මහ රෑ රිචඩ් සොයිසා සරම පිටින් ගෙන ගිය හැටි – ජවිපෙ දෙවැනි කැරැල්ලේදී මරා දැමූ මාධ්‍යවේදීන්.

තේවිස්‌ ගුරුගේ ආදාහනයේදී කවි කීවේද සහ ප්‍රේමකීර්ති ඝාතනය වූ අවස්‌ථාවේදී එම ප්‍රවෘත්තිය නිවේදනය කළේ ද සාගරිකාය. ජවිපෙ තහනම නොතකා ගුවන්විදුලිය සහ රූපවාහිනියේ ප්‍රවෘත්ති කියවන ලදි. සාගරිකාගේ වැඩිමහල් සොහොයුරෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළේය. ඇය විවාහවීමට සිටියේ ද හමුදාවේ මේජර්වරයකු සමඟය. ප්‍රේමදාස ජනාධිපතිවරයාද දේහයට ගෞරව දැක්‌වීමට පැමිණි අතර අවසානයේ සාගරිකාගේ සොහොයුරාට ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්‌ථාවේ රැකියාවක්‌ද ලබාදුණි.

එමෙන්ම විනිවිද මාසික සඟරාවේ ලේඛකයකු වූ කේ. කේ. ප්‍රභාත් ජිනදාස ආරක්‌ෂක අංශ මගින් 1989 සැප්තැම්බර් 17 බොරැල්ලේ ගෝතමී විහාරයේදී පැහැරගත් අතර ඉන් පසු අතුරුදහන් විය. ඔහු ඝාතනයට ලක්‌වී ඇති බවට වාර්තා වේ. ඇසින් දුටු සාක්‌ෂි පදනම් කරගෙන ඔහු විසින් මිනිස්‌ ඝාතන අළලා ලියන ලද විශේෂ ලිපියක්‌ද 1989 විනිවිද ජූලි කලාපයේ පළවිය.

ආරක්‌ෂක හමුදා මගින් ඝාතනයට ලක්‌කළ තවත් මාධ්‍යවේදියකු වූයේ විනිවිද සඟරාවේ මාණ්‌ඩලික චිත්‍ර ශිල්පී මහින්ද බණ්‌ඩාර විඡේකෝන්ය. හම්බන්තොට හුංගම බටඅත කොනේවත්තේ 1958 මාර්තු 24 උපන් මහින්ද බණ්‌ඩාර අධ්‍යාපනය ලැබුවේ රන්න මහා විද්‍යාලයෙනි. මාතලේ උපන් ඔහුගේ පියා ඡේමිස්‌ බණ්‌ඩාරය. මව හක්‌මන උපන් පොඩිනෝනාය. මහින්ද බණ්‌ඩාරට සොයුරු සොහොයුරියන් 8 දෙනකු වූ අතර ඔහු පවුලේ 4 වැන්නාය. මහින්ද අවාහ වූයේ මානව හිතවාදී භික්‌ෂු සංවිධානයේ විදේශ ලේකම් මණ්‌ඩාවල පඤ්ඥාවංස හිමියන්ගේ මව වන සිසිලින් කල්එළියගේ නැගණිය ගේ දියණියක්‌ සමඟය. ඇය පොල්ගහවෙල උපන්නියකි. එම දෙපළගේ පුත්‍රයා වූ අල උපන්නේ 1989 සැප්තැම්බර් 12ය. විනිවිද සඟරාවට මාධ්‍යවේදියකු ලෙස සම්බන්ධ වීම නිසා ආරක්‌ෂක අංශ මහින්ද බණ්‌ඩාර සොයමින් පසු වූ බැවින් ඔහු බිරිඳ සහ දරුවා සමඟින් ගොතටුව නව නගරයේ බටදොඹගහවත්තේ ඥාති නිවසක ජීවත් විය. මහින්ද සිය ගොතටුවේ නිවසට යැමට කොටුව බස්‌ නැවතුම්පොලේ සිටියදී ආරක්‌ෂක අංශ මගින් ඔහු පැහැරගෙන යන ලදී.

පැහැරගත් මහින්ද බණ්‌ඩාර පසුව ආරක්‌ෂක අංශවලට අයත් හැව්ලොක්‌ ටවුමේ යටාරෝ වධකාගාරයේදී රඳවා තබාගන්නා ලදී. දක්‌ෂ චිත්‍ර ශිල්පියකු වූ ඔහු ගෙන් බලහත්කාරයෙන් සේවය ලබාගෙන ඇත. රෝහණ විඡේවීර ඝාතනයෙන් පසු ආරක්‌ෂක අංශ නියෝග මත අවසන් වරට ගත් විඡේවීරගේ ඡායාරූපය කලින් ඡායාරූපය සමඟ සසඳමින් හිස්‌ වැස්‌ම සහ අනෙකුත් දෑ සිතුවම් කළේද මහින්ද විසිනි. එම ඡායාරූපය මාධ්‍යවලටද නිකුත් විය. මහින්දගේ නිවසට වරක්‌ පැමිණි ආරක්‌ෂක නිලධාරීන් ළඟදීම මහින්ද නිදහස්‌ කරන බව දැනුම් දී ඇති අතර ඔහු විසින් අඳින ලද චිත්‍රයක්‌ද පවුලේ අය වෙත භාරදී තිබිණි. එහෙත් පසුව මහින්ද බණ්‌ඩාර නිදහස්‌ කළහොත් යටාරෝ වධ කඳවුරේ රහස්‌ හෙළිවෙතැයි ඇති බිය නිසා 1990 පෙබරවාරි ඝාතනයට ලක්‌විය. යටාරෝ වධ කඳවුර භාරව සිටි අය අතර මුල් තැනක්‌ ගත්තේ මේජර් මුතාලිµඅය.

ප්‍රකට මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසා ආරක්‌ෂක අංශ මගින් ඝාතනය කළේ රාජගිරිය වැලිකඩ වත්තේ 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට පැහැර ගැනීමෙන් පසුවය. ඉහළ මධ්‍යම පන්තියට අයත් රිචඩ් උපන්නේ 1958 මාර්තු 18ය. ඔහු මාධ්‍යවේදියෙක්‌, ලේඛකයෙක්‌, නිවේදකයෙක්‌, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක්‌, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක්‌, සිනමා නළුවෙක්‌, වේදිකා රංග ශිල්පියෙක්‌ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්‌ වශයෙන් කටයුතු කළ අයෙකි. යුගාන්තය සහ සත්‍යග්‍රහය ඔහු රඟපෑ සිනමා නිර්මාණ වූ අතර යශෝරාවය ටෙලි නාට්‍යයෙන් ඔහුගේ රංගන කුසලතා විදහා දැක්‌විණි.

මියයන විට 32 හැවිරිදි වියේ පසු වූ රිචඩ්ගේ පියාවූ ලූෂන් ද සොයිසා සිංහල ජාතිකයෙක්‌ වූ අතර මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු ද්‍රවිඩ ජාතිකයෙකි. ඇයගේ පියා වූ මනිකැස්‌තෝයි සරවනමුත්තු ප්‍රකට මාධ්‍යවේදියෙක්‌ සහ විදේශ දූත සේවා නිළධාරියෙකි. රිචඩ් ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර සොයුරු සොයුරියන් වූයේ මයිකල් සහ ලානාය. රිචඩ් ද සොයිසා මියයන විට සංවර්ධනය වන රටවල් පිළිබඳ සුවිශේෂි අවධානයක්‌ යොමුකළ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරුය. රිචඩ් ඝාතනය වූයේ පෘතුගාලයේ ලිස්‌බන් නුවර ඉන්ටර්ප්‍රෙස්‌ කාර්යාලයේ රාජකාරි භාර ගැනීමට ගිවිසගෙන තිබියදීය.

ලේඛකයාට රිචඩ් සමීපව ඇසුරු කිරීමට හැකි වූයේ 1986 විමසුම් ඇසින් නම් විනාඩි 30 රූපවාහිනි වැඩසටහන අර්ජුන රණවන සමඟ රූපවාහිනියට ඔහු නිෂ්පාදනය කළ බැවිනි. රවිනාථ ආරියසිංහ මෙහෙය වූ එම වසරේ වැඩසටහන් 11 කට ලේඛකයා සහභාගි වූ අතර එයට සහභාගි වූ රජයේ අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න විමසන ලද්දේ ලේඛකයා විසිනි.

ජවිපෙ ඉහළම පෙළේ නායකත්වය සමඟ කටයුතු කරමින් ජවිපෙට හිතවත්ව වැඩකර තිබීම රිචඩ් ඝාතනය කිරීමට හේතුව විය. ජවිපෙ දේශපාලන මණ්‌ඩලයේ ඉහළම සාමාජිකයන් තිදෙනකුට මෙන්ම ජවිපෙ ඉහළ ක්‍රියාකාරිකයන් කිහිපදෙනකුට රිචඩ් ද සොයිසා දෙවන කැරැල්ලේදී සහාය ලබාදී තිබිණි. දෙවැනි වූ නායකයා වූ දේශපාලන මණ්‌ඩල සභික ඩී.එම්. ආනන්ද සහ ඉන්දීය තානාපති කාර්යාලය හරහා ඉන්දීය පර්යේෂණ සහ විශ්ලේෂණ කාර්යාංශය වන රෝ සංවිධානය සමඟ සම්බන්ධකම් ඇතිකර දීමට රිචඩ් ද සොයිසා මැදිහත්වී තිබිණි.

දේශපාලන මණ්‌ඩල සභික සහ ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායක සමන් පියසිරිටද අවස්‌ථා කිහිපයකදී රිචඩ් විසින් උදව් ලබාදෙන ලදී. සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 රාත්‍රියේ නාවල කොස්‌වත්තේ නිවසකදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලයනල් ගුණසේකර ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම නිවසේ හිමිකරු වූයේ ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මාක්‌ ඇන්තනි ප්‍රනාන්දුය. එම නිවස සමන් පියසිරිට ලබාදීම සඳහා මාක්‌ ඇන්තනිගෙන් ලබාගෙන තිබුණේ රිචඩ් ද සොයිසාගේ ඉල්ලීමකට අනුවය. ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික සෝමවංශ අමරසිංහට ඔහුගේ බිරිඳ අයිරාංගනී සහ පුතා සමඟින් මාස දෙකක්‌ තිස්‌සේ මාලඹේ ප්‍රදේශයේ රහසිගතව ජීවත්වීමට නිවසක්‌ පරිත්‍යාග කළේ ද රිචඩ්ගේ මැදිහත්වීමෙනි.

ඝාතක කණ්‌ඩායම රිචඩ්ගේ නිවස පිහිටි ස්‌ථානය අසා ගත්තේ අලුයම 3.15ට කෙනත් හොන්ටර්ගේ නිවසට ගොස්‌ ඔහුගෙනි. ජනප්‍රිය රූපවාහිනි නිවේදිකා නොයලින් හොන්ටර්ගේ සැමියා වූයේ කෙනත්ය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්ජුන රණවනට, කෙනත් හොන්ටර් මේ පිළිබඳව එම මොහොතේම සිද්ධිය ගැන සැක සිතා දැන්වූ අතර අර්ජුන රණවන ඒ පිළිබඳව ජෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හෙන්රි පෙරේරාට එම මොහොතේදීම දන්වනු ලැබීය. පසුව රිචඩ් නාවල වැලිකඩවත්තේ නිවසේ සිටියදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30 ට පැහැරගත්තේය. රිචඩ්ගේ මවට කියා නිවසේ දොර බලෙන් ඇරවාගත් ආයුධ සන්නද්ධ කණ්‌ඩායම උඩුමහළට ගොස්‌ සරම පිටින්ම සිටි රිචඩ්ව ඇදගෙන ගොස්‌ අංක 32 ශ්‍රී 4748 දරණ කොලපාට ජීප් රථයට නංවා ගන්නා ලදී. රිචඩ්ගේ මව පැහැර ගැනීම පිළිබඳව වැලිකඩ පොලිසියට පැමිණිලි කළේ අලුයම 4.15 ටය. පැහැරගෙනයාම දුටු අනෙක්‌ 6 දෙනා වූයේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස සහ ඔහුගේ බිරිඳ එල්. එම්. මල්ලිකා, වෛද්‍ය සරවනමුත්තුගේ ගෘහ සේවිකාව වූ සරස්‌වතී සමඟින් යට තට්‌ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ අසල් වැසියෙකු වූ උනන්තැන්නය.

පසුව රිචඩ් ද සොයිසාගේ සිරුර හමු වූයේ 1990 පෙබරවාරි 19 පස්‌වරු 4 ට පමණ මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසල මුහුදු වෙරළිනි. මුහුදේ රළගෙඩි අතරින් පාවී එන නිරුවත් මිනිසකුගේ සිරුරක්‌ ප්‍රථමයෙන් දුටුවේ ධීවර බෝට්‌ටු හිමියකු වන මාකස්‌ ප්‍රනාන්දුය. ඔහුගේ සොහොයුරු නිමල් ප්‍රනාන්දුද ඒ අසල විය. බෙහෙවින් ඉදිමී තිබූ එම මළසිරුර හඳුනා ගැනීම අසීරු විය. මොරටුව පොලිසිය මගින් රටපුරා සෑම පොලිස්‌ ස්‌ථානයකටම පණිවිඩයක්‌ යෑවිණි. වැලිකඩ පොලිසියෙන් ඒ ආරංචිය රිචඩ්ගේ මවට ද පස්‌වරු 6.00 ට නිවසට පැමිණ දැන්වූයේය. කළුබෝවිල රෝහලට ගිය ඇයට සිය පුතණුවන් හඳුනා ගැනීමට අසීරු වූයේ නැත.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. නඩේසන් විසින් රිචඩ්ගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත් වූයේ 1990 පෙබරවාරි 20 දාය. එහි සිටි මාධ්‍යවේදීන් අතර ලේඛකයාද විය. මරණ පරීක්‌ෂණයේදී හෙළි වූයේ රිචඩ්ගේ ගෙල සහ වම් කන අසලට වැදුනු රයිµල් වෙඩි උණ්‌ඩ දෙකක්‌ නිසා ක්‌ෂණිකව මරණය සිදුවී ඇති බවය. වම් කම්මුලේ කනට මදක්‌ පහළින් වැදුණු එක්‌ රයිµල් උණ්‌ඩයක්‌ කන් අඩිය පසාරු කරගෙන ගොස්‌ තිබූ අතර බෙල්ලේ ඉදිරිපසින් වැදුණු අනෙක්‌ උණ්‌ඩය බෙල්ල හරහා ගොස්‌ පසුපසින් පිටව ගොස්‌ තිබූ බවය. වෙඩි 4 ක්‌ වැදී තිබිණි. පසුව අනාවරණය වූයේ 1990 පෙබරවාරි 18 අලුයම 3.30 ට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහගේ මෙහෙයවීමෙන් රිචඩ් පැහැර ගැනීමෙන් පසු එම මොහොතේම ගල්කිස්‌ස මුහුදු වෙරළට ගොස්‌ වෙඩිතබා මරා දමා ගල්දමා ගැටගැසූ මළ සිරුර මුහුදේ බෝට්‌ටුවක්‌ මගින් කෙටි දුරක්‌ ගොස්‌ විසිකර දැමීමට කටයුතු කළ බවය. රිචඩ්ගේ මෘත දේහය තැන්පත් කර තිබුණේ කාසල් වීදියේ අංක 42 දරණ ස්‌ථානයේ පිහිටි රිචඩ්ගේ මහගෙදරය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 1990 අප්‍රේල් 23 ටයිම්ස්‌ සඟරාවේ ලිපියක්‌ පළ වූ අතර රජය එය බෙදාහැරීම සහ අලෙවිය තහනම් කළේය. ටයිම්ස්‌ සඟරාවේ සඳහන් වූයේ ආණ්‌ඩුවේ ඝාතක කල්ලිවල කටයුතු විදහාපාන ප්‍රවෘත්ති ලිවීම මෙන්ම මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විදේශ සංවිධානවලට තොරතුරු දැන්වූ රිචඩ් ද සොයිසා බලවත් තර්ජනයක්‌ව තිබූ බැවින් මරාදමන්නට ඇති බවය. රිචඩ් ඝාතනයෙන් පසු 1990 මැයි 10 රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් සිටි ඔහුගේ මවට රිචඩ් පැහැරගෙන ගිය පොලිස්‌ කණ්‌ඩායමේ ප්‍රධානියා සිටිනු දැකගන්නට ලැබිණි. ඒ පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩය. එය අධිකරණයට දැනුම් දුන් පසු මහේස්‌ත්‍රාත් රෝහිණී පෙරේරා නියෝග කළේ ඔහු අත්අඩංගුවට ගනු ලෙසය. එහෙත් රාජ්‍ය ආරක්‌ෂක ඇමති රන්ජන් විඡේරත්නගේ උපදෙස්‌ අනුව එය ක්‍රියාත්මක කිරීමට පොලීසියට නොහැකි විය.

රිචඩ් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් කටයුතු කළ පිරිසට කොටුව පොලිසියේ ස්‌ථාන භාර පොලිස්‌ පරීක්‌ෂකවරයෙක්‌ද කොම්පඤ්ඥවීදියේ පොලිස්‌ පරීක්‌ෂකයෙක්‌ ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ අයත් වූහ. රොනී ගුණසිංහ සැලසුම අනුව රිචඩ් පැහැර ගැනීමට පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ පැමිණියේ සුදුපාට ෂර්ට්‌ එකක්‌ සහ සුදුපාට කොට කලිසමක්‌ ඇඳ සුදුපාට කැප් එකක්‌ද දමා ගෙනය.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගොඩ්µ්‍රස් ගුණසේකර සමඟ පොලිස්‌ අධිකාරි ගාමිණී පෙරේරා ඝාතන පරීක්‌ෂණ භාරව කටයුතු කළේය. රහස්‌ පොලිසියේ පොලිස්‌ අධිකාරි යසසිරි සමරතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ මෙහෙයවීය. එම පරීක්‌ෂණවලට අනුව පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අය අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මොරටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ මහාධිකරණය ඉදිරියේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී. මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා ඉදිරියේ නඩු විභාග විය. චූදිතයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා වූයේ රිචඩ් ද සොයිසා ඝාතනය කිරීමේ අරමුණ ඇතිව පැහැරගෙන ගොස්‌ ඝාතනය කර ඇති බවය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිනීතිඥ බැටී වීරකෝන් ඇතුළු පිරිසක්‌ පෙනී සිටියහ.

වසර 15 කට පසු නඩුවේ තීන්දුව නිකුත් වූයේ 2005 වසරේ නොවැම්බර් 9 ය. රිචඩ් ඝාතනයේ චූදිතයෝ සියල්ලෝම කොළඹ මහාධිකරණය මගින් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබීය. රිචඩ්ගේ ඝාතනයෙන් පසු ඒ පිළිබඳව සියලු පරීක්‌ෂණ පවත්වාගෙන යැම සඳහා ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍ය සහායක කරුණාදාසගෙන් ලැබුණේ සහායකි. රිචඩ් ඝාතකයන්ගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් උඩහමුල්ලේ පදිංචි කරුණාදාස වසර 2 කට ආසන්න කාලයක්‌ නවාතැන් ගත්තේ ඇමැති ලලිත් ඇතුලත්මුදලිගේ නිවසේදීය.

පාර්ලිමේන්තුවේදී රිචඩ් ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක්‌ පත් කරන ලෙසට 1990 මාර්තු 20 විපක්‌ෂය මගින් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටි අතර එහිදී ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විඡේරත්න කියා සිටියේ සෑම මිනීමැරුමකටම කොමිසමක්‌ පත්කිරීමට නොහැකි බවය. කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක්‌ පත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු විපක්‌ෂය විසින් ඒකාබද්ධ යෝජනාවක්‌ 1990 සැප්තැම්බර් මස ඉදිරිපත් කළ අතර එයට සිරිමා බණ්‌ඩාරනායක ඇතුළු මන්ත්‍රීවරුන් 21 දෙනෙක්‌ අත්සන් කර තිබිණි. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්‌තකයට එය ඇතුළත් කළ ද පාර්ලිමේන්තුව විසුරුවන තුරු ඒ පිළිබඳව කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක්‌ සිදු නොවීය. පොදුජන එක්‌සත් පෙරමුණ ආණ්‌ඩුව 1994 බලයට පැමිණීමෙන් පසුද රිචඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් විපක්‌ෂයේ සිටියදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එජාප ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටි කොමිසමක්‌ පත් කිරීමද ඔවුන්ගේම පොදු පෙරමුණේ ආණ්‌ඩුවෙන්ද සිදු වූයේ නැත.

රිචඩ් ඝාතනයෙන් පසු ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු ජවිපෙ දෙවන කැරැල්ලේදී මරා දැමූ සහ අතුරුදන් කළ දූ පුතුන්ගේ මව්වරුන් සහ වැන්දඹු බිරින්දෑවරුන් දහස්‌ ගණනකගේ අයිතීන් වෙනුවෙන් මව් පෙරමුණේ සභාපතිනිය වශයෙන් සුවිශේෂ කාර්යභාරයක්‌ ද ඉටු කළාය. මව් පෙරමුණේ මංගල ජාතික සමුළුව කොළඹ නව නගර ශාලාවේ පැවැත් වූයේ 1991 පෙබරවාරි 19 රිචඩ්ගේ ඝාතනයෙන් හරියටම වසරකට පසුවය. වැලිකඩවත්තේ නිවස අතහැර කොල්ලුපිටියේ ජයවර්ධන මාවතේ නිවසක හුදකලාවේ ජීවත්වී 2001 පෙබරවාරි 14 ජීවිතයෙන් සමුගත්තාය.

ඝාතනය කළ රිචඩ් ද සොයිසාට ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති ආයතනය මගින් 1990 දී විශිෂ්ටතම ඇගයීමේ සම්මානයක්‌ද පිරිනමන ලදී. රිචඩ්ගේ ඝාතනයෙන් වසර 19 කට පසු ඔහු පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය විනාඩි 60 ක චිත්‍රපටියක්‌ ද 2008 දෙසැම්බර් මස නිෂ්පාදනය කළේය. එමෙන්ම රිචඩ් ද සොයිසාගේ මව පිළිබඳව zඩේ ඩාන්සින් අලෝන්z නමින් බන්ධුල ගුණවර්ධන නිෂ්පාදනය කරමින් නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්‌ෂණය කර රූගත කිරීමට සිටි චිත්‍රපටිය ආරක්‌ෂක අමාත්‍යංශය මගින් 2015 පෙබරවාරි 13 වාරණය කරන ලදී. රිචඩ් ඝාතකයා බවට චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ 1993 මැයි 01 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමට කොටි සංවිධානයේ බාබු පිපිර වූ බෝම්බයට ජනපති ප්‍රේමදාස සමඟ ඝාතනයට ලක්‌වූ පිරිස සමඟම ගොදුරු විය.

චන්ද්‍රකුමාර වික්‍රමරත්න යනු 1986 සිට 1990 දක්‌වා පැවති ජවිපෙ දෙවැනි කැරැල්ලේදී කවිය අවියක්‌ කොට ගත් ජවිපෙ පූර්ණ කාලීනයෙකි. භූගත සටන් කරුවකුද වූ ලේඛකයාට හඳුනා ගන්නට හැකි වූයේ 1984 මුල් භාගයේදීය. කලක්‌ පැවිදි වී සිටි චන්ද්‍රකුමාර වික්‍රමරත්න අම්බලන්ගොඩ උපන් අතර ඔහු දිවයින පුවත්පතට සුනිල් මාධව ප්‍රේමතිලක සංස්‌කරණය කරන ලද 8 වැනි පිටුවෙන් දහස්‌ ගණන් පාඨකයා දැන හැදින ගත්තේය. හදාගත් මවගේ ලෝකයෙන් කැඩී වෙන්වී දේශපාලන ආර්ථික මූලයන් සොයමින් සාහිත්‍ය භාවිතාවේ යෙදුනේය. දිවයිනේ 8 වැනි පිටුවට ඔහු ලියූ බොහෝ විදේශ කවිවල පරිවර්තනයන් ලෙස ඔහු ලියූ විදේශිකයන්ගේ නාමයන් සියල්ලම වාගේ ව්‍යාජ නාමයන්ය. චන්ද්‍රකුමාර මාළු වික්‌කේය. රඹුටන් වික්‌කේය. මැටි බඩු ද වික්‌කේය. දුම්රියේ, බස්‌රථවල රබන් ගසා විරිදු සහ සිංදු කීවේය.

චන්ද්‍රකුමාර උපන්නේ 1964 ජුනි 5 ගාල්ලේ අහංගමදීය. මව චන්ද්‍රලාතාද සිල්වා වූ අතර පියා ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස්‌ කොන්දොස්‌තරවරයෙක්‌ විය. චන්ද්‍රකුමාරට ඔහුට වඩා වැඩිමහල් සොහොයුරියක්‌ සහ බාල සොහොයුරන් දෙදෙනෙක්‌ විය. කුඩා කාලයේදීම පියා මව අතහැර වෙනත් පවුල් ජීවිතයක්‌ සඳහා නික්‌ම ගියේය. සිය දරුවන් පෝෂණය කිරීම සඳහා චන්ද්‍රකුමාරගේ මව අනේක දුක්‌ වින්දාය.

චන්ද්‍රකුමාර පුවත්පතකට අඳුරේ සිට ලියමි මැයින් ලියන ලද කෙටි කථාවක මෙසේ සඳහන්ය.Ñ…. රාත්‍රියේත් දවාලෙත් එළිපිටවත් රහසිගතවත් අපේ ගෙදරට අම්මා සොයා ආ මිනිසුන් මඟ තොටේදී මට හමුවේ….. රාත්‍රියට රොටියක්‌ද අම්මාගෙන් මට ලැබුණේ කෙසේද යන්න වග දැන්නම් මට නිරවුල්ව සිතා ගත හැකිය. ඒ සමඟම ඔබ විසින් මට සමාවිය යුතුය. මා මින් අදහස්‌ කරන්නේ මාගේ අම්මාට අපහාස කිරීමට නම් නොවේ…… ඔහුට වයස අවුරුදු 13 ක්‌ වන විටදී චන්ද්‍රකුමාරගේ අම්මා සිය දිවි නසා ගත්තාය. එහෙත් පිළිස්‌සුම් තුවාල වලින් එකවර ඇය මිය ගියේ නැත. පසුව ඇය මිය ගියේ මාස තුනකට පසුවය.

ලබන සතියට

ධර්මන් වික්‍රමරත්න විසිනි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: