වැලන්ටයින් නිසා මුස්ලිම් රටවල යුධ බිය පැතිරෙයි – “අපි මුස්ලිම්..අපිට වැලන්ටයින් එපා “කියමින් උද්ඝෝෂන

අපේ රටට කොහෙත්ම අදාළ දෙයක් නොවුණට මේ විදිහට වැලන්ටයින් දිනය සමරන්න අපේ රටේ තරුණ තරුණියන්ටවත්, වැලන්ටයින් දිනයේ නාමයෙන් පාරිභෝගිකයින්ගේ ඉණ ඉහ අතගා ගන්න අපේ රටේ වෙළෙන්දන්ටවත් අපේ රටේ නීතිරීතිවලින් තහනමක් නෑ. හැබැයි හැම රටකම එහෙම නිදහසක් වැලන්ටයින්ට නෑ. සමහර ඉස්ලාමික රටවල වැලන්ටයින් කියන්නේ තහනම් උත්සවයක්. පාකිස්තානයේ ඒ වගේ රටවල් අතරින් එකක්.

පාකිස්තානු මාධ්‍ය පාලන ආයතනය විසින් ඒ රටේ කිසිම රූපවාහිනී නාලිකාවකටවත්, ගුවන් විදුලි නාලිකාවකටවත් වැලන්ටයින් දිනයට අදාල වැඩසටහනක් ප්‍රචාරය කිරීම තහනම් කියලා නිවේදනයක් නිකුත් කළේ පසුගිය සතියේ. ඒ නිවේදනය නිකුත් කළේ අධිකරණ නියෝගයකට අනුවයි.

පාකිස්තානු විද්‍යුත් මාධ්‍ය පාලන අධිකාරිය මේ තහනම ගැන කියවෙන නිවේදනය නිකුත් කළේ පසුගිය සතියේ බදාදා. මේ නිවේදනයට අදාළ අධිකරණ නියෝගය ලැබෙන්නේ පසුගිය අවුරුද්දේ ඉස්ලාමබාද් ශ්‍රේෂ්ඨාධිකරනයෙන්.

ආදරය වෙනුවෙන් දිවි පුදපු කතෝලික සාන්තුවරයා වැලන්ටයින්ව සමහර එක පාකිස්තානයේ මුස්ලීම් ජනතාව අතරත් පසුගිය කාලයේ වේගයෙන් ජනප්‍රිය වුණා. අපේ රටේ වගේම පාකිස්තානයේත් වෙළෙන්දෝ වැලන්ටයින් පිහිටෙන් හොඳට සල්ලි හම්බකළා. ලැගුම්හල්වල ආදරවන්තයින් වෙනුවෙන් විශේෂ පැකේජ පවා වෙන් වුණා. පාකිස්තානය පුරා පැතිරිලා යන මේ වැලන්ටයින් උමතුවට ඒ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් වැඩිහිටියෝ ඒ හැටි කැමැත්තක් දැක්වුවේ නෑ.

ඒ අකමැත්ත නිසා අබ්දුල් වහීඩ් කියන පුද්ගලයා 2017 මුල් භාගයේදීම මේ වැලන්ටයින් සැමරුම්වලට විරුද්ධව පාකිස්තානු අධිකරණයට පෙත්සමක් ගොනු කළා.

වැලන්ටයින් දිනය කියන්නේ බටහිර සංස්කෘතියට අයිති දෙයක්. ඒක මුස්ලිම් අපට කොහතේම අදාළ දෙයක් නෙවෙයි. “අපේ තරුණ තරුණියන් මේ වගේ සංස්කෘතියක් වැළඳ ගැනීම අපහාසයක්. ලැජ්ජාවක් වගේම පවක්.” අබ්දුල් වහීඩ් කියා සිටියා.

කොහොම හරි රටේ බහුතර තරුණ තරුණියන්ගේ කැමැත්ත පරාජය කරලා අබ්දුල් වහීඩ් ප්‍රමුඛ සාම්ප්‍රදායික මුස්ලීම් වැඩිහිටියන්ගේ කැමැත්ත ජයග්‍රහණය කළා.

පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ 2017 පෙබරවාරි 13 වෙනිදා ශවුකාත් සිද්ධික් කියන විනිසුරුවරයා තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ පාකිස්තානයේ කිසිම මාධ්‍යයකින් වැලන්ටයින් දිනයට සම්බන්ධ කිසිම ආකාරයේ වැඩසටහනක් විකාශය කිරීම තහනම් කරමින්.

“පාකිස්තානයේ කිසිම ප්‍රසිද්ධ ස්ථානයක නිල වශයෙන් වැලන්ටයින් දිනය සමරන කිසිම ආකාරයේ උත්සවයක් වැඩසටහනක් පැවැත්වීම තහනම්” කියන තහනමත් ඒ උසාවි නියෝගය එක්කම නිකුත් කෙරුණා.

ඒත් ඒ වෙනකොටත් ඒ නියෝගය අවසන් තීන්දුවක් වෙලා තිබුණේ නෑ. මේ කතාව උසාවියේ අවුරුද්දක් විතරම ඇදී ඇදී ගියා.
2017 මේ නඩුව ආයෙමත් කරලියට ආවේ බටහිර සංස්කෘතික ආක්‍රමණය නිසා පාකිස්තාන සංස්කෘතික අගයන් විනාශ වෙන බව පාකිස්තාන ජනපති විසින් ප්‍රකාශ කිරීමත් එක්ක.

ඇත්තටම මෙවැනි සැමරුම් දින එක්ක එන වෙළෙඳ මාෆියාව පාකිස්තානයේ සංස්කෘතික පෙරළියක් ඇති කරන්න ලොකු හේතුවක් වෙලා තිබුණේ.

පසුගිය අවුරුද්දෙ නොවැම්බර්වල අන්තර්ජාල වෙළෙන්දන් විසින් ‘Black Friday ’ දිනයක් සමරන්න විවිධ දේවල් විකුණන්න පටන් ගත්තා. ‘Black Friday’ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන තුති පිදීමේ දිනයක්. පාකිස්තාන වෙළෙන්දන් මේ දිනය තමන්ගේ රටට අදාළ කරගත්තේ ඒ දිනයේ පාට වෙනස් කරලා. ඒ කියන්නේ ‘White Friday ’ සහ ‘Green Friday’ කියලා එකක් නිර්මාණය කරලා. කොල, සුදු වර්ණවලින් ඒ දිනයට මුස්ලිම් ආගමට සමීප ස්වරූපයක් නිර්මාණය කරලා. කොහොම වුණත් මේ වගේ බටහිර සංස්කෘතියට සමීප එක එක විදිහේ දිනයට පාකිස්තානයේ මුස්ලිම් වැඩිහිටියන්ගේ මනාපය නම් ලැබුණේ නෑ.

මේ වගේ බටහිර සංස්කෘතික අංගවලට කැමති සහ අකමැති අය විසින් වරින් වර පවත්වපු විරෝධතා සහ රැලි අවසානයේදී වියරු ස්වරූපයක් ගන්නත් පටන් ගත්තා. මේ වගේ ඇතැම් අවස්ථාවලට බිහිසුණු ප්‍රහාරත් එල්ල වුණා.

2013 අවුරුද්දෙදි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක වුණු ශබීනා මහමුද් දකුණු කරච්චියේදී ‘Pyaar ho jaane do ’ නමින් උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒ කියන්නේ “ආදරයට එන්න දෙන්න” කියන එක. මේ උද්ඝෝෂණය පැවැත්වුවේ වැලන්ටයින් සැමරුමට තියෙන විරෝධයට එරෙහිව.

ඒ උද්ඝෝෂණයෙන් පස්සේ ශබීනා මහ්මුද්ට කීප වතාවක්ම මරණ තර්ජන පවා එල්ල වුණා. 2015 අප්‍රේල් මාසයේදී මෝටර් සයිකලයකින් ආපු තුවක්කුකරුවෙක් ශබීනා මහ්මුද්ට වෙඩි තිබ්බා. ශබීනා මහ්මුද්ගේ මරණයෙන් පස්සේ ඒ මෝටර් සයිකල් තුවක්කුකරුවා සාද් අසීස්ව සිරගත කෙරුණා. වැලන්ටයින් දිනයට පක්ෂව කතා කිරීම ඇරෙන්න ශබී මහ්මුද්ව ඝාතනය කරන්න වෙනත් විශේෂ හේතුවක් නොතිබුණු බව සාද් අසීස් බන්ධනාගාරයේදීම මාධ්‍යයට කියා තිබුණා.

තමන්ගේ තරුණ පරපුර සහ සංස්කෘතිය බටහිර සංස්කෘක ආක්‍රමණයෙන් “හොඳින් හෝ නරකින්” මුදාගන්න ඉස්ලාමික රටවල් කටයුතු කරනවා. එය යහපත් දෙයක් කියලා මම කියන්නේ නෑ. ඒත් බටහිර සංස්කෘතිය හිස් මුනින් පිළිඅරන් තමන්ගේ සංස්කෘතික වටිනාකම්වලට ගරහන අපේ රටේ මිනිසුන් බහුතරයකගේ ප්‍රතිපත්තිය හොඳයි කියන්නත් බෑ..!

 

උපුටා ගැනීම lanka media hub.com

Facebook Comments

more recommended stories

%d bloggers like this: