විප්ලව කරන්න හැදුවට නායකත්වය දෙන්න පුළුවන් නායකයෝ අඩුයි..! (VIDEO)

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ රුසියාව මෙරටට ආධාර උපකාර ලබාදෙමින් මිත්‍රශීලීව කටයුතු කරන බවයි.

ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විප්ලවයට සූදානම් වුවද ඊට නායකත්වය දිය හැකි නායකයින්ගේ අඩුවක් පවතින බවයි.

පොදු සටන්කාමිත්වය පිළිබද ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය මහගු පාඩමක් කියා දෙන බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී සංවිධානය කොට තිබූ විශේෂ සැමරුම් උත්සවය අමතමිනි.
සාර් රජ පෙළපතේ වැඩවසම් පාලනයට විරුද්ධව 1917 දී ලෙනින් ගේ නායකත්වයෙන් දියත් වූ ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය හුදෙක් රුසියාව නොහොත් එදා සෝව්යට් දේශය විසින් පමණක් නොව සමස්ත මානව වර්ගයා විසින් දිනාගන්න ලද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සැලකේ.
අද දවසේ ද ජනතාව නිදහස සහප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විප්ලවයට සූදානම් වූව ද ඊට නායකත්වය දිය හැකි නායකයින්ගේ අඩුවක් ලෝකයේ පවතින බව ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.
රුසියාව සහ ශ්‍රීලංකාව අතර ද්විපාර්ශ්වික සබදතාවලට වර්තමානයේ ශක්තිමත් පදනමක් ලැබී ඇති බවද මෙහිදී සදහන් කළ ජනාධිපතිතුමා වසර 44 කට පසු රුසියාවේ රාජ්‍ය සංචාරයක් සදහා ශ්‍රීලංකා රාජ්‍ය නායකයෙකුට ලැබුණු පළමු ආරාධනය සනිටුහන් කරමින් තමන් එහි කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ සිට දෙරට අතර පවතින, ආර්ථික වෙළෙද සබදතා වඩා පුළුල් හා ශක්තිමත් වී ඇති බව ද කියා සිටියේය.
ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදනය කරන ලද ලාංකීය විද්වතුන්ගේ ලිපි එකතුවක් ඇතුළත් ,ඔක්තෝබර් විප්ලවය ඉදිරියටම, යන ග්‍රන්ථය කොමියුනිට්ස් පක්ෂයේ අධ්‍යාපන අංශයේ ලේකම් අගා ජයසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

Facebook Comments

more recommended stories

%d bloggers like this: