ලෝක තෙල් මිල ඉහළ යයි – බාල තෙල් ගන්නැයි දේශපාලන බලපෑම්..!

වසර 2015 ජූලි මාසයට පසුව ප්‍රථම වතාවට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබේ.
ලෝක බොරතෙල් වෙළෙඳපොළ නවතම වාර්තාවලට අනුව බේ‍රන්ටි වර්ගයේ බොර තෙල් බැරලයක් ඇමෙරිකා ඩොලර් 1යි සත 26කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම වර්ගයේ බොර තෙල් බැරලයක වර්තමාන මිල ඩොලර් 62යි සත 35ක් වෙයි.
එක්සත් ජනපද බොර තෙල් බැරලයක මිල සත 25කින් ඉහළ ගොස් ඇති අතර එහෙයින් ඇමෙරිකා එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 55යි සත 89ක් වෙයි.

ලෝකයේ විශාලතම බොර තෙල් අපනයනකරු වන සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු සෞදි අරාබිය තුළ දූෂණ වංචා සහ මූල්‍ය අක්‍රමිකතා සෙවීම පිළිබඳ කමිටු පත්කිරීම සහ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බොර තෙල් මිල වෙනස සිදුවී ඇති බව වාර්තා පෙන්වා දෙයි.

බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් – ඇමැති අර්ජුන

ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එම නැවෙහි ඇති තෙල් වෙළඳපළට නිකුත් කළේ නම් දැනට ඇති වී තිබෙන අර්බුදයට වඩා වැඩි අර්බුදයක් ඇති වන බවත් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ඉන්ධන සහිත නෞකාව මේ වන විට දින 16ක් තිස්සේ ත්‍රීකුණාමල මුහුදේ නවත්වාගෙන එහි තෙල් ශ්‍රී ලංකාවට ලබාදීමේ උත්සාහයක ක්‍රියාත්මක වෙමින් පවතින බව කී අමාත්‍යවරයා කුමන බලපෑම් පැමිණියත් එම තෙල් ලබාගැනීමට සූදානම් නැතැයිද සඳහන් කළේය.

නිවැරදි තීරණ පමණක් ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද උපදෙස් දී ඇතැයි කී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කෙසේ වෙතත් ඇති වූ අර්බුදය හේතුවෙන් ජනතාවට ඇති වූ පීඩාව සම්බන්ධයෙන් තමා අමාත්‍යවරයා ලෙස සමාව ඉල්ලා සිටින බව ද කීවේය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: