දෙවැනි මෙහෙයුම ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයා කළ යුත්තේ කුමක්ද..?

“මම ‍පොඩි කා‍ලේ අපේ ගෙවල් ළඟ විජේරත්න කියලා වින්කල් බාස් කෙනෙක් වින්කලයක් දාගෙන හිටියා. ඒ මනුස්සයාගේ වින්කලෙන් මම දවසක් බයිසික‍ලේක කෑල්ලක් හොරකම් කරගෙන ආවා. මේක දැනගත්ත අපේ තාත්තා මට දඬුවම් කරලා කිව්වා කවදාවත් හොරකමට නම් පුරුදු වෙන්න එපා කියලා. එදා ඉඳන් ඒක මගේ ජීවන ප්‍රතිපත්තිය වුණා. එදා ඉඳලා අද වෙනකම් මම හොරකම් කරලා නැහැ. ඒ වගේම හොරකමට විරුද්ධව වැඩ කළා. මම මහින්දගේ ආණ්ඩුවේ ඉන්න කා‍ලේ ඒකේ හොරකම් ගැන කතා කරද්දි මහින්ද මගෙන් ඇහුවා දවසක් වෙනම ගමනක් යන්නද හදන්නේ කියලා. මම ආණ්ඩුවේ දූෂණවලට විරුද්ධව කතා කරනකොට එයාට ඒක පෙනුණේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවා කියලා.”

ඉකුත් 16දා කැබිනට්ටුවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි කළ විවාදාපන්න කතාවේ කොටසකි ඉහත උපුටා දැක්වූයේ. වෙනදා කැබිනට් හමුවට වේලපහින් පැමිණෙන ජනාධිපතිවරයා එදා පැමිණියේ පැය දෙකක් පමණ ප්‍රමාදවීය. අගමැතිවරයාද පැමිණියේ පැයක් දෙකක් පමණ ගතවූ පසුවය. රැස්වීමට පැමිණි ජනාධිපතිවරයා අපූරු වැඩක් කළේය. ඒ තම කතාව ආරම්භ කිරීමට පෙර කුඩා රෙකෝඩරයක් තමන් ඉදිරියේ තබාගැනීමය. රෙකෝඩරය ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා මෙසේ කීවේය.

“මේ කතාව ඔයාලට වැදගත් නොවන්න පුළුවන්. නමුත් මට වැදගත්. ඒ නිසා මම මේක රෙකෝඩ් කරනවා.”

සැබැවින්ම ජනාධිපතිවරයා 16දා කැබිනට් හමුවේ කළ කතාව ගැන මේ වනවිට විවිධ අර්ථකථන පළවී තිබේ. ඒ කතාව කෙතරම් උද්වේගකර එකක් වූයේද යත් ජනාධිපතිවරයා කැබිනට් හමුවෙන් නැගිට ඉවතට ගියේය. එමගින් ලැබෙන දේශපාලන පණිවිඩය කිසිසේත්ම සුළුපටු නැත. කතාවේ බොහෝ කෑලි දැන් රට දනී. එහෙයින් එහි සියලු කොටස් මෙහි උපුටා දැක්විය යුතු නැත. ජනාධිපතිවරයා තම කතාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් පදනම් විරහිතව තමන් විවේචනය කිරීම දෝෂාරෝපණය කළේය. අපට මතක හැටියට මෙයට පෙරද ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ විවේචන තමන්ට එල්ල වීම ගැන කතා කළේය. එසේ වුවද දිගින් දිගටම විවේචන එල්ල වීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව අභ්‍යන්තර සතුරකු නිර්මාණය වී තිබෙන ආකාරයයි. ජනාධිපතිවරයා මේ විවේචනය කර අගමැතිවරයා දෙස බලමින් මෙවැනි තීරණාත්මක ප්‍රශ්නයක් ඇසුවේය.

“තවදුරටත් එකට ආණ්ඩු කරනවාද නැද්ද යන්න ගැන කල්පනා කරන්න වෙනවා” අපට දැනගන්න ලැබෙන ආකාරයට ජනාධිපතිවරයා නැගිට ගොස් තිබෙන්නේ මෙකී ප්‍රශ්නය ඇසීමෙන් අනතුරුවය. සැබැවින්ම 16දා කැබිනට් හමුවෙන් ජනාධිපතිවරයා ඉවත්ව යාම මගින් පෙනෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ සම්මුතිය බෙහෙවින් බිඳ වැටී තිබෙන බවය.

මේ සම්මුතියට එළැඹුණේ 2015 එවක පැවති සමාජ, දේශපාලන කරුණු කෙරෙහි අවධානය යොමු කරමිනි. අප දකින ආකාරයට එකී දේශපාලන පසුබිම දැන් වෙනස් වී තිබේ. ඒ වෙනුවට වෙනත් දේශපාලන තත්ත්වයක් නිර්මාණය වී ඇත. 2015 පැවතියේ එක්සත් ජාතික පක්ෂය සමග ජනාධිපතිවරයාට එක්ව ආණ්ඩුවක් ගොඩනගා ගත හැකි පසුබිමකි. මේ වනවිට ඒ පසුබිම වෙනස් වී ඇත. සැබැවින්ම දැන් තිබෙන්නේ එක්ව ආණ්ඩු කළ නොහැකි තත්ත්වයකි.

එනිසා යහපාලන සම්මුතිය දෙස යළි හැරී බැලීමට සිදුව තිබේ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවු‍ලේ ආණ්ඩු කිරීම ගැන ජනාධිපතිවරයා තෘප්තිමත්ව නැති බව එමගින් පෙනේ. ඔහු එක් ජන හමුවකදී ඉකුත් දිනක ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමග හවු‍ලේ ආණ්ඩු කිරීමට තමන් ඉගෙන ගත්තේ මහින්ද රාජපක්ෂගෙන් බවය.

බැඳුම්කර කොමිසමේ වාර්තාව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අවධාරණය කළේ ‘ඔපරේෂන් 2’ ක්‍රියාත්මක කළ බවය. බැඳුම්කර කොමිසම පත්කිරීම මගින් ජනාධිපතිවරයා පළමු මෙහෙයුම ඇරඹීය. කොමිසමේ වාර්තාව නිකුත් වූ පසු එහි කරුණු රටට හෙළිකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යොමුකිරීමෙන් දෙවැනි මෙහෙයුම ඔහු අරඹා තිබේ. එනිසා මැතිවරණ ව්‍යාපාරයේදී පමණක් නොව, ‍පොදුවේ දේශපාලනිකව නරක තැනක සිටි ජනාධිපතිවරයාට යළි දේශපාලන ගැලරියේ මුලට පැමිණීමට හැකියාව ලැබිණ. එයට පෙර රටේ පැවති මතය වූයේ වංචා, දූෂණ ආදියට එරෙහිව කරන විමර්ශන අඩාළ වී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ බලපෑම නිසාය යන මතයයි. මේ වනවිට එකී මතය වෙනස් වී තිබේ. සුදු කරපටි හොරුන්ගේ සියලුම තතු එළියට පැමිණ අවසන්ය. එමගින් ජනාධිපතිවරයා දේශපාලනිකව උඩට පැමිණීම කෙතරම් එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කළේද යත් අගමැති වික්‍රමසිංහද ඉකුත් දිනක ජාතික අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ගැන සොයා බැලීමට මාරපන කමිටුව පත්කරන බව ඔහු එකී ඇමතුමේදී අවධාරණය කළ එක් කරුණකි.

රටේ ජනතාව පිටිපන කමිටුව ගැන දනී. මාරපන කමිටුවත් එබන්දක්ද යන ගැටලුව ඒනිසා ඇතිවේ. අනෙක් අතට කෝප් කමිටු වාර්තාවෙන් සහ බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් ගනුදෙනුවට සම්බන්ධ එජාප සාමාජිකයන් ගැන තොරතුරු තිබෙන නිසා අමුතුවෙන් කමිටු වුවමනා නැත. කළයුත්තේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තිබෙන බාධා ඉවත් කිරීමය.  හිටපු මුදල් ඇමැතිවරයා සහ හිටපු මහ බැංකු අධිපතිවරයා පත්කිරීම පිළිබඳ සම්පූර්ණ වගකිම අගමැතිවරයා සතුය. තමන්ට එහිලා කිසිදු වගකීමක් නොමැති බව ජනාධිපතිවරයා 16දා කැබිනට් හමුවේ කතාවේදී යළි අවධාරණය කළේය. ඔවුන් පත් නොකළේ නම් මෙවැනි අර්බුදයකට ආණ්ඩුව නොයන බව ජනාධිපතිවරයා පැවසීය.

අගමැතිගේ දූෂන සෙවීමට පත් කල කමිටු ප්‍රධානි දූෂිත තිලක් මාරපනගේ සොයුරා වන ගාමිනි මාරපන අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීති වේදීයා බව අගමැති රනිල් බබා දැන නොසිටියා විය නොහැකිය..එබැවින් අගමැති රනිල්වික්‍රමසිංහගේ මේ නොසන්ඩාල ක්‍රියාව ගැන අපි කථා කලයුතුමය.

එසේ විය යුත්තේ ඔහු මීට පෙරත් බැඳුම්කර ගණුදෙනුව ගැන කමිටුවක් දමා එම කමිටුවෙන්ද දූෂිතයන්ව ආරක්ෂා කිරීමට ක්‍රියා කල හෙයිනි.

එහෙයින් බැඳුම්කර කොමිසමේ විමර්ශන පදනම් කරගෙන අධිකරණ ක්‍රියාමාර්ග ස්වාධීනව ගැනීමට නම් අගමැතිවරයා ස්වාධීන විය යුතුය. අගමැතිවරයාගේ මූලිකත්වයෙන් යුත් ආණ්ඩුවක් තිබෙන පසුබිමක අධිකරණ ක්‍රියාමාර්ගවලට ස්වාධීනව ක්‍රියාත්මක විය හැකිද යන ගැටලුව ඇතිවේ. එයට හේතුව අගමැතිවරයාට බලපෑම් කළ හැකි වපසරියක් නිර්මාණය වීමය. බැඳුම්කර කොමිසම ක්‍රියාත්මක වූයේ ජනාධිපතිවරයා එයට උපරිම සහයෝගය දැක්වූ නිසාය. බැඳුම්කර ගනුදෙනුව යටපත් කිරීමට ගත් උත්සාහයන් ගැන ඕනෑ තරම් නිදර්ශන තිබේ.

2015 ජුනි මස 30 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට භාරදුන් ලිපිගොනුවට අත්වූ ඉරණම එයට දැක්විය හැකි හොඳම නිදර්ශනයකි. එම ලිපිගොනුවට ඛි/187/161/2015 දරන ලිපිගොනු අංකය ඇතුළත් කර තිබිණ. එවක නීතිපතිවරයා වූයේ යුවන්ජන් විජේතිලකය.

මෙකී ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ අවධානයට ලක්විය. ලිපිගොනුව පෙරළා බැලූ ඔහුට එහි සුවිසල් මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු තිබෙන බව වැටහිණ. එහි අපරාධයක ස්වභාවය තිබෙන හෙයින් වහාම පරීක්ෂා කොට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනියකට යොමු කෙරිණ. පසුව සිතාගත නොහැකි ආකාරයට ලිපිගොනුවේ ස්වභාවය වෙනස් විය. ඛිජ්/08/2015 යන අංකයෙන් එය රහස්‍ය ලිපිගොනුවක් බවට පත් කෙරිණ. නඩුවේ ස්වභාවයද අපරාධ නඩුවකින් සාමාන්‍ය සිවිල් නඩුවක් බවට පත්විය.  මෙසේ සිවිල් නඩුවක් බවට පත්වීමෙන් අනතුරුව සිවිල් අංශයේ නීතිඥයකු වෙත ලිපිගොනුව යොමු කළේ සිවිල් අධිකරණයේ නඩු පැවරීමටය. නඩු පැවරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමටද සියල්ල සූදානම් කර තිබිණි.

එහෙත් පසුව එම නඩු ගොනුවට කුමක් සිදුවුණේදැයි පැහැදිලි නැත. එම ලිපිගොනුවේ ඩියු ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේ සාක්ෂිවල පූර්ණ විස්තරයක්ද අන්තර්ගතව තිබිණ. එකී සාක්ෂි විස්තර අනුව අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔහු ලබාදුන් පිළිතුරුද ලිපිගොනුවේ අන්තර්ගත වී තිබේ. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් මේ අන්දමට අධික ලන්සුවකට බැඳුම්කර ගැනීමට තීරණය කර මේ සා විශාල පාඩුවක් සිදුවූයේ කෙසේදැයි ඇසූ පැනයට ඔහු ඉතා පැහැදිලිව කියා තිබුණේ ඒ සියල්ල සිදු කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි බවය. මේ අනුව පෙනෙන්නේ ඩියු ගුණසේකර මහතාගේ කෝප් වාර්තාව නොවූවද එහි අඩංගු සියලු කරුණු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරන ලද සාක්කිද අඩංගුව තිබූ බවය. කොහොම නමුදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 ජුනි මස 30 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ලිපිගොනුව එහෙට මෙහෙට වෙනස් කිරීමෙන් පසු ටික දිනකින් අනතුරුව එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් රන් අකුරෙන් මුද්‍රණය කරන ලද වටිනා ඇරයුම්පතක් නීතිපති දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යවා ඔවුන්ට මහ බැංකුවේ ඉහළ මාලයේ සුපිරි භෝජන සංග්‍රහයකට ඇරයුම් කර තිබේ.

මෙකී කරුණු අනුව පෙනෙන්නේ ජනාධිපතිවරයාට නීතිපති දෙපාර්තමේන්තුවට බෝලය පාස් කර නිකම් සිටිය නොහැකි බවය. නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය පිළිබඳ සැක මතුවන හෙයිනි. එහෙයින් ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාවේ සිංහල හා දෙමළ පිටපත් නොපමාව පාර්ලිමේන්තුවට ලබාදීමට පියවර ගත යුතුය. දැනටමත් ඊට ප්‍රමාද වැඩිය. ඒවා පාර්ලිමේන්තුවට වේලපහින් යොමු කළේ නම් මේ වනවිට එය ජනතාවගේ ලියවිල්ලක් බවට පත්වන බවට සැකයක් නොමැත. සැබැවින්ම ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවට වේලපහින් ලබා නොදුන්නේ එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගත් දේශපාලන එකඟතාවක් නිසාද යන සැකය ඇතිවේ. කොහොම නමුදු බැඳුම්කර වාර්තාව පිළිබඳ තොරතුරු නොසැඟවීම ඒ පිළිබඳ ගතහැකි සියලු පියවර ගැනීම ජනාධිපතිවරයාට තිබෙන ප්‍රධානම ආරක්ෂක පියවර බව පෙනේ. යම් හෙයකින් එහි වැඩ මගින් නතර කළහොත් එය රටට සේම ජනාධිපතිවරයාටද අතිශය අනතුරුදායක ආකාරයකට බලපෑ හැකි සාධකයක් වනු ඇත. වසර තුනක පාලන කාලය දෙස බලන කල සැලකිය යුතු දෙයක් රට වෙනුවෙන් සිදුවූයේද යන ගැටලු මේ දිනවල බොහෝ අය මතු කරති. 19 වැනි සංශෝධනය සම්මත කර, විධායක බලතල අඩුකර, එහි බලය ව්‍යවස්ථාදායක සභාවට සහ කොමිෂන් සභාවලට යොමුකිරීම සාධනීය පියවරකි.

එසේ වුවද මේ පියවර සාර්ථක වන්නේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා තීන්දු තීරණ ගැනීමෙනි. එසේ තීන්දු තීරණ ගෙන රටේ මූල්‍ය ක්ෂේත්‍රය යළි ගොඩනැගීමෙනි. මේ සියල්ල කිරීම සඳහා ජනාධිපතිවරයාට තිබෙන්නේ තව සුළු කාලයකි. සියලුම දූෂිතයන්ට එරෙහිව ගතයුතු පියවර ගෙන මිසක් නොයන බව ජනාධිපතිවරයා කියයි.

යම් හෙයකින් ජනාධිපතිවරයාට මේ රටේ දූෂණ, වංචා, අක්‍රමිකතා, අල්ලස් ගැනීම් ආදියට එරෙහිව ශක්තිමත් ප්‍රතිපත්තිමය පියවර ගැනීමට හැකියාවක් ලැබේ නම් ඔහුට රටට කළ හැකි ඉහළම සේවය එයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කිරීමෙන් රටට සේවයට වඩා ඉහළ සේවයක් බවට එය පත්වනු ඇත. අපේ රට අවුරුදු 70කට අධික කාලයක් තිස්සේ විනාශය කරා යොමුවූයේ මෙකී වංචා, දූෂණ, අක්‍රමිකතාවලට හිතකර දේශපාලන යාන්ත්‍රණය නිසාය. රටේ තරුණයන් අවි අතට ගැනීමට පවා ප්‍රධාන හේතුවක් වූයේ එකී දූෂිත දේශපාලන ක්‍රමයයි.

ඒ කෙසේ වෙතත් මේ සියල්ල කිරීමට නම් පළාත් පාලන මැතිවරණයෙන් පසු තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග හවු‍ලේ ආණ්ඩු කරනවාද, එසේත් නොමැති නම් භාරකාර ආණ්ඩුවකට යනවාද යන්න තීරණය කළ යුතුය. අප දකින ආකාරයට එය තීරණය කිරීමට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය තීරණාත්මක සාධකයක් වනු ඇත. එකී ප්‍රතිඵලය අනුව වෙනත් විකල්පයකට යාමේ ඉඩකඩ සැලසේ. බැඳුම්කර කොමිසමේ තීන්දු, තීරණ අනුව ජු ක්‍රියාමාර්ග ගන්නේ නම් තවදුරටත් හවුල් ආණ්ඩුව සමග කටයුතු කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. එයට හේතුව අගමැතිවරයා අගමැති පුටුවේ තබාගෙන එවැන්නක් කිරීම දුෂ්කර නිසාය. අනෙක් අතට ජනාධිපතිවරයාට විපක්ෂය සමගද හවුලකට ගොස් ආණ්ඩුවක් හැදිය නොහැකිය. එයට හේතුව විපක්ෂයේ සිටිය සියලුම අය සමග පිරිසිදු ආණ්ඩුවක් ගොඩනැගීමට ඉඩක් නොමැති හෙයිනි. එහෙයින් ජනාධිපතිවරයාට තිබෙන විකල්පය නම් මේ සියලුම කණ්ඩායම්වල සිටින සාපේක්ෂව යහපත්, රටට හිතවත් පිරිස් එකතු කරගෙන අලුත් ආණ්ඩුවක් හැදීමය.  එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අගමැතිවරයාටද සංඥාවක් නිකුත් කරනු ඇත. ඔහු තවදුරටත් අගමැති ධුරයේ සිටිය යුතුද, එසේත් නොමැති නම් එයින් සමුගත යුතුද යන්න තීරණය කිරීමට එකී සංඥාව හේතුවනු ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා ඔහුගේ පාර්ශවයේ සිටිනා එස්,බී, විජිත් විජේමුණි වැනි දූෂිතයන් පිළිබඳ වහ වහා තීරණයක් ගත යුතුය. එමෙන්ම විවිධ ව්‍යාපාරික අරමුණින් යුතුව ජනාධිපතිවරයාව අල්ලේ නටවන කිලී වැනි බිස්නස් කාරයන්ගෙන්ද ජනාධිපතිවරයා නිදහස් විය යුතුම කරුණකි. දැනටමත් එහි ප්‍රථිපල භයානකවීමට පටන් ගෙන ඇත්තේ ජනාධිපතිවරයා ඉකුත් වසර 3 ඇතුළත එල්ල වූ භයානකම චෝදනා දෙකේම මූල බීජය සහ එහි ව්‍යාපාරික හිතවතා රාජා මහේන්ද්‍රන් වීමය. මක්නිසාදයත් ජනාධිපතිවරයාට කිසිඳු ප්‍රථිලාභයක් නොලැබුනත් ඔහුගේ මෙම ව්‍යාපාරික වේශයෙන් සිටිනා මකරා ජනාධිපතිවරයාව ඉතා පහසුවෙන් ගිල ගනු ලැබෙමින් සිටින නිසාය. විශේෂයෙන්ම රාඩා ගණුදෙනුව හරහා මෙවැනි වූ තක්කඩියන්ගේ සැබෑ නිරුවත දිස් වෙන නිසා එවැනි පරීක්ෂණ තාමත් යට ගැසෙමින් පවතියි. මීනිමරු කොටින් හා එක්වී ආරක්ෂක හමුදාවන්ට එරෙහිව පෙලගැස්වූ එවැනි සැකමුසු දේවල් පිළිබඳ චෝදනාවන් එල්ලවන්නේ නම් ඊට පරීක්ෂණ සිදු කර සාධාරණ ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගත යුතුය.

මහාචාර්ය ඉන්ද්‍රරත්න 2010දී කළ අධ්‍යයනයකින් විශේෂ කරුණක් හෙළිවී තිබේ. ඒ ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 10ක් සෑම වසරකම වංචාව, දූෂණය, අක්‍රමිකතා නිසා රටට අහිමි වන බවය. නිදර්ශනයක් වශයෙන් 2015 රටේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් මිලියන 82ක් ලෙස ගණන් බැලුවහොත් එයින් 10ක් යනු රටට මිලියන අටක් අහිමිවීමය. එමගින් මේ රටේ වංචා, දූෂණවල තරම පැහැදිලි වේ. එහෙයින් සටන්පාඨවලට සීමා නොවී වංචා, දූෂණවලට වැට බඳින අණපනත් සේම ඒ අණපනත් වහා ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක්ද සැකසීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම් එය අතිශය සුවිසල් සේවයක් වනු ඇත. ඔහුට රටට ණයක් නැතුව සැබෑ නායකයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු සේ ගෙදර යා හැක්කේ එවිටය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: