රෝහිනග්‍යා සරණාගතයින්ට ලංකාවෙන් රැකවරණ ලැබුණාද..? කටුනායක ගුවන්තොටින් ආවේ ඔවුන්ද..?

ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්ගේ ඉල්ලීම් සළකා බලා මුස්ලිම් සරණාගතයින් සුළු පිරිසකට දේශපාලන රැකවරණ ලබාදීමට ඉදිරිපත් වීම පිළිබඳව රජයට ප්‍රශංසාව පළකරමින්, ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති සංවිධානයක් කළ මාධ්‍ය නිවේදනයක් බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ.

මියන්මාරයේ ඇතිවූ ගැටුම් වලින් විපතට පත් මුස්ලිම් සරණාගතියන් පිරිසකට මෙසේ රැකවරණ ලබාදී ඇතැයි එම ලිපියේ සඳහන් වූ අතර කටුනායක ගුවන් තොටුපළින් පැමිණෙන මුස්ලිම් ජාතිකයන් පිරිසකගේ වීඩියෝවක්ද සමාජ ජාලා වෙබ් අඩවි තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති මෙම සංවිධානය පළකළ මාධ්‍ය නිවේදනයේ තිබූ දුරකථන අංකයට සම්බන්ධ වීමට කිහිපවිටක් උත්සහ කළද එම උත්සහායන් අසාර්ථක විය.පසුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දේපාර්තුමෙන්තුවෙන් අප කළ විමසීමකදී ඔවුන්ද එවන් සංවිධානයක් පිළිබඳ කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළේය.

එමෙන්ම එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වූ නො 27, බාවා පෙදෙස, කොළම 08 යන ලිපිනයෙහි පෞද්ගලික නිවසක් පිහිටා ඇති අතර,මියන්මාර සරණාගතයින් පිරිසකට මෙරට දේශපාලන රැකවරණ ලබාදුන්නේ යැයි කිසිදු නිළ නිවේදනයක් රජයෙන් මේ වනතෙක් නිකුත්ව නොමැත.

මේ අතර සමාජ මාධ්‍ය හරහා මෙම ලිපිය පිළිබඳව මෙවැනි පැහැදිලි කිරීමක්ද දක්නට ඇත.
රෝහින්ජා සරණාගතයන්ට දේශපාලන රැකවරණය දීමට ලංකා රජය එකඟ වී ඇති බව කියවෙන, එක්තරා සංවිධානයකින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඊයේ සිට සමාජජාලවල සැරිසරනු දක්නට ලැබේ.

අදාළ මාධ්‍ය නිවේදනයේ වැරදි සහ අඩුපාඩු බොහොමයක් දක්නට ලැබේ.
1. එහි දෙමළ සහ අරාබි අක්ෂර වැරදි ය.
2. ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය යනුවෙන් සංවිධානයක් පිලිබඳ කිසිදු සඳහනක් (ඒ මාධ්‍ය නිවේදනයේ හැර) සොයා ගත නොහැක.
3.මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති දුරකථන අංකය භාවිතයේ නොමැති (නොට් ඉන් උසේ අංකයකි.
4. මේ ආකාරයේ මාධ්‍ය නිවේදනයක් මාධ්‍ය ආයතන වෙත ලැබී නොමැත
ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ජා සරණාගතයන් පිලිබඳ පවසන්නේ නම් ඉතිහාසය මෙයයි.

ප්‍රථම වතාවට රෝහින්ජා සරණාගතයන් ලංකාවට පැමිණෙන්නේ 2013 වසරේදීය. එම කණ්ඩායමේ සරණාගතයන් 138 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් 04 දෙනෙකු හැරෙන්නට අනෙකුන්ට මෙරටේ සරණාගත තත්වය හිමි වුණේ නැත. ඉන්පසු තවත් 30 දෙනෙකු රැගත් කුඩා බෝට්ටුවක් අත්අඩංගුවට ගැනෙන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයේදී ය. එම පිරිස තවමත් පොලිස් භාරයේ පසුවන අතර ඒ හා සම්බන්ද නඩුව තවමත් නිමා වී නැත. ඒ අතරින් එක් අයෙකු සරණාගත තත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

වැදගත්ම කාරණය 1951 සරණාගතයන් පිලිබඳ වූ ප්‍රතිඥාව අනුව ශ්‍රී ලංකාව යනු සරණාගතයන් බාර ගැනීමට බැඳී සිටින රටක් නොවේ.
ඒ නිසා කවුරුන් හෝ ලියූ දෙයක් කියවා එකවර කලබල වීම උචිත නැත. ඔය කියනා මාධ්‍ය නිවේදනය කාගේ හෝ දේශපාලන උපායක් බව පැහැදිලි වේ.

නමුත් ජාතික ආරක්ෂාව ආදී කරුණු නිසා ශ්‍රී ලංකාව මේ තත්වය පිලිබඳ අවධානයෙන් පසු වීම ඉතා වැදගත් ය. තෙවන ලෝකයේ රටක් මෙන්ම අවුරුදු 30ක යුද්ධයකින් බැට කා නැවත ගොඩ නැගෙමින් පවතින අපේ රටට සරණාගත ප්‍රශ්නයක් අවශ්‍ය නැත. එය අප වැනි රටකට දරා ගත නොහැකි බරකි. ඒ නිසා රජය ශ්‍රී ලංකා පුරවැසියන්ට ප්‍රමුඛතාව දී මෙම ගැටළුව විසඳිය යුතුය.

more recommended stories