විල්පත්තුවේ ඇතා මැරූ රිෂාඩ්ගේ මවුලවි සහ අනෙක් අපරාධකාරයන් මෙන්න..! (Photo)

ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ ඝාතනය මුළු රටම කම්පනයට පත් කළේය. ඒ අසරණ සතාගේ මරණය දැක මිනිස්‌සු හැඬූහ. ගල්ගමුව ප්‍රදේශවාසීහු ඒ ඇත් රජුට පිං පැමිණවීමට දාන මාන පින්කම් කළහ. ඒ අතර ඇතැම් පූජකයන් දළ පූට්‌ටුවා විනාශ කරවුන්ට දඬුවම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කළහ. දැන් ඒ අහිංසක සතාගේ මරණය අලි ඝාතකයන්ට සාපයක්‌ වී ඇති සේය. එක දිගට අලි ඝාතකයන් නීතියේ රැහැනට කොටු වෙමින් සිටී. මෙරට විවිධ ප්‍රදේශවලදී අතුරුදන් වූ ඇත්තු ගැන විවිධ කටකතා පැතිරෙමින් තිබේ. ඒ අතර අලුත්ම සිද්ධිය වාර්තා වන්නේ සිලාවතුර ප්‍රදේශයෙනි. ඒ ඇත්දළ යුගලයක්‌ විකිණීමට ගොස්‌ ජාවාරම්කාරයන් තිදෙනකු අනුරාධපුර පොලිසියට කොටුවීමය. වාර්තා වන අන්දමට ඒ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ විශාල ඇත්දළ යුගලයක්‌ විකිණීමට ඇති බවට අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණට ඔත්තුවක්‌ ලැබිණි. පොලිස්‌ අධිකාරිවරයාට ලැබුණු තොරතුරු මත ඇත් දළ යුගලය කිලෝ ග්‍රෑම් 50 කට ආසන්නය. උස අඩි පහකට වැඩිය. ලංසුව ලක්‍ෂ හැටකි. මෙරට ඉතිහාසය පුරාවට සොයාගත් විශාලතම ඇත් දළ යුගලය එය විය හැකි බවට පොලිසිය සැක පහළ කෙරිණි. ලැබුණු තොරතුරු මත පොලිස්‌ අධිකාරිවරයා ඇත් දළ යුගලය අත්අඩංගුවට ගැනීමට සැලසුම් සකස්‌ කළේය. පසුව පොලිස්‌ අධිකාරිවරයා රත්නපුර ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයෙක්‌ ලෙස වෙස්‌වලා ගත්තේය. වැටලීමට සම්බන්ධ වන අනෙකුත් පොලිස්‌ නිලධාරීන්ට ඔහුගේ ගෝලයන් ලෙස පෙනී සිටින ලෙසට අණ කළේය. ඇත්දළ සන්තකයේ තබාගෙන සිටින ජාවාරම්කාරයන්ගේ දුරකථන අංක සොයාගෙන ‘ඩීල්’ එක සම්බන්ධයෙන් ඔවුන් සමඟ නිරන්තරයෙන් දුරකථනය ඔස්‌සේ කතාබහ කළේය.

ඇත්දළ ජාවාරම්කාරයන් පොලිස්‌ අධිකාරිවරයාගේ බහට රැවටිණි. පොලිස්‌ අධිකාරිවරයාගේ ලක්‍ෂ පනහයේ ලංසුවට ඇත්දළ දෙක ලබාදීමට ජාවාරම්කාරයන් කැමැති විය. අනතුරුව පොලිස්‌ අධිකාරිවරයා ඇත්දළ යුගල පරීක්‍ෂා කිරීමට ඇවැසි බව පවසමින් තම ගෝලයකු ලෙසට පොලිස්‌ කොස්‌තාපල් අංසක සංජීව වන්නිනායකව මන්නාරමට පිටත් කර හැරියේය. ගමන සඳහා රියෑදුරකු සමඟ සුපිරි මෝටර් රථයක්‌ ද ලබා දුන්නේය. පසුගිය 28 වැනිදා සවස අනුරාධපුරයෙන් පිටත් වූ පොලිස්‌ කොස්‌තාපල්වරයා අලුයම 1 ට පමණ මන්නාරම සිලාවතුර ප්‍රදේශයට ළඟා විය. මුල සිට කතිකා කරගත් ස්‌ථානයට ඔවුන් යන විටත් ජාවාරම්කාරයන් තිදෙනකු පැමිණ සිටියහ. අනතුරුව ජාවාරම්කාරයන් තිදෙනා ද එම මෝටර් රථයටම නැගී මොල්ලිකුලම ප්‍රදේශයට ගොස්‌, එක්‌ ජාවාරම්කාරයකු රියෑදුරු සමඟ මෝටර් රථයේ නතර වී සෙසු ජාවාරම්කාරයන් දෙදෙනා පොලිස්‌ නිලධාරිවරයා ද කැටුව යතුරුපැදියකින් කිලෝ මීටර් තුනක්‌ පමණ විල්පත්තුව ඝන කැලෑව මැදට ගමන් කළේය. කැලෑව මැද යතුරුපැදිය නතර කළ ජාවාරම්කාරයෝ පොලිස්‌ නිලධාරියාගේ මුළු ශරීරයම හොඳින් පරීක්‍ෂාවට ලක්‌ කළහ. මුදල් පසුම්බිය ද අහුමුළු නෑර තියුණු පරීක්‍ෂාවකට ලක්‌ කළහ.

ජාවාරම්කාරයන්ට වඩා අනුරාධපුර පොලිස්‌ අධිකාරිවරයා සූක්‍ෂ්ම විය. ඔහු තම ගෝලයාට උපදෙස්‌ දී තිබුණේ රාජකාරි හැඳුනුම්පත හෝ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ කොල කෑල්ලක්‌වත් සන්තකයේ තබා නොගන්නා ලෙසය. පොලිස්‌ නිලධාරියා ද එය අකුරටම පිළිගත්තේය. එහෙයින් ජාවාරම්කාර දළ හොරුන්ගේ පරීක්‍ෂාවෙන් පොලිස්‌ නිලධාරියා සමත් විය. යතුරුපැදිය පැත්තකට කළ ජාවාරම්කාරයන් දෙදෙනා පොලිස්‌ නිලධාරියා ද කැටුව නැවතත් පා ගමනින් කැලෑව තුළට ගමන් කළහ. ඒ වන විට පාන්දර දෙක පසු වී තිබිණි. සඳ කිරණ නොවැටෙන්න මහා කැලෑව කෑලි කපන තරමට කළුවරය. සතුන්ගේ ගෝර නාද, පළඟැටියන්ගේ කෙඳිරිලි හඬ මහා කැලෑ දෙබෑ කරගෙනැවිත් දෙසවන් පාරවන්නට විය.

‘බය වෙන්න එපා… ඉස්‌සරහ ඇතෙක්‌ අතු කඩනවා…’ එසේ කොඳුරමින් එක්‌ ජාවාරම්කාරයෙක්‌ විදුලි පන්ද නිවා දැමුවේය. තිදෙනාම හිටිවනම නතර විය. ටික වේලාවක්‌ ගත වන විට ඇතා කොළ අතු කඩා කැලයට වහං විය. ජාවාරම්කාරයන් දෙදෙනා ද සෙමෙන් ගමන් ආරම්භ කළහ. පොලිස්‌ නිලධාරියා ද ඔවුන් අනුගමනය කළේය. එහෙත් ගමන් කිරීමට හැකි වූයේ මඳ දුරකි. විශාල වළසෙකු මඟ හරස්‌ කරගෙන දත් විලිස්‌සාගෙන බලා සිටියේය. පොලිස්‌ නිලධාරියාගේ ඇඟ තෙත් විය. එහෙත් ජාවාරම්කාරයෝ වළසාව පයිසෙකට මායිම් නොකර අත රැදි පොලු කෑල්ල වනමින් වළසාව කැලෑවට පැන්නූහ. වග වළසුන්ගේ බාධක මැද කිලෝමීටර් හයක්‌ පමණ දුර ගෙවා ඇත් දළ යුගල සඟවා ඇති ස්‌ථානයට තිදෙනා ළඟා වූහ. එම ස්‌ථානයේ තවත් පුද්ගලයකු ඇත්දළ යුගලයට තනි රකිමින් සිටියේය. එම පුද්ගලයා විසින් අඩි දෙකක්‌ පමණ පොළොවේ පස්‌ ඉවත් කර ඉටි කොළවලින් ආවරණය කර තිබූ ඇත්දළ යුගලය රැගෙන මැණික්‌ ව්‍යාපාරිකයාගේ ගෝලයා ලෙස වෙස්‌ වලාගෙන සිටි පොලිස්‌ නිලධාරියාට පෙන්නුවේය.

‘මේ ඇත් දළ යුගල ව්‍යාජ එකක්‌ද… ඔර්ජිනල් එකක්‌ද කියලා බලන්න ඕනා…’ කියා පොලිස්‌ නිලධාරියා තම හිස කෙස්‌ කීපයක්‌ ගෙන එක්‌ දළයක අගින් රවුමට ගැට ගසා ලයිටරයක ආධාරයෙන් ගිනි දැල්වීය. හිසකෙස්‌ දැවී ගියත් දළ යුගලය ගිනි නොගත් නිසා ඇතෙකු මරා ලබාගත් දළ යුගලයක්‌ බවට තක්‌කෙටම තහවුරු විය.

‘බඩු ඕකේ… දැන් මට බඩුවල ෆොටෝ එකක්‌ අරගෙන බොස්‌ට යවන්න ඕනා…’ පොලිස්‌ නිලධාරියාගේ යෝජනාවට ජාවාරම්කරුවන් කැමැති විය.

පොලිස්‌ නිලධාරියා ඇත්දළවල ෆොටෝ කිහිපයක්‌ ඡායාරූපගත කර අන්තර්ජාලය හරහා පොලිස්‌ අධිකාරිවරයාට යෑව්වේය. ඒ සමඟ දුරකථනය ඔස්‌සේ ඇත්දළ යුගලයේ ගුණ අගුණ ද කතාබහ කළේය. එම දුරකථන සංවාදයට ජාවාරම්කාරයෝ ද ඇහුම්කන් දීගෙන සිටීයහ. වෙස්‌ වළාගත් මැණික්‌ ව්‍යාපාරිකයා සහ ගෝලයා දුරකථනය ඔස්‌සේ කතාබස්‌ කරමින් ඇත්දළ යුගලයේ මිල තවත් අඩු කරගැනීමට ද උත්සාහයක නිරත විය.

‘ලක්‍ෂ පනහෙන් රුපියලක්‌වත් අඩු කරන්න බෑ. එක්‌කෙනෙක්‌ ලක්‍ෂ හැටකටත් ඉල්ලලා තියෙනවා. අපිට ඕනා ඉක්‌මනට මේක මුදල් කරගන්න…’ තවත් මිල අඩු කිරීමට ජාවාරම්කාරයන් අකැමැති විය. අනතුරුව ලක්‍ෂ පනහකට ඇත්දළ යුගල මිලටගැනීමට මැණික්‌ ව්‍යාපාරිකයා කැමැති විය. එහෙත් දළ යුගල අඩි පහක්‌ පමණ දිග නිසා මෝටර් රථයේ රැගෙන යැමට නොහැකි බවත්, නැවත රත්නපුරයට පැමිණ මුදල් රැගෙන වෑන් රථයකින් යන ලෙස මැණික්‌ ව්‍යාපාරිකයා දුරකථනය ඔස්‌සේ ගෝලයාට අණ කරන අයුරුත් ජාවාරම්කාරයෝ අසා සිටියහ.

’31 රෑ ප්‍රංශ නැව ලංකාවෙන් පිටත් වෙනවා. දළ දෙක ඒ නැවට පටවන්න ඕනා. ඒ නිසා හෙටම බිස්‌නස්‌ එක ඉවර කරන්න…’ මැණික්‌ ව්‍යාපාරිකයා විසින් ගෝලයාට කියන කතාව ඇසී ජාවාරම්කාරයන්ගේ බකුසු මුහුණුවලට එළිය වැටිණි.

‘සල්ලි අරගෙන මෙච්චර දුරක්‌ ඒම අවදානම්. ඇත්දළ දෙක මඟට ගේන්න ඔයාලාට පුළුවන්ද…’ පොලිස්‌ නිලධාරියා තවත් ගුලියක්‌ ඇඹරුවේය. ජාවාරම්කාරයෝ ඒකත් ගිල්ලහ. පසුව ඇත් දළ දෙක තන්තිරිමලය ප්‍රදේශයට රැගෙන ඒමට ජාවාරම්කාරයන් එකඟ විය. එමෙන්ම ජාවාරම්කාරයෝ ද බෝලයක්‌ විසි කරමින් මුදල් රැගෙන එනකොට නවරත්න මැණික්‌ ගල් කීපයක්‌ද රැගෙන එන ලෙසට මැණික්‌ ව්‍යාපාරිකයාට පැවසූහ. ඇත්දළ ගනුදෙනුවට ස්‌ථානය, වේලාව නියම කරගෙන පොලිස්‌ නිලධාරියා මෝටර් රථයේ නැඟී අනුරාධපුරයට පිටත් විය. ඒ වන විටත් අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ දෙවැනි සැලසුම ද ක්‍රියාත්මක කරමින් ව්‍යාජ ලෙස සකස්‌ කළ මැණික්‌ ගල් කීපයක්‌ සහ ව්‍යාජ මුදල් නෝට්‌ටුවලින් ලක්‍ෂ පනහක්‌ සූදානම් කර තිබිණි.

පසුදා සවස අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු දෙවැනි මෙහෙයුම ක්‍රියාත්මක කළහ. කතිකා කරගත් විදිහට පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායම සුපිරි වෑන් රථයකින් තන්තිරිමලය ප්‍රදේශයේ මල්වතු ඔය අසලට ගමන් කළහ. කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ සංජීව වන්නිනායක, ජයසුන්දර හා උද්ධික යන නිලධාරින් ඇතුළුව සංජීව වන්නිනායකගේ බිරිඳ වන කාන්තා පොලිස්‌ නිලධාරිණී සන්ධ්‍යා කුමාරි ද කණ්‌ඩායමට එකතු වී සිටියහ. ගැබිනියක්‌ වූ පොලිස්‌ නිලධාරිණිය මෙහෙයුමට සම්බන්ධ වී සිටියේ මැණික්‌ ව්‍යාපාරික ගෝලයාගේ බිරිඳ විදිහටය. කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ ඇතුළු තවත් කණ්‌ඩායමක්‌ අතරමඟ රැඳී සිටියහ.

ඊට අමතරව පොලිස්‌ අධිකාරිවරයා විසින් මැදවච්චිය, තන්තිරිමලය පොලිසිවලට අනුයුක්‌ත පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ ගනුදෙනුව සිදු වන සීමාව අවට ස්‌ථානගත කර තිබිණි. වන්නිනායක ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම මල්වතු ඔය පාලම අසලට යන විට එක්‌ ජාවාරම්කරුවකු දුරකථනය ඔස්‌සේ කතා කර වෑන් රථය නතර කළ පෙර දිනයේ පැමිණි අයට පමණක්‌ එන ලෙස දන්වා සිටියේය.

‘මුලින්ම අපේ අතට ලක්‍ෂ දහයක්‌ දීලා ඇත්දළ දෙක නැවත පරීක්‍ෂා කරලා වෑන් එකට පටවනකොට ඉතිරි ලක්‍ෂ හතළිය දෙන්න…’ පොලිස්‌ නිලධාරීන්ට ජාවාරම්කාරයකු එසේ අණ කළේය.

‘එහෙම කරන්න බෑ. කවුද දන්නේ ඔයාලා සල්ලි අරං පැනලා යයිද කියලා. වෑන් එකට බඩු පටවපු ගමන් සේරම සල්ලි එකට දෙන්නම්…’ පොලිස්‌ නිලධාරීහු ජාවාරම්කාරයන්ට යටත් නොවූහ.

මුදලට ගිජු වූ ජාවාරම්කාරයන් පොලිස්‌ නිලධාරීන්ගේ බහට කැමැති වී තිදෙනකු විසින් ඇත්දළ යුගලය ඔසවාගෙනැවිත් වෑන් එකට පැටවීමට සූදානම් වූවා පමණි. පොලිස්‌ නිලධාරීන් වෙස්‌ තට්‌ටුව උනා දමා ක්‍රියාත්මක විය. අනතුරුව පොලිස්‌ නිලධාරීහු විශාල පරිශ්‍රමයක්‌ දරා ජාවාරම්කාරයන් තිදෙනා තම ග්‍රහණයට නතු කරගත්හ. ඒ වන විට අලුත් දවසකට හිරු උදාවී තිබිණි. ඇත්දළ හොරුන්ගේ දෑත්වලට මංචු වැටිණි. එසේ අත්අඩංගුවට පත් සැකකරුවන් වූයේ මුස්‌ලිම් ජාතික මවුලවීවරයකු ඇතුළු දෙමළ ජාතිකයන් දෙදෙනෙකි. ජාවාරමට සම්බන්ධ සියලු සාමාජිකයන් සංඛ්‍යාව හය දෙනෙකි. ඔවුන් සියලු දෙනා මුස්‌ලිම් සහ දෙමළ ජාතිකයන් වන අතර මරච්චිකට්‌ටුව, සිලාවතුර, පාලෛයිකුලම්, එලත්තු මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන්ය. පසුගිය 30 වැනිදා සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 12 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂ කැකුණවෙල මහතා නියෝග කළේය.

මැදියම් රැයේ ඝන අන්ධකාරයේ ඇත්දළ සමඟ ජාවාරම්කාරයන් කොටුකරගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට උපදෙස්‌ ලබාදී ඇත්තේ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ නියෝජ්‍ය පොලිස්‌පති පද්මසිරි සඳුන්ගහවත්ත යන මහත්වරුන්ය. ඔවුන්ගේ මගපෙන්වීම මත මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුයේ අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තිළිණ හේවාපතිරණ ඇතුළු කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නවරත්න අබේකෝන්, උ.පො.ප. බී. එස්‌. චන්ද්‍රසිරි, පො. සැ. සේනානායක, පො.කො.වරුන් වන දිසානායක, අසංක වන්නිනායක, දමිත් පො.සැ. රියෑදුරු උද්ධික යන නිලධාරීන් සහ කාන්තා පොලිස්‌ නිලධාරිනී සන්ධ්‍යා කුමාරි යන කණ්‌ඩායම විසිනි. ගැබිනික්‌ව සිටි කාන්තා පොලිස්‌ නිලධාරිනි සන්ධ්‍යා කුමාරි මහත්මිය වැටලීම සිදු කර දින දෙකකට පසුව තම දරු උපත සිදු කර ඇති බව ද වාර්තා වේ. මෙවැනි නිර්භීත නීතිගරුක නිලධාරීන් රට, ජාතියට සම්පතකි. ඔවුන්ගේ උතුම් රාජකාරියට මල් මිටක්‌ නොව මුළු ජාතියේ ප්‍රාණාමය පුද කළ යුතුය.

කැලෑ විනාශ කර ඉඩම් කොල්ලකන අන්තවාදී පිරිස්‌ දැන් අලි ඇතුත් මරා දළ, ගජමුතු කොල්ල කෑමට ද පටන්ගෙනය. ඒ අසමඡ්ජාතී කාලකණ්‌ණින්ට වන සම්පත, වන සතුන්ගේ වටිනාකමක්‌ ගැන අවබෝධයක්‌ නැත. ඔවුන්ට ඇවසි මුදල්ය. අම්මා, අප්පා විකුණා හෝ මුදල් හම්බ කිරීමට උන් පසුබට නොවෙති. එවැනි කාලකණ්‌ණින්ට රට ගැන කැක්‌කුමක්‌ ද නැත. මහා කැලෑ විනාශ කර ඉඩම් කොල්ලකමින් තම වපසරිය පුළුල් කර ගනී. කැලේ සත්තු මරා මස්‌ කර කති. ඒවා බලා සිටින වනජීවී නිලධාරීහු ලංකාවේ ඇත්තුන්ගේ දළවල ගජමුතු නැතැයි කියා රටට විහිළු සපයති. අතුරුදන් ඇත්තු ගැන අමුතු කතා කියති. අභය භූමිවල බිම් අඟලක්‌වත් කොල්ලකාගෙන නැතැයි කියා පුරසාරම් දොඩති. එවැනි විහිළුකාරයන් සහිත වනජීවී දෙපාර්තමේන්තුවක්‌ ඇති රටක කැලේ සිටින ඉතිරි ඇත්තු ගැන පමණක්‌ නොව සෙසු සතුන් ගැන ද අපට මහා බියක්‌ දැනේ. මතු පරම්පරාවට ‘අභයභූමි’ නමවත් ඉතිරි වේද යන්න සිතේ උපදින්නේ කුකුසක්‌ සහිත වේදනාවකි.

තරංග රත්නවීර
මිහින්තලේ – රංග චතූ

Facebook Comments

more recommended stories

%d bloggers like this: