ඉකුත් 10 දා පාර්ලිමේන්තු අවුල කලින් සැලසුම් කළ එකක්‌ – රහස්‍ය වාර්තා මෙන්න..! (VIDEO)

බැඳුම්කර වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමට ඉකුත් 10 වැනිදා කැඳවූ පාර්ලිමේන්තු රැස්‌වීමේ වැඩ කටයුතු අවුල් කිරීමට සැලසුමක්‌ ඇති බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්‌ෂක අංශයටත්, කථානායකවරයාටත් ලැබී තිබූ බව කථානායක කාර්යාලය විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එදින පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ඇති වූ සිද්ධිය පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සලකා බලා මෙම නිවේදනය නිකුත් කරන බවද එහි සඳහන් වෙයි.

එම නිවේදනයේ මෙසේද දැක්‌වේ.

සාමාන්‍ය පරිදි 2018 ජනවාරි මස 23 වැනි දින අපරභාග 1.00 දක්‌වා කල්තබන ලද පාර්ලිමේන්තුව බැඳුම්කර වාර්තාව නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව කලින් කැඳවනු ලැබිය යුතු බවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම්තුමා සහ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉල්ලුම් කර තිබූ අතරම, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්‌වීමක්‌ කැඳවන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සභානායකතුමන් සමග සාකච්ඡා කළ අතර ජනවාරි මස 09 වැනි අඟහරුවාදා අපරභාග 2.00 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්‌වීමක්‌ද, කථානායකවරයාගේ යෝජනාව මත පසු දින, එනම් ජනවාරි මස 10 වැනි දින, පාර්ලිමේන්තුව කලින් කැඳවන ලෙසට ස්‌ථාවර නියෝග 14 යටතේ අගමැතිතුමාගෙන් ඉල්ලීමක්‌ද ලැබී තිබුණි.

මෙහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්‌වීමේදී සාකච්ඡා කර තීරණය කරනු ලැබුවේ ස්‌ථාවර නියෝග 14 යටතේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන සභා ගර්භයේදී අගමැතිතුමන් විසින් පැහැදිලි කර දුන් පසු පක්‌ෂ නායකයන්ටද කතා කිරීමට අවස්‌ථාවක්‌ ලබා දීමටයි.

පාර්ලිමේන්තුවට මීට අමතරව බැඳුම්කර වාර්තාවේ පිටපතක්‌ ලබා දෙන ලෙස කථානායකවරයා විසින් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා ඇති බවද සඳහන් කරන ලදී. පසුදා පැවැත්වෙන විවාදයට ප්‍රථම එය ලබා ගැනීම අවශ්‍ය බැවින්, එම ඉල්ලීම නැවත ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් සභානායක ලේකම්වරයාටද උපදෙස්‌ ලබාදී එකී වාර්තා පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම්වරයාටද ලිතව දන්වා තිබුණි.

ජනවාරි මස 10 වැනි දින පෙරවරු කාලයේදී ජනාධිපතිතුමන් විසින් කථානායකවරයාට එදින නීතිපතිවරයාගේ උපදෙස්‌ පිට මහ බැංකු අධිපතිතුමන්ටත්, අල්ලස්‌ දූෂණ කොමිසමටත් පිටපත් යෑවිය යුතු හෙයින් පාර්ලිමේන්තුවට අදාළ පිටපත් ජනවාරි මස 17 වැනි දින ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ලිතව දන්වා එවා තිබුණි.

එමෙන්ම බරපතළ වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ද සම්පූර්ණ වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද එදින ඉල්ලීමක්‌ කර තිබුණි. පාර්ලිමේන්තුවේ රැස්‌වීම පැවැත්වෙන අතරවාරයේදී ජනාධිපති ලේකම්වරයා විසින් ලිතව කථානායකවරයාට එවූ ලිපියද කථානායකතුමා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

සැබෑ කරුණු මෙසේ තිබියදී විශේෂ කාරණයක්‌ වශයෙන් සඳහන් කළ යුත්තේ එදින පාර්ලිමේන්තුවේ රැස්‌වීමේ වැඩ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක්‌ ඇති බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්‌ෂක අංශයටත්, කථානායකවරයාටත් ලැබී තිබීමය.

එදින පාර්ලිමේන්තුවේ රැස්‌වීම ආරම්භ කළ විට එදින වාර්තා සභාවට නොලැබෙන බවට කථානායකවරයා දැනුම් දුන් පසු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් දිගින් දිගටම කථානායකවරයා වාර්තා ලබාදීමට පොරොන්දු වූ බවක්‌ සඳහන් කරමින් ඉතාමත් අශෝභන ලෙස පාර්ලිමේන්තුවේ වැඩ කටයුතුවලට බාධා කිරීම ආරම්භ කරන ලදී. තවත් පාර්ශ්වයකින් ලබාදීමට නියමිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස විධිමත් දැනුම් දීමක්‌ කළ පසුව කවර අවස්‌ථාවක පාර්ලිමේන්තුවට ලැබේද යන බවට කිසි අවස්‌ථාවක කථානායකවරයාට පොරොන්දු දිය නොහැකි අතර කථානායකවරයාට කළ හැක්‌කේ එම අදාළ වාර්තා පිටපත් ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු විගස විධිමත් ආකාරයට ඒවා සභාගත කිරීමයි. මින් නොනැවතුන ජ්‍යෙෂ්ඨ, පරිණත දේශපාලනඥයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා විසින් අදාළ වාර්තා පළමුව පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවත්, එසේ නොදෙන්නේ නම් කථානායක බලතල පාවිච්චි කර, ජනාධිපති ලේකම්වරයා කැඳවා වාර්තා ලබා ගත යුතු බවත්ය.

පාර්ලිමේන්තුවේ ගැටුමට හේතුව සභා රැස්‌වීම පැවැත්වීම යනුවෙන් ඉදිරිපත් කරන බොලඳ තර්ක බුද්ධිමත් ජනතාව හාස්‍යයෙන් ඉවතලන බව සඳහන් කළ යුතුය. මේ අනුව පදනම් විරහිතව ද්වේශ සහගතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම ගැන අපි කනගාටු වෙමු.

Facebook Comments

more recommended stories

%d bloggers like this: