ජනාධිපති ධුර කාලයේ අලු යට ගිනි දේශපාලන කතාව මෙන්න..!

දිනවල රටේ උද්ගතව තිබෙන දේශපාලන කැලඹීම් අතරට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ විවාදයද එක්ව තිබේ. එයට හේතුව 2021 දක්වා තමන්ට ජනාධිපති ධුරය දැරීමට බාධාවක් තිබේද යන්න පිළිබඳ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යොමුවීම නිසාය. ඔහුගේ මෙකී ඉල්ලීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉකුත් 11දා රැස්විය. ඒ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත්‍රසිරි සහ සිසිර ද ආබෘෘ යන විනිසුරුවරුන්ගෙන් එය යුක්තවය.

පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නීතිපතිවරයා මූලික තර්ක කිහිපයක් පදනම් කරගෙන කරුණු දැක්වීය. නීතිපති, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ ජනවාරි මස 15 වැනිදා හෙයින් ඔහුට සය වසරක ධුර කාලයක් සඳහා ෙනෙතික බාධාවක් නොමැති බවය. එයට හේතුව ජනාධිපති ධුරයේ කාලසීමාව වසර පහකට සීමා කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉන්පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමය. මේ තර්කයට අමතරව නීතිපතිවරයා ජනතා පරමාධිපත්‍යය පිළිබඳ තර්කයක්ද ඉස්මතු කරයි. ඒ අනුව ජනතා පරමාධිපත්‍ය බලය අනුව ජනාධිපතිවරයාට වසර හයක ධුර කාලයක් හිමි බව ඔහු අවධාරණය කරයි. ඒ සඳහා නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති උපුටා කරුණු දක්වයි.

එම වගන්ති අනුව ජනතා පරමාධිපත්‍යය බෙදා වෙන්කළ නොහැකිය. එයට කිසිදු ආකාරයේ බලපෑමක් කළ නොහැකිය. එසේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ වත්මන් ජනාධිපතිවරයා දිවුරුම් දී මාස හතරකට පමණ පසුවය. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිම තැනක එය අතීතයට බලපාන බව සඳහන් වී නොමැති බව සඳහන් කිරීමද නීතිපතිවරයා මතුකරන තවත් තර්කයකි. එසේම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 19 (1) ‘අ’ සහ ‘ආ’ වගන්ති අනුව දැනට ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ සංශෝධනයට යටත් වී ඇති බව සඳහන් වුවද හත්වැනි පාර්ලිමේන්තුවේ ධුර කාලය 2015 අප්‍රේල් මස 21දා අවසන් වූ හෙයින් මෙකී ව්‍යවස්ථා සංශෝධනය බලපාන්නේ ඊට පසුව බවද නීතිපතිවරයා පෙන්වා දෙයි. එනිසා ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගත්තේ 2015 අප්‍රේල් 21දායින් පසුව නම් ඔහුගේ ධුර කාලය වසර පහකට සීමා වන බව පිළිගත හැකි යැයි නීතිපතිවරයා පෙන්වා දෙයි.

යම් හෙයකින් දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා ඉවත් කළද ඊළඟට ඒ සඳහා පත්වන ජනාධිපතිවරයා ඉතිරි කාලය සම්පූර්ණ කළ යුතු බවද ඔහු මතු කරන කරුණකි.  එනිසා ජනාධිපතිවරයා යම් හෙයකින් ධුරයෙන් ඉවත් වුවත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය අහෝසි නොවන බව මෙහිලා ඔහු ඉස්මතු කරන අතිශය වැදගත් තර්කයකි. ඉහත දැක්වූ කරුණු අනුව නීතිපතිවරයාගේ තර්ක මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යය මත කේන්ද්‍රව තිබෙන බව පෙනෙයි.  යම් හෙයකින් ජනාධිපතිවරයෙක් බලයට පත්වී වසර හතරකට පසුව තවත් වසර හයක කාලයක් සඳහා ජනාධිපති ධුරය දැරීමට කැමැත්ත විමසන්නේ නම් ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩුවන විශේෂ අවස්ථාවක් සේ එය සැලකිය හැකිය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වූ අවස්ථාවේ ඉතිරි ධුර කාලය ජනාධිපති විජේතුංග දැරුවේය. ඒ අනුව ඔහු ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් ඊළඟ ජනාධිපතිවරයා පත්වන තෙක් කටයුතු කළේය.

එසේ වුවද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා නීතිපතිවරයාගේ තර්කවලට එරෙහිව ප්‍රති තර්ක මතු කරයි. ඇමැති ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි මනෝහර ද සිල්වා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 49 (1) ‘අ’ වගන්තිය අනුව දැනට ජනාධිපති ධුරය දරන ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනයට යටත් බව පෙන්වා දෙයි. ඒ අනුව ජනාධිපතිගේ ධුර කාලය වසර 5කට සීමා වන බව ඔහු අවධාරණය කරයි. එසේම මනෝහර ද සිල්වා ජනාධිපතිවරයාගේ නිල වබේ අඩවිය වෙත අධිකරණයේ අවධානය යොමු කරමින් ජනාධිපති ධුර කාලය වසර 4කට සීමා කරන ලෙස ඔහු උපදෙස් දී ඇති බවද පෙන්වා දුන්නේය.

වසර 6කට පත්වූ ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩුකිරීම ජනතාවගේ ඡන්ද බලයට හා පරමාධිපත්‍යයට බලපාන බව නීතිපතිවරයා මතුකරන තර්කයට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ප්‍රති තර්කයක් ඉදිරිපත් කරයි. ජනතා පරමාධිපත්‍යයට එවැනි බලපෑමක් ඇතිවන්නේ ඡන්දය කල්දැමීම නිසා විනා ඡන්දය පෙරට ගැනීමෙන් ඊට හානියක් නොවන බව ඔහු මතු කරන ප්‍රති තර්කයයි. එසේම පංච පුද්ගල කමිටුව හමුවේ තවත් කරුණු රැසක් මනෝහර ද සිල්වා අවධාරණය කර තිබේ. ඔහු මතුකරන තවත් කරුණක් මෙසේය.

ජනාධිපතිවරයා යොමුකරන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දීමට ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී නැහැ. ‘අයෝධ්‍යා’ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ ඒ බව සඳහන්ව තිබෙනවා. එවැනි පසුබිමක මෙවැනි ඉල්ලීමකින් බලා‍පොරොත්තු වන්නේ බලයේ සිටින ආණ්ඩුව තම දේශපාලන අරමුණු අධිකරණය ලවා ඉටුකරගැනීමට උත්සාහ කිරීමයි. මෙකී අවස්ථාවේදී තිස්ස විතාරණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි ජනාධිපතිවරයාගේ ධුරයේ කාලය සැක හැර දැන ගැනීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 49 (1) ‘අ’ වගන්තියේ කරුණු කීපයක් සඳහන්ව තිබෙන බව පෙන්වා දෙයි. ඔහු මෙසේද සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යටත් නොවන්නේ නම් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට නැවතත් ජනාධිපති ධුරය සඳහා තරග කරන්න හැකියාව තියෙනවා. එයට හේතුව ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට හැකි වාර ගණන දෙවරකට සීමා කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවයි.

බි.බි.සී. සිංහල සේවය සමග එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් වීම තමාට ප්‍රශ්නයක් නොවන බවයි. එහෙත් එමගින් තමන්ට සහ හිටපු ජනාධිපතිවරියට යළි තරග කිරීමට පැවති ෙනෙතික බාධාව ඉවත් වන බවද ඔහු පෙන්වා දෙයි.

මෙකී කරුණු අනුව අපට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය මුල් කරගෙන මතුව ඇති ගැටලු යම් ආකාරයක ව්‍යවස්ථාමය අර්බුදයකට මග පාදා ඇති බවය. හුදෙක් ව්‍යවස්ථා අර්බුදයක් පමණක් නොව, ජනාධිපතිවරයා තම ධුර කාලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම නිසා මේ වනවිට රටේ දේශපාලන අර්බුදයක්ද ගොඩනැගෙමින් තිබේ.

යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල එය ජුවම ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පවසයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ ක්‍රියාවලිය විමසීම නිසා යහපාලනය පිළිබඳ ජාතික රජය නියෝජනය කරන හවුල්කාර පක්ෂ උග්‍ර දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටිනවා. ජනාධිපතිවරයාගේ ලිඛිත ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන තෙක් යහපාලන ජාතික රජයේ පක්ෂ නායකයන් කිසිවක් දැන සිටියේ නැහැ. ඒ බව පක්ෂ නායකයන් මට දැනුම් දුන්නා. මෙසේ තමන් බලයට පත්කිරීමට කටයුතු කළ පක්ෂ දැනුවත් නොකර ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම උග්‍ර දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමට බලපා ඇතැයි සභා නායකවරයා අවධාරණය කරයි.

කොහොම නමුදු වත්මන් ජනාධිපති ධුර කාලය පිළිබඳ විමසීමක් නොකළත් 2019 ඔක්තෝබර් මාසයේදී මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබේ. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය යොමු කළ අවස්ථාවේ ජනාධිපතිවරයා ධුර කාලය පිළිබඳ විමසීමක් කළේ නම් නීතිය හමුවට උනන්දු වන අනෙක් පාර්ශ්වවලට ඉන් ඉඩක් ලැබෙන බව මෙහිලා මතුකරන තවත් තර්කයකි. එයට පෙර ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම අර්බුදයකට හේතු වී තිබෙන බව හිටපු දිසා විනිසුරු අනුර සෙනෙවිරත්න පෙන්වා දෙයි. එසේම ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ ජනාධිපති ධුර කාලය පිළිබඳ උපදේශයක් බැවින් පංච පුද්ගල විනිසුරු මඬුල්‍ලේ ස්ථාවරය තීන්දුවක් ලෙස සැලකිය නොහැකි යැයිද ඔහු අවධාරණය කරයි. ඒ කවරක් වුවද ජනාධිපතිවරයා තම ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමෙන් පෙනෙන්නේ යහපාලන ආණ්ඩුවද දැඩි මතභේදාත්මක තැනකට එළැඹ තිබෙන බවය. යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේ අප දුටුවේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉස්මතු වන ආකාරයයි. බොහෝවිට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටියේය. එහෙත් වර්තමාන දේශපාලන කරුණු දෙස බලන කල පෙනෙන්නේ ජනාධිපතිවරයා ජුව ආණ්ඩුවට මැදිහත් වීමට පියවර ගෙන ඇති බවය. එවැනි පසුබිමක වර්තමාන හවුල්කාර ආණ්ඩුවට දේශපාලන ගමනක් එකට යාහැකිද යන්න අතිශය ගැටලු සහගතය. විශේෂයෙන් එකී ගැටලු සහගත බව වර්ධනය කරන්නේ ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වවලටද නොදන්වා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමෙනි.

එමගින් ජනාධිපතිවරයා ලබාදෙන දේශපාලන පණිවිඩය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකිය. වර්තමාන යහපාලන ආණ්ඩුවේ පසු 2021 වනතෙක් ආණ්ඩු පිහිටුවීමේ තීරණාත්මක කාර්ය භාරයට සෘජුවම ඔහු මැදිහත් වන බව එමගින් ලැබෙන ප්‍රධාන පණිවිඩයයි.

ජනාධිපතිවරයා මෙවැනි තැනකට යොමුවී තිබෙන්නේ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට බැඳුම්කර ගනුදෙනුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන චෝදනා එල්ල වීම නිසා විය හැකිය. එනිසා මේ වනවිට ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙමින් තිබේ. එවැනි පසුබිමක ජනාධිපතිවරයා අලුත් ආණ්ඩුවක් සඳහා මාන බලමින් සිටින බව පෙනේ. දැනට තිබෙන දේශපාලන ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් සේ මතු කරන නීතිපති තර්කය පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන්ද බෙහෙවින් අනුමත වීමට ඉඩකඩ තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා 2021 දක්වා ධුරයේ රැඳී සිටිනු ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තම ධුර කාලය පිළිබඳ අවධානය යොමුකිරීම ඔහුගේ දේශපාලන තීන්දුවල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සේ අපට පෙනෙයි. ඒ 2015 ජනවාරි 26දා පැවති උත්සවයකදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා කළ පහත දැක්වෙන කතාවයි.

විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීමේ කටයුතු මේ දිනවල කරගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගි වෙලා කිව්වා මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්, මේක අවුරුදු හතරක් කරමු කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරකට කැමැති වුණේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යෑම රටට හොඳ නැහැ කියලා හිටන් මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒගොල්ලෝ කැමති වුණා. දැන් හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙන්නේ. පහක් නොඉන්න එක මගේ ප්‍රතිපත්තිය.

ඒ ජනාධිපතිවරයා 2015 තම ධුර කාලය පිළිබඳ දැරූ අදහසයි. එය මේ වනවිට වෙනස් වීමෙන් පෙනෙන්නේ දේශපාලන කරුණු මුල් කරගෙන තීරණාත්මක තීන්දු රැසක් රට වෙනුවෙන් ගැනීම සඳහා ඔහු සූදානම් වන බවය.

වරුණ අබේසේකර.

Facebook Comments

more recommended stories

%d bloggers like this: