රිදියගම ගොම්මුන්නාකන්දේ මහා පරිසර විනාශයක් – ගම්මාන 12 ක ජන දිවිය වනසයි…!

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ රිදීගම හා මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ දෙකට අයත් ගොම්මුන්නා කන්දේ විලියම් වුඩ්ලී එස්‌ටේට්‌හි පවත්වාගෙන යන මහ පරිමාණ දැව ඉරුම්හල් හා කළු ගල් ඇඹරුම් කර්මාන්තවල ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම මහා පරිමාණ කළු ගල් හා පස්‌ කැණීම් හේතුවෙන් ගම්මාන 12 ක ජනතාව දැඩි ජල අර්බුදයකට හා කදුවැටිය නාය යැමේ අවධානමකට ලක්‌ව සිටී.

විලියම් වුඩ්ලී එස්‌ටේට්‌හි විනාශයට ලක්‌වන ගොම්මුන්නා කන්ද අතරමැදි කලාපයේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. ලංකාවට ආවේණික ජීවී විශේෂ බොහොමයකට වාසස්‌ථාන සපයන දැදුරු ඔයේ ජල පෝෂක වනාන්තරයකි. මොරන්කන්දෙන් දැදුරු ඔයේ ආරම්භය සිදු වුව ද එහි ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ අක්‌කර 2500 කට වඩා වැඩි වපසරියකින් යුතු ගොම්මුන්නා කන්ද යි. මෙම කන්දේ ඉඩම් අක්‌කර 255 ක්‌ එක්‌තරා සමාගමක්‌ මගින් හිමිකර ගෙන පසුගිය වසරේ සිට වනාන්තර එළිපෙහෙළි කරමින් පිවිසුම් මාර්ග පද්ධති සකස්‌ කිරීම, මහ පරිමාණයෙන් කළු ගල්අ කැණීම හා පස්‌ කැණීම සිදුකරන අතර කළු ගල් ඇඹරීම සදහා විශාල යන්ත්‍ර පද්ධතියක්‌ සහ විශාල දැව ඉරුම්හලක්‌ ස්‌ථාපිත කර තිබේ. මේ හේතුවෙන් පහළ ප්‍රදේශයේ ගම්මාන 12 ක ජනතාව දැඩි පීඩාවට පත් ව සිටී. මහ පරිමාණ පස්‌ කැණීම, කළු ගල් කැණීම හා දැවමය ශාක ඉවත් කිරීම හේතුවෙන් කඳුවැටියේ පාංශු ස්‌ථර අස්‌ථාවර වී පාංශු ඛාදන තත්ත්වයන් උග්‍ර මට්‌ටමකට පරිවර්තනය වී තිබේ. මේ නිසා දිය දහරාවන් ඔස්‌සේ වර්ෂා කාලයේ දී රොන්මඩ පිරි ජලය ගලා ඒම සිදුවේ. එපමණක්‌ නොව මෙම ක`දුවැටියෙන් ආරම්භ වී පහළට ගලා එන ජල මූලාශ්‍ර 10 ක්‌ පමණ සිඳී ගොස්‌ තිබේ. මේ නිසා පවුල් 550 ක්‌ පමණ හා කුඹුරු අක්‌කර 280 ක්‌ පමණ උග්‍ර ජල හි`ගයකට මුහුණ පා ඇත. එපමණක්‌ නොව කළු ගල් හා පස්‌ කැණීම් මෙන්ම ගස්‌ කැපීම හේතුවෙන් ක`දුවැටි අස්‌ථාවර වී නාය යැමේ අවධානමක්‌ මතුව තිබේ.

ගොම්මුන්නාකන්දේ සිදුකෙරෙන මෙම විනාශකාරී කර්මාන්ත හේතුවෙන් රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් ඉකිරිවත්ත හා පාරාගොඩ යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ ගම්මාන 12 ක ජනතාව බලපෑමට ලක්‌ව සිටී. පොල්ගොල්ල, රණමුකයාතැන්න, කෝන්ගහහේන, අලවත්තාහේන, දොඩන්තලාව, පාරාගොඩ, දොඹගොල්ල, ඉකිරිවත්ත, වේල්ලගොඩැල්ල, බොකනියාව, වැල්හීරිය හා මිහිලියද්ද යන ගම්මානවල ජනතාව මේ වන විට පීඩාවට පත්ව සිටී. ඉකිරිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පවුල් 298 ක්‌ හා පාරාගොඩ ග්‍රාම නිලධාරී වසමේ පවුල් 246 ක්‌ මේ වන විට බලපෑමට ලක්‌ ව ඇත.

ගොම්මුන්නාකන්දෙන් ආරම්භ වී පහළට ගලා එන රන් ආදා ඇළ, ගල්වල ඇළ හා රිලාඇල්ල ඇතුළු දිය දහරාවන් 10 ක්‌ මෙම ගම්මාන හරහා ගලා බසින අතර එම දිය දහරාවන්ගෙන් ජලය ලබා ගෙන කුඹුරු අක්‌කර 278 ක්‌ වගා කෙරේ. ඉකිරිවත්තේ අක්‌කර 110 ක්‌, ගනේගොඩ අක්‌කර 113 ක්‌ හා පාරාගොඩ අක්‌කර 55 ක්‌ වශයෙන් මෙම ප්‍රදේශයේ වී ගොවිතැන යල හා මහ කන්න දෙක තුළ දී සිදු කෙරේ. නමුත් මෙම හානිකර පස්‌ කැණීම්, කළු ගල් කැණීම් හා ගස්‌ කැපීම් හේතුවෙන් ඇළ මාර්ග වල ජලය සිදී යාමෙන් වගා බිම් සියල්ල අතහැර දැමීමට සිදුව තිබේ. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන යෑපුම් මාර්ගය අහිමි වී ඇත. මීට අමතරව මෙම ප්‍රදේශයේ සුළු අපනයන භෝග වශයෙන් කුරුදු, කරාබුනැටි, ගම්මිරිස්‌, සාදික්‌කා, කෝපි හා කොකෝවා වගා කෙරේ. ජලය අහිමි වීමෙන් මේ සියල්ලම ගොවි ජනතාවට අහිමි වෙමින් තිබේ.

මෙම ගම්මානවල ජීවත් වන ජනතාවගේ දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගන්නේ ගොම්මුන්නාකන්දෙන් පහළට ගලා එන ඇළ මාර්ගවල ජලයෙනි. මීට අමතරව උල්පත් ජලය ද භාවිතා කරයි. අද වන විට ඒ සියල්ල සිදී යමින් තිබේ. එපමණක්‌ නොව වැසි කාලවල දී අධික රොන්මඩ සහිතව ජලය ගලා යැම හේතුවෙන් වැසි කාලවල දී ද කන්දෙන් ගලා එන ජලය භාවිතයට ගත නොහැකි වී ඇත.

ගොම්මුන්නාකන්දේ මහ පරිමාණ පස්‌ හා කළු ගල් කැණීම සහ ගස්‌ කැපීම හේතුවෙන් ඇති වන බලපෑම මෙම ගම්මාන 12 ට පමණක්‌ සීමා වී නොමැත. බතලේගොඩ වැව හා දැදුරු ඔයේ ජලය ලබා ගෙන සිදු කෙරෙන කෘෂිකර්මාන්තයට හා පානීය ජල ව්‍යාපෘතිවලට මේ තත්ත්වය සෘජුවම බලපා තිබේ. කවිසිගමුවෙන් දැදුරුඔය හරස්‌ කර ජලය ලබා ගෙන ඉදිකර ඇති බතලේගොඩ වැවේ ධාරිතාවය අක්‌කර අඩි 4840 කි. මේ යටතේ විශාල ගොවි බිම් ප්‍රමාණයක්‌ වගා කෙරේ. දැදුරුඔය ඕගොඩපොල දී හරස්‌ කර ජලය ලබා ගෙන රිදීගම, ඕගොඩපොල ඇතුළු විශාල ප්‍රදේශයකට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වේ. මේ සියල්ලට ම ගොම්මුන්නා කන්දේ සිදු කෙරෙන මහ පරිමාණ වනාන්තර විනාශය ඉතාම හානිකර ලෙස බලපානු ඇත. දැදුරු ඔයේ ජල සුරක්‌ෂිතතාවයට පමණක්‌ නොව අධික ලෙස එක්‌ වන රොන්මඩ හේතුවෙන් බතලේගොඩ වැව රොන්මඩින් පිරීයැමට පවා මේ හානිකර පස්‌ කැණීම්, කළු ගල් කැණීම් හා මහ පරිමාණ දැව හෙළීම් බලපානු ඇත.

මෙලෙස මහ පරිමාණ විනාශයක්‌ ඇති වීමට ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් නිසි ඇගයීමට ලක්‌ නොකර කළුගල් හා පස්‌ කැණීමට මෙන් ම දැව ඉවත් කිරීම ස`දහා අනුමැතිය ලබා දීම ය. මෙම ස්‌ථානයේ සිදු කෙරෙන කළු ගල් හා පස්‌ කැණීම, කළු ගල් ඇඹරීමේ යන්ත්‍ර සහ දැව ඉරුම් පට්‌ටලය ඇතුළු කර්මාන්ත පවත්වාගෙන යැම ස`දහා වෙන වෙනම පරිසර ආරක්‌ෂණ බලපත්‍ර තුනක්‌ හා කැණීම් කටයුතු සදහා වෙන වෙන ම කැණීම් බලපත්‍ර දෙකක්‌ ලබා ගත යුතු ය. එපමණක්‌ නොව අක්‌කර 80 ක පමණ විශාල වනාන්තර පද්ධතියක්‌ එළිපෙහෙළි කර මෙම කර්මාන්තය දැනට පවත්වාගෙන යැම හේතුවෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම කළ යුතු ය. නමුත් මේ සියලු කැණීම් හා කර්මාන්ත පවත්වාගෙන යන්නේ නියමිත පරිදි අනුමැතීන් ලබා ගැනීමෙන් තොරව නීති විරෝධී ලෙස ය.

ගොම්මුන්නා කන්දේ සිදු කෙරෙන මහා පරිමාණ කළුගල් කැණීම්, පස්‌ කැණීම් හා දැවමය ශාක ඉවත් කිරීම් නීති විරෝධී ලෙස සිදුකෙරෙන බවට සාධක බොහොමයක්‌ පවතී. නමුත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය හෝ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය හෝ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ වයඹ පළාත් පරිසර අධිකාරිය හෝ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම කනගාටුවට කරුණකි.

1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 2008 ජනවාරි 25 වන දින අංක 1533/16 දරණ ගැසට්‌ නිවේදනයට අනුව වරකට බොරවලවල් 1 කට වැඩි ප්‍රමාණයක්‌ පුපුරවමින් සිදුකරන යාන්ත්‍රික කළුගල් කැණීම් සඳහා මෙන්ම දිනකට ඝන මීටර් 50 ක්‌ හෝ ඊට වැඩි ඉරුම් ධාරිතාවක්‌ ඇති ලී මෝල් පවත්වාගෙන යැමට හෝ දිනකට ඝන මීටර් 25 ක්‌ හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක්‌ ඇති කළුගල් ඇඹරුම් කර්මාන්ත පවත්වාගෙන යැම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් වෙන වෙනම පරිසර ආරක්‍ෂණ බලපත්‍ර ලබාගත යුතු ය. පරිසර ආරක්‍ෂණ බලපත්‍රවල කොන්දේසී උල්ලංඝණය කරමින් මෙම කිසිදු කර්මාන්තයක්‌ පවත්වාගෙන යැමේ හැකියාවක්‌ නැත.

1992 අංක 33 දරණ සංශෝධිත පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 (1) උපවගන්තියට අනුව කළුගල් කැණීම් හා පස්‌ කැණීම් සඳහා බලපත්‍ර ලබාගත යුතු ය. මෙම පනතේ 63 (3) උපවගන්තියට අනුව ලබාගත් කැණීම් බලපත්‍රයේ කොන්දේසී උල්ලංඝණය කරමින් කැණීම් කටයුතු සිදුකිරීම නීති විරෝධී ක්‍රියාවක්‌ බව සඳහන් වේ. එවන් ක්‍රියාවක නිරතවන පුද්ගලයකු මහෙස්‌ත්‍රාත් අධිකරණයක දී වරද කරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් රුපියල් 50,000 අතර දඩයකට යටත් කළ හැකි ය.

මෙම පනතේ 63 ඇ උප වගන්තිය අනුව කැණීම් බලපත්‍රයක කොන්දේසි උල්ලංඝණය කරමින් කළුගල් හෝ පස්‌ කැණීම් සිදුකරන අවස්‌ථාවක දී එවන් පුද්ගලයකු වරෙන්තුවක්‌ නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය. එය සංඥය වරදක්‌ ලෙස සඳහන් වේ.

ගොම්මුන්නා කන්දේ ස්‌ථාන කිහිපයක ඉතාමත් අක්‍රමවත් ලෙස හා හානිකර ලෙස අදාළ සමාගම විසින් නීත ස්විරෝධී කළුගල් කැණීම් කටයුතු සිදු කළ ද, ඊට එරෙහිව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය හෝ පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැත. මේ නිසා මහජන පීඩාකාරී තත්වයන්ට හා ජල අර්බුදයන්ට ගම්මාන 12 ක ජනතාවකට මුහුණ දීමට සිදු වී ඇත.

කළුගල් වලවල් පවත්වාගෙන යැම, පස්‌ කැණීම, කළුගල් ඇඹරුම් යන්ත්‍ර ස්‌ථාපිත කිරීම, දැව ඉරුම් පට්‌ටල් ස්‌ථාපිත කිරීම හා පිවිසුම් මාර්ග පද්ධතිය සකස්‌ කිරීම සඳහා ගොම්මුන්නා කන්දේ අක්‌කර 80 කට වැඩි වනාන්තර ප්‍රදේශයක්‌ එළිපෙහෙළි කර තිබේ. නමුත් ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයකට යටත් ව අනුමැතිය ලබාගෙන නොමැත.

1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරණ ගැසට්‌ නිවේදනයට අනුව හෙක්‌ටයාර 1 කට වැඩි භූමි ප්‍රදේශයක්‌ එළිපෙහෙළි කර වනාන්තර ආශ්‍රිත නොවන කාර්යයක්‌ සඳහා යොදාගැනීමට ප්‍රථමයෙන් හෝ හෙක්‌ටයාර 5 කට වැඩි භූමි ප්‍රදේශයක ඇති දැව ඉවත් කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයිම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.

 

1990 අංක 12 දරණ වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියට අනුව ප්‍රකාශිත 1998 මාර්තු 27 වැනි දින අංක 1020/21 දරණ ගැසට්‌ නිවේදනයට අනුව හෙක්‌ටයාර 1 කට වැඩි භූමි ප්‍රදේශයක ඇති වනාන්තර එළිපෙහෙළි කර වනාන්තර ආශ්‍රිත නොවන ක්‍රියාවලියක්‌ සඳහා යොදාගැනීමට හෝ හෙක්‌ටයාර 5 කට වැඩි භූමි ප්‍රදේශයක ඇති දැව ඉවත් කිරීමට ප්‍රථමයෙන් හෝ හෙක්‌ටයාර 20 කට වැඩි භූමි ප්‍රදේශයක්‌ එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයිම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය.

1998 අංක 24 දරණ පනතින් සංශෝධිත පුරාවස්‌තු ආඥා පනත යටතේ ප්‍රකාශිත 2000 ඔක්‌තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට්‌ නිවේදනයට අනුව කර්මාන්ත සදහා හෙක්‌ටයාර එකකට වැඩි සියලු භූමි ප්‍රදේශ එළි කිරීම හෝ කළු ගල් කැඩීමේ ක්‍රියා සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීම් වාර්තාවක්‌ සකස්‌ කර ඒ සදහා අනුමැතිය ලබා ගත යුතු ය.

නමුත් ගොම්මුන්නා කන්දේ මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කර සිදු කර ඇති කළුගල් හා පස්‌ කැණීම් මෙන් ම දැව ඉරුම් පට්‌ටල් හා කළු ගල් ඇඹරීමේ කර්මාන්ත පවත්වාගෙන යැමට ප්‍රථමෙයන් කිසිදු ආකාරයක පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියක්‌ සිදුකර නොමැත. සමාගම ගොම්මුන්නා කන්දේ සිදුකරන සියලුම කර්මාන්ත ස්‌ථාපිත කර ඇත්තේ ජාතික පාරිසරික පනත, වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත හා පුරාවස්‌තු ආඥා පනත උල්ලංඝනය කරමිනි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය හෝ වයඹ පළාත් පරිසර අධිකාරිය හෝ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැත. යහපාලන ස්‌ථාපිත කිරීමට උත්සහ දරණ රටක රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය මේ ආකාරයෙන් සිදුවෙමින් පවතී නම් කුමන ආකාරයෙන් රට තුළ යහපාලනය ස්‌ථාපිත කළ හැකි ද යන්න ගැටලුවකි.

දණ්‌ඩ නීති සංග්‍රහයේ 261 වගන්තියට අනුව ජනතාව පොදුවේ භුක්‌ති වි`දින යම් දෙයකට පාඩුවක්‌, බාධාවක්‌, අන්තරායක්‌ හෝ අප්‍රසන්නතාවයක්‌ ඇති වන ක්‍රියාකාරකමක නිරත වන තැනැත්තෙක්‌ මහජන පීඩාවක්‌ ඇති කිරීමේ වරදට වරදකරුවකු වන බව සඳහන් වේ. මීට අමතරව මෙම පනතේ 270 වන වගන්තිය අනුව යම් පොදු උල්පතක්‌ හෝ ජල මූලාශ්‍රයක්‌ අපවිත්‍ර කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව ගොම්මුන්නා කන්දේ සිට ආරම්භ වී පහළට ගලා එන ගම්මාන 12 ක ජනතාව පොදුවේ භාවිතා කරන ජල මූලාශ්‍ර සියල්ලම විලියම් වුඩ්ලි සමාගම කළුගල් කැණීම්, පස්‌ කැණීම් හා ගස්‌ කැපීමේ කර්මාන්ත හේතුවෙන් සම්පූර්ණයෙන්ම රොන් මඩින් දූෂණයට ලක්‌ වී ඇති අතර එම ජලය ජනතාවට භාවිතා කළ නොහැකි තත්ත්වයට පත් වී ඇත. මේ සම්බන්ධයෙන් දණ්‌ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් කිරීමේ හැකියාව පොලිසියට ඇත.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 98 (1) (අ) උපවගන්තියට අනුව මහජනතාව විසින් නීතියානුකූලව ප්‍රයෝජනයට ගන්නා පොදු ජල මූලාශ්‍රයකට යම් බාධාවක්‌ හෝ පීඩාවක්‌ ඇති කළ නොහාකි අතර එය ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමේ බලය මහේස්‌ත්‍රාත්වරුන්ට ඇත. මෙම පනතේ 104 වගන්තියට අනුව යම් මහජන පීඩාවක්‌ ඇති කරන තැනැත්තෙකුට විරුද්ධව අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කිරීමේ බලය මහෙස්‌ත්‍රාත්වරුන්ට ඇත. එපමණක්‌ නොව මෙම පනතේ 105 වැනි වගන්තියට අනුව දණ්‌ඩ නීති සංග්‍රහයේ සඳහන් වන පරිදි මහජන පීඩාවක්‌ නැවත නොකරන ලෙසට හෝ දිගටම නොකරන ලෙසට ආඥාවක්‌ නිකුත් කිරීමේ හැකියාවක්‌ මහෙස්‌ත්‍රාත්වරයකුට ඇත. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මහජන පැමිණිලි පාදක කරගෙන පොලිසියට හැකියාව තිබේ. නමුත් සමාගම හා නිලධාරීන් අතර ඇති සබඳතා හේතුවෙන් එවන් ක්‍රියාවලියකට නිවැරදි ලෙස යොමු වී නොමැත. මේ නිසා ජනතාව මෙම සමාගමේ ක්‍රියාකාරීත්වය හා නිලධාරීන්ගේ මඟ හැරීම් හා නොකර හැරීම් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටී.

වනාන්තර එළිපෙහෙළි කර කර්මාන්ත ස්ථාපිත කර ඇති ආකාරය.

මහ පරිමාණ දැව ඉරුම් පට්ටලය.

මහ පරිමාණ කළු ගල් ඇඹරුම් යන්ත‍්‍රය.

සජීව චාමිකර.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: