මේ සිද්ධියෙන් අපහසුතාවයට පත්වුනේ මම. සමහරු දුරකතනයෙන් තර්ජනය කරනවා,” යනුවෙන් කුච්චිවලී ප්‍රාදේශීය ලේකම් පොන්නම්බලම් ධනේශ්වරන් වැඩිදුරටත් කියා සිටියේය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: