රටේ තවමත් මනුස්‌සකම ඉතිරිවී තිබේ – සමන්මලී දැනට නිදහස්‌.!

බළන්ගොඩ වෙළේකුඹුර පදිංචි සේපාලිකා සමන්මලී පිළිබඳ හෘද සංවේදී පුවත පසුගිය සතියේ  තුළින් රට හමුවේ අනාවරණය කරන ලදී. ඉන් අනතුරුව “දිවයින” දුරකථනයට තොරතෝංචියක්‌ නොමැතිව දුරකථන ඇමතුම් ගලා එන්නට විය. එම සෑම ඇමතුමකින්ම කියවුණේ සමන්මලී නිදහස්‌ කර ගැනීම පිණිස ඔවුන් සූදානම් බවක්‌ය. ඒ සඳහා අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙස බොහෝ දෙනෙක්‌ කළ ඉල්ලීම විය.

කීප දෙනකුගේම ඉල්ලීම වූයේ සමන්මලී නිදහස්‌ කර ගැනීම වෙනුවෙන් තමන් රුපියල් ලක්‍ෂයක්‌ ලබාදීමට සූදානම් බවය. තවත් පුද්ගලයෙකුගේ ඉල්ලීම වී තිබුණේ රුපියල් ලක්‍ෂය සහ සමන්මලී වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරයෙකු කොළඹ සිට බලන්ගොඩට යෑවීමට තමන් තුල සූදානම්ක්‌ පවතින බවය. එම ඉල්ලීම කළ තවත් විවිධ සංවිධාන හා කණ්‌ඩායම් කීපයක්‌ද විය. එහෙත් ඒ වන විටද ඇයගේ නිදහස පතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් පිරිසක්‌ පෙරමුණ ගෙන සිටි බැවින් එම ඉල්ලීම් “සැබෑවක්‌” බවට පත් නොවීය.

තවමත් “මනුස්‌සකම” මිය නොගිය බිමකින් මතු වූ කරුණාවන්ත මිනිස්‌ සමූහයක්‌ වෙනුවෙන් සහ ඔවුන්ගේ ඉදිරිපත් වීමට කළගුණ දැක්‌වීමක්‌ පිණිස නිදහස ලබා පැමිණි සමන්මලී මුණගැසීමට පසුගිය දිනක අපට හැකි වූ අතර එහිදී සමන්මලී දැක්‌ වූ මනුස්‌සකමේ අදහස්‌ පහත පරිදිය.

” එදා…. ඔක්‌තෝම්බර් 19 වැනිදා උසාවියෙන් දඬුවම් නියම වුණාට පස්‌සෙ මට මුලින්ම මතක්‌ වුණේ මගේ දරු පැටව් දෙන්නව. එහෙම දෙයක්‌ නොවී මාව මැරිල ගියානම් කියන හැඟීමක්‌ දැනෙන්න ගත්තා. ඊට පස්‌සේ මගේ කරාබු දෙක ගලවන්න කියල බන්ධනාගාර නිලධාරීන් කිව්වා. නීතියට ගරු කරල මම කරාබු දෙක ගැලෙව්වට පස්‌සෙ කරාබු දෙක භාර දෙන්න කවුරුවත් ඉන්නවද කියල ඒ මහත්වරු ඇහුව “අනේ මට කවුරුවත් නෑ” කියල මම උත්තර දුන්නා. මට ඒ වෙලාවේ මතකයට ආව දෙයක්‌ තමයි මීට ඉස්‌සර මේ නඩුවට උසාවි එන්න මගේ අම්මගෙ කරාබු දෙක උකස්‌ කළ දවස. අම්මගෙ කරාබු දෙක රුපියල් තුන් දහසකට උකස්‌ කරල තමයි මහත්තයෝ ඊට ඉස්‌සර දෙතුන් පාරක්‌ උසාවි ආවේ.”

සමන්මලී තමන්ට මුහුණදීමට සිදු වූ අනපේක්‍ෂිත සිදුවීම පිළිබඳ විස්‌තර පවසත්ම ඇගේ දෑස්‌ කඳුළින් තෙත්වන අයුරු දැකගත හැකි විය. එය ඇයට නිදහස හිමිවීම වෙනුවෙන් උනන ලද සතුටු කඳුළක්‌ විය හැකිය.

” ඊට පස්‌සෙ තමයි මාව කුරුවිට බන්ධනාගාරයට අරන් ගියේ. එදා තමයි මගේ ජීවිතයේ දිගම රැය උදාවුණේ එදා ඉඳල වේල් කීපයක්‌ මම බඩගින්නෙ හිටිය. දරු පැටව් දෙන්නගේ ඇස්‌ යකඩ කූරු අතරින් පේන්න ගන්නකොට අතට ගන්න බත් කට කටට දාගන්න අමතක වුණා. මාව දකින බන්ධනාගාර නිලධාරී මහත්මියන් පවා කම්පා වෙන්න ගත්ත. ඒ අය මට කිව්ව කෑම නොකා හිටියොත් බන්ධනාගාර රෝහලට යවනවා එහෙම යන්න සිද්ධ වුණොත් මාංචු දාන්න වෙනව ඒ හින්ද කෑම කන්න කියලා. මම යහපත් කල් ක්‍රියාවෙන් හිටියොත් පෙරවාරි 04 නිදහස්‌ දිනයට මාව නිදහස්‌ කරන්නත් පුළුවන් කියල ඒ අය කිව්වා. ඔහොම ඉන්න අතරේ 22 වැනිදා බන්ධනාගාරයේ බෝධි පූජාවක්‌ තිබුණා. මමත් ඒකට සහභාගී වුණා. ඒ ගිහිල්ලත් මම ප්‍රාර්ථනා කළේ දරු පැටව් දෙන්නගෙ නාමයෙන් මට ගෙදර යන්න ලැබේවා කියල විතරයි.

“ඔහොම ඉන්න අතරේ මට දැනගන්න ලැබුණා මගෙයි දරුවො දෙන්නගෙයි විස්‌තර පත්තරවල රූපවාහිනියෙ පෙන්වනව කියලා. හිර මැදිරියෙ යකඩ කූරු අතරින් ඒ දර්ශන බලන්න පවා බන්ධනාගාර නිලධාරීන් මට අවස්‌ථාව දුන්නා. එදා තමයි මම දැන ගත්තේ කරුණාවන්ත නිලධාරීන් මේ වගේ තැන්වලත් ඉන්නව කියලා.

ඔය අතරේ තමයි පහුගිය 29 වැනිදා මම දැන ගන්නේ මගේ දඩ මුදල ගෙවල මාව නිදහස්‌ කරගන්න පිරිසක්‌ ඉදිරිපත් වෙලා කියලා. ඒ ආරංචිය ආවට පස්‌සෙ ඇති වූ සතුට මට කියාගන්න බැරි වුණා. 30 වැනිදා මාව නිදහස්‌ කළාට පස්‌සෙ මම මුලින්ම කළේ මගේ රත්තරන් දරු පැටව් දෙන්නව පුළුවන් තරම් පපුවට තුරුලු කරගෙන ඉන්න එක විතරයි මහත්තයා”

අපරිමිත දරු සෙනෙහසේ මහා උල්පත අම්මාය. සමන්මලී යනු එවැනි අම්මා කෙනෙකි. හිරගෙය තුළ පවා ඇයට රිදවා ඇත්තේ හිර දඬුවම විසින් නොව නිම්හිම් නොමැති දරු සෙනෙහස විසින්ය. නරුම සැමියෙකුගේ බිරිය වූ පවින් හිර දඬුවම් නියම වූ සමන්මලී තුළ ඒ පිළිබඳව මේ වන විට පසුතැවිල්ලක්‌ නැත. ඇය තුළ ඇත්තේ දරු පැටවුන්ට යහපත් අනාගතයක්‌ ගොඩනැංවීම පිළිබඳ වන අහිංසක ප්‍රාර්ථනා සමූහයක්‌ පමණය. තමන්ට වූ විපතේදී පිහිටට පැමිණි යහපත් මිනිසුන් පිළිබඳවද ඇයට ඇත්තේ වචනයට නැඟිය නොහැකි හැඟêම් සමූහයක්‌ය.

“මම කිසිම දෙයක්‌ කිසිම කෙනකුගෙන් ඉල්ලන්නෙ නෑ මහත්තයා. මොකද මට මේ කරපු උදව්ව හොඳටෝම ඇති. ගාමන්ට්‌ එකේ රස්‌සාව කරල දරුවන්ට, අම්මාට, කන්න අඳින්න දෙනවා. මාව හිරෙන් නිදහස්‌ කරගත්ත මහත්වරුන්ට ඒ සඳහා මඟපෙන්වපු පත්තරවලට රූපවාහිනි නාළිකාවලට පින් දෙනවා. මං ගෙදර එනතුරු දරුවන්ට කන්න ටික කිරිපිටි ටික ගෙනත් දුන්න සියල්ලන්ටත් පින් දෙනවා. ලබන අවුරුද්දෙ ලොකු පුතාව මොන්ටිසෝරි දාල ඒ දේවල් කොහොම හරි කරගන්නවා. පුළුවන් කාලෙක හරි ගෙයක්‌ දොරක්‌ හදාගෙන මගේ දරුවන්ට උගන්වන එක විතරයි මහත්තය මම දැන් තියෙන ලොකුම හීනය වෙලා තියෙන්නෙ. මේ සිද්ධියෙන් පස්‌සෙ තමයි මම දැනගත්තේ අපේ රටේ මනුස්‌සකමින් පෝසත් බෝසත්වරු වගේ මිනිස්‌සු ඉන්නව කියලා.”

ඉහත සඳහන් කරන ලද්දේ හිමි “අහිමි” සමන්මලී හිරගෙදරින් නිදහස්‌ව නිවසට පැමිණි පසු අපත් සමඟ පැවසූ දේය. අහිමිව ගිය දෙය පිළිබඳව පසුතැවීම වෙනුවට දිරියෙන් නැඟී සිටීම ඇයගේ අරමුණ වී ඇත. අරමුණු සහගත “සිත්” පහසුවෙන් පරාජය කළ නොහැකි බැවින් දිනක ඇය ජීවිතය දිනනු ඇත. ඒ සඳහා යහපත් මිනිසුන්ගේ උපකාරයන් මතුවටත් ඇයට හිමි වනු ඇත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: