නැති යුද අධිකරණයක් මවා පෙන්වමින් සරත් වීරසේකර දගලන දේශපාලන වුවමනාව මොකද්ද..?

නැති යුද අධිකරණයක්‌ මවන්නේ දේශපාලන වුවමනාවට ය. යන දිවයින පුවත්පතට මවිසින් ලියූ ලිපියට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පිළිතුරක්‌ ලබාදී තිබීම අගය කළ යුතු කරුණකි. මක්‌නිසාද යත් උක්‌ත මැයෙන් යුත් මගේ පිළිතුරට පදනම් කරගනු ලැබූවේ සරත් වීරසේකර මහතාගේ අදහස්‌ හා මතවාදයන්ම වූ බැවිනි.

වීරසේකර මහතා දක්‌වා ඇති ප්‍රතිචාරය තුළ ආරම්භක වශයෙන් උත්සාහ කර ඇත්තේ මාගේ එක්‌ නිරීක්‌ෂණයකට පිළිතුරු දීමටය. එනම් යෝජිත නව ව්‍යවස්‌ථාවට අදාළව ඔහුගේ අදහස්‌ දැක්‌වීම තුළ අසත්‍ය කරුණු හා මනෝවිකාරයන්ගෙන් පිරී ඇති බවට මා කර ඇති සඳහනට පිළිතුරු දෙන්නටය. එහිදී වීරසේකර මහතා කියන්නේ යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් රට ෆෙඩරල් නොවන්නේ කෙසේද යන්න පහදා දීමේ වගකීම මවිසින් මඟහැර ඇති බවය. ඒ සඳහා වන පිළිතුරට ප්‍රවේශ වීමට පෙර මේ රටේ බලාත්මක වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා හා යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව ද මාගේ අදහස සරල ලෙස හෝ පැහැදිලි කළ යුතුය.

මුළුමහත් අතීතයට අදාළවම සැලකීමේදී ලංකාව යනු ආණ්‌ඩුක්‍රම සම්පාදන විෂයේදී ඒ සඳහා තිබිය යුතු ශීලාචාරභාවය ප්‍රදර්ශනය කර නැති රටකි. එය ලංකාවේ ප්‍රථම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වන සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සිට 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව දක්‌වාම දක්‌නට ඇති පොදු තත්ත්වයකි. මේ රටේ ඉතිහාසය මැනවින් පිරික්‌සීමේදී සෝල්බරි ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේදී අනුගමනය කර ඇති සටකපට ආකාරයෙන්ම එහි ආරම්භය සනිටුහන් වේ. ඉන් වසර 24ක ට පසුව 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිර්මාණය කරනු ලැබ ඇත්තේ ද මේ රටේ ජනමතය පිළිබඳව පමණක්‌ නොව එකල ජාතික රාජ්‍ය සභාව නියෝජනය කළ සියලූ දේශපාලන පක්‌ෂ පිළිබඳව පවා තැකීමක්‌ කරමින් නොවේ. ඒ සඳහා එදා බලවත් ලෙස උපයෝගි කරගෙන ඇත්තේ එවකට සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය යටතේ ජාතික රාජ්‍ය සභාව තුළ පැවති තුනෙන් දෙකේ බලයයි. ඉන් වසර හයකට පසු 1978 දී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරගනු ලැබුවේ ද ඒ සඳහා මුල් වූ හයෙන් පහක පාර්ලිමේන්තු බලය උපයෝගී කරගනිමින් මිසක ඊට අදාළව රට තුළ සිදුවිය යුතුව තිබූ පුළුල් මහජන කතිකාවකින් අනතුරුව ඇතිකරගන්නා එකඟත්වයක්‌ තුළ නොවේ. එයින් තවත් අවුරුදු 22ක ට පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමයේදී ද ඒ සඳහා වන උත්සාහයක නිරත වී ඇත්තේ ද පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බලය සඳහා අවශ්‍ය වන ඉතිරි මන්ත්‍රී සංඛ්‍යාව බිලී බා ගැනීමට ප්‍රයත්න දරමිනි. ඇතැම් දේශපාලන විචාරකයන්ට අනුව ඒ සඳහා අවශ්‍ය වී තිබූ ඉතිරි මන්ත්‍රී සංඛ්‍යාව මුදල් ගෙවා මිලදී ගැනීමට උත්සාහ කරමිනි. (එය අසාර්ථක වීම වෙනම තත්ත්වයක ලා සලකා බැලිය යුතුය)

මෙවර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා වන ක්‍රියාවලිය තුළ බොහෝ අඩුපාඩු හා සීමාසහිතකම් කොතෙකුත් තිබිය හැකි වුවත් මා එය දකින්නේ අතීතයේ ගනු ලැබූ එවැනි උත්සාහයන්ට වඩා සාධනීය තත්ත්වයක්‌ තුළ සිදුවන ක්‍රියාවලියක්‌ ලෙසටය. නොඑසේනම් උත්සාහයක්‌ ලෙසටය. අවම වශයෙන් ඒ පිළිබඳව වන සීමිත මට්‌ටමේ හෝ සංවාදයක්‌ ඇතිකරගැනීම උදෙසා එම ක්‍රියාවලියට දායක වන පිරිස දක්‌වන ලද උත්සාහය එහිදී අගය කළ යුතුමය. ඒ අනුව මෙම ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව මෙතෙක්‌ කල් මේ රටේ පුරවැසියාට කිසිදු අවබෝධයක්‌ නැත යන වීරසේකර මහතාගේ අදහසට එතරම් එකඟවිය නොහැකිය. මක්‌නිසාද යත් අතීතයේ පැවති එවැනි වූ උත්සාහයන්ට වඩා මෙවර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරගැනීම සඳහා වන උත්සාහයේදී යම් පමණකට හෝ මහජන අදහස්‌ ලබාගැනීමට හා ඒ සඳහා වන සංවාදයක්‌ ඇතිකරලීමේ ප්‍රයත්නයක්‌ දරා ඇති නිසාය.

එහෙත් එහිදී සරත් වීරසේකර මහතාට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ එයම නොවේ. ලාල් විජේනායක මහතාගේ වාර්තාවේ අඩංගු නිර්දේශ අතර ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතු බව හා ඒකීය යන පදය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට නිර්දේශ වී ඇතැයි ඔහු කියන කරුණයි. එහිදී සරත් වීරසේකර මහතා එළැඹි සිහියෙන් යුතුව අවබෝධ කරගත යුතු කරුණ වන්නේ ලාල් විජේනායක කමිටුවට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමේ වගකීම කිසිවෙකු විසින් හෝ බාරදී නැති බවයි. එහිදී ලාල් විඡේනායක කමිටුවට පවරා දී තිබූ වගකීම වී ඇත්තේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අන්තර්ගත වියයුතු මූලික කරුණු පිළිබඳව මහජන අදහස්‌ විමසා ඒ පිළිබඳව වන වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමය. මහජන අදහස්‌ යනු කිසිවිටෙක එකම අදහස නොවන බව සරත් වීරසේකර මහතා හොඳින් දන්නවා විය යුතුය. ඒ තුළ විවිධ අදහස්‌ අන්තර්ගත විය හැකිය. එම අදහස්‌වල විවිධත්වයක්‌ නියත වශයෙන්ම තිබිය හැකිය. පරස්‌පරතා අතිබහුල වියහැකිය. එහිදී ආගමිකත්වය, ඒකීයභාවය පිළිබඳව පමණක්‌ නොව තවත් බොහෝ කරුණු කාරණා පිළිබඳව පරස්‌පරතා මෙන්ම විවිධතා ද මතුවිය හැකිය. ඒ පිළිබඳව දැනුවත් කිසිවෙකු කලබල වන්නේ නැත.

අනෙක්‌ අතට මේ රටේ ඉදිරියේදී සම්පාදනය වියහැකි ඕනෑම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට අදාළව ඒකීයභාවය, බෞද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය වැනි මූලික අන්තර්ගතයන් වෙනස්‌ කිරීමකට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර එකඟත්වයක්‌ පමණක්‌ නොව සියයට සියයක එකඟත්වයක්‌ පවා ප්‍රමාණවක්‌ වන්නේ නැත. එපමණක්‌ද නොව එම කරුණු එකවර වෙනස්‌ කිරීමකට ද ලක්‌කළ නොහැකිය. එවැනි උත්සාහයකදී ඒ සඳහා පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් එය සම්මත විය යුතු අතර ඊට අමතරව ජනමත විචාරණයකින් ද ඒ සඳහා අනුමැතිය ලබාගතයුතුව තිබේ.

ඒ අනුව මෙහිදී මා අවධාරණය කිරීමට උත්සාහ කරන කරුණ වන්නේ රටේ විවිධ පාර්ශව, විවිධ කාරණා වලට අදාළව විවිධ යෝජනා ගෙන ආ හැකි නමුත් ඒ සෑම යෝජනාවක්‌ම ඒ ආකාරයට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන්නට පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම බැඳී නැති බවය. එසේ ඇතුළත් කළහැකි කරුණු පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් පමණක්‌ ඇතැම් විට සම්මත කරගැනීමට නොහැකි විය හැකිය. එවැනි අවස්‌ථාවලදී මේ රටේ බහුතර ජනතාවගේ ද අනුමැතිය ඒ සඳහා අනිවාර්යෙන්ම ලබාගත යුතුව තිබේ. (ඒ සියල්ලටම අමතරව එවැනි ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ තවමත් සකස්‌කර නැත.) එබැවින් සරත් වීරසේකර මහතාට මෙන් මා හට නොදුටු ව්‍යවස්‌ථාවක්‌ පිළිබඳව අනාවැකි කිවනොහැකිය. අවශ්‍ය නම් අදාළ ව්‍යවස්‌ථා කෙටුම්පත සම්පූර්ණ වූවාට පසු වීරසේකර මහතා සමග ඒ පිළිබඳව සංවාදයකට එළැඹීමට හැකියාවක්‌ තිබේ.

ඒ සමගම මෙහිදී සරත් වීරසේකර මහතාගෙන් එක්‌ කරුණක්‌ පැහැදිලි කරගත යුතුව තිබේ. එනම් ඒකීය භාවය යනුවෙන් සරත් වීරසේකර මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ද යන්නය. මා මේ ප්‍රශ්නය විශේෂයෙන්ම මතු කිරීමට හේතුවක්‌ද තිබේ. එනම් සරත් වීරසේකර මහතා ද ඔහු නියෝජනය කරන කඳවුරට අයත් බොහෝ දෙනකු මෙන්ම එසේ නොවන අය ද බහුල වශයෙන් ඒකීය භාවය යන්නෙහි අරුත අවභාවිතා කරන හෙයින්ය. මහජනතාව බියගැන්වීමට හා මුලා කිරීම සඳහා යොදා ගන්නා නිසාය. ඒ බව තේරුම් ගැනීම සඳහා එක්‌ කරුණක්‌ පමණක්‌ පෙන්වා දීමට කැමැත්තෙමි. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බොහෝ විට කියා ඇති පරිදි මේ රටේ වීරෝදාර රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කළේ, ජීවිත පූජා කළේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය රැක ගැනීම සඳහා නම් නොවේ. ඔවුන් ජීවිත පූජා කළේ මේ රටේ භෞමික අඛණ්‌ඩතාවය වෙනුවෙනි. රටේ ස්‌වාධිපත්‍යය වෙනුවෙනි. ස්‌වෛරීභාවය වෙනුවෙනි. රාජ්‍යයේ ආරක්‌ෂාව වෙනුවෙනි. එහෙත් එය ඒකීයභාවය වෙනුවෙන් යෑයි දේශපාලන කරුණකට ලඝූ කිරීම එක්‌තරා අන්දමකින් සැලකීමේදී මේ රටේ ජීවිත පූජාකළ වීරෝදාර රණවිරුවන්ට කරන අවතක්‌සේරුවක්‌ ලෙසට ද සැලකිය හැකිය. ඒකීයභාවය යනු දේශපාලනයට අදාළ තාක්‌ෂණික යෙදුමක්‌, පාරිභාෂික වචනයක්‌ මත පදනම්ව සිදුකරන අර්ථ දැක්‌වීමක්‌ විනා එය කිසිසේත්ම රටක භෞමික අඛණ්‌ඩතාවයට, ස්‌වෛරීත්වයට හෝ මහජනතාවගේ ස්‌වාධිපත්‍යයට අදාළ වන කරුණක්‌ නොවේ. ඒ ගැන ද සරත් වීරසේකර මහතා අදහස්‌ දක්‌වන්නේ නම් මා ඉතා කැමතිය.

එමෙන්ම සරත් වීරසේකර මහතාගේ පිළිතුර මගින් මා මතුකර පෙන්වා දුන් තවත් එක්‌ කරුණක්‌ පිළිබඳව ද අදහස්‌ දැක්‌වීමක යෙදී ඇත. එනම් අද ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර යුද අධිකරණයක්‌ පිළිබඳව කතා කරන්නේ මේ රටේ සිංහල අන්තවාදීන් හා දෙමළ අන්තවාදීන් වන බවට මා කළ සඳහනයි. මා අදටත් පෙනී සිටින්නේ එම අදහසෙහිම ය. ඒ අනුව සරත් වීරසේකර මහතා නිතර අවධාරණය කරන ශ්‍රී ලංකාවට එරෙහිව “ගොඩනැඟීමට නියමිත ජාත්‍යන්තර යුද අධිකරණය. ක්‌ පිළිබඳව ඇති අනතුර කුමක්‌ද, ඒ පිළිබඳව අද ඇතැයි කියන සැලසුම කුමක්‌ ද යන්න පිළිබඳව දිවයින පාඨකයන්ට මෙන්ම රටට ද පැහැදිලි කිරීම සරත් වීරසේකර මහතාගේ වගකීමක්‌ වේ. එහෙත් ඔහු නිතර පුනරුච්ඡාරණය කරන එම ජාත්‍යන්තර යුද අධිකරණ අනතුර අද පවතින්නේ කුමන තලයක ද යන්න පැහැදිලි කිරීම සිය පිළිතුර මගින් සරත් වීරසේකර මහතා මඟහැර තිබේ. ඒ වෙනුවට ඔහු මගෙන් ප්‍රශ්න දෙකක්‌ විමසා ඇත. එනම් මා zසිංහල අන්තවාදීන්Z.කියන්නේ කාහට ද යන ප්‍රශ්නයයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මා සිංහල අන්තවාදීන් යනුවෙන් අදහස්‌ කරන්නේ “රට බෙදීමට විරුද්ධ වන, කොටින්ට එරෙහිව සටන් කළ රණවිරුවන්ට සහය දෙන, රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට එරෙහි වන සිංහලටන්ට ද. යන ප්‍රශ්නය තවදුරටත් මා වෙතින් විමසා තිබේ. මගේ නියත පිළිතුර නැත යන්නය. සත්‍යවශයෙන්ම සරත් වීරසේකර මහතා විමසා ඇති එකී ප්‍රශ්නයට අදාළව මාගේ ස්‌ථාවරය සැලකීමේදී මා ද අයත් වියහැක්‌කේ ද සරත් වීරසේකර මහතා සලකන සිංහල අන්තවාදීන්ගේ ගණයට ය. එහෙත් මා මෙහිදී අවධාරණය කරන්නේ මේ රටේ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින දේශප්‍රේමීත්වයක්‌ මෙන්ම එම ජාතිකත්වයට මුවා වූ ජාතිවාදයක්‌ ද මේ රටේ හැමදාමත් තිබී ඇති බවය. ජාතිකවාදය හා ජාතිවාදය අතර ඇති වෙනස හඳුනා ගැනීම තුළ ඉතා පැහැදිලි ලෙසම ජාතිවාදියා හඳුනාගත හැකිය. එය මේ රටේ සිංහල මෙන්ම දෙමළ සමාජයට ද අදාළය. ඒ අනුව සිංහල ජාතිවාදියා කවුරුන්ද යන්න පැහැදිලි ලෙස හඳුනා ගැනීමට වීරසේකර මහතාට ද හැකි වනු ඇත.

අදාළ පිළිතුරු ලිපිය මගින් සරත් වීරසේකර මහතා දැනුවත්ව හෝ අනවබෝධය නිසා හෝ සමාජගත කරන්නට උත්සාහ කර ඇති තවත් වැරදි අදහසක්‌ තිබේ. එනම් අද ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවන සතුරු ක්‍රියා සහ කුමන්ත්‍රණ ලෙස වීරසේකර මහතා පෙන්වා දෙන්නට උත්සාහ කරන බොහෝ ක්‍රියාමාර්ග වලට පාර කපා ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා අතර ඇතිවූ එකඟත්වය බව වසන් කිරීමට දරා ඇති උත්සාහයයි. එහිදී එම එකඟත්වය හෙවත් දෙපාර්ශවය විසින් සිදුකරන ලද ඒකාබද්ධ නිවේදනය ප්‍රකාශයට පත්කළ දිනය ලෙස මා සඳහන් කර තිබූ දිනය පමණක්‌ නිවැරදි නොවන බව සේම එහිදී සරත් වීරසේකර මහතා දක්‌වා ඇති 2009 මැයි මස 23 වන දිනය පමණක්‌ නිවැරදි වන වග මෙහිදී පෙන්වා දෙනු කැමැත්තෙමි.

එහිදී මා විසින් අවධාරණය කරනු ලබන කරුණ වන්නේ බෑන්කී මූන් මහතා යුද්ධය අවසන් වූ විගස එනම් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියේ zඑන්නද ඇසූ කල්හි එනු කැමති නම් මැනවැයි යන ආකාරයේ පිළිතුරක්‌ නිසා නොවන බවය. ඉතා පැහැදිලි ලෙසම එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‌ෂ මහතාගේ එකඟත්වකට අනුව ආරාධිතව පැමිණි ගමනක්‌ ලෙස එය සැලකිය හැකිය. දෙවනුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව මෙන්ම මැක්‌ස්‌වල් පරණගම කොමිෂන් සභාව වැනි කොමිෂන් සභා ස්‌ථාපනය කරන ලද්දේත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හා බෑන්කී මූන් හිටපු එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමග ඇතිකරගත් එකඟත්වය අනුව වන බවය. තෙවනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට අදාළව සිදුකරන ලද නිරීක්‌ෂණයන් මෙන්ම යෝජනාවන් ද මතුවූයේ එකී එකඟත්වයට හා අදාළ කොමිෂන් සභා නිර්දේශයන් මත පදනම්ව වන වගය. 2012 වසරේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනාව ජිනීවාහි මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරමින් එවකට ජිනීවාහි කටයුතු කළ ඇමරිකානු තානාපතිනිය දැක්‌වූ අදහස්‌ ඒ සඳහා දැක්‌විය හැකි මනා නිදසුනකි. එහිදී එලීනා චෙම්බර්ලේන් ඩොනග්‍ය තානාපතිනිය ප්‍රකාශ කර ඇත්තේ .අප වැඩකරගෙන යන්නේ තමන්ගේම දේශීය වාර්තාවේ සඳහන් නිර්දේශ බරපතළ ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව වැඩිපුර සාක්‌ෂි ඉදිරිපත් කළයුතු බව ඒත්තු ගන්වන්න යෑයි යනුවෙන්ය. එපමණක්‌ද නොව ඒ සෑම අවස්‌ථාවකදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ අපගේ දූත මණ්‌ඩල සාමාජිකයන් එම එකඟත්වයන් අනුව කටයුතු කිරීමට අප තුළ ඇති බැ`ඳියාව පිළිගැනීම මගින් ද ඒ බව පැහැදිළි වනු ඇත.

දැන් මතුවන ප්‍රශ්නය වන්නේ සරත් වීරසේකර මහතා නිතර සඳහන් කර ඇති ජාත්‍යන්තර යුද අධිකරණයක්‌ පිළිබඳ මතුවූ අදහස ය. මා පෙර ලිපියෙන් සඳහන් කර ඇති පරිදිම එවැනි අනතුරක්‌ නියත වශයෙන්ම අප හමුවේ පැවති කාලයක්‌ තිබිණ. එය අද වන විට පහව ගොස්‌ ඇත්තේ 2015 ජනවාරි 08 වෙනසින් පසු රට තුළ තහවුරු වී ඇති ප්‍රජාතන්ත්‍රීය පරිවර්තන හේතුවෙන්ය. ඒ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව අතරෙහි බලවත් විශ්වාසයක්‌ ගොඩනැගීම හේතුවෙනි. ඒ අනුව අද බොහෝ දෙනෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයක්‌ ගැන කතාකරන්නේ එවැනි අනතුරක්‌ සත්‍යවශයෙන්ම පවතින නිසා නොව, ඒ හරහා ජනමනස තුළ භීතියක්‌ ඇතිකරමින් දේශපාලන වාසි ලබාගැනීමට ය.

අප පිළිගත යුතු වන්නේ එම යථාර්ථය යි. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට ඒ පිළිබදව අවබෝධයක්‌ නැතැයි මා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත. ඔහුට ඒ පිළිබඳ අවබෝධයක්‌ නොතිබෙනවා නොවේ. එහෙත් ඒ බව පිළිගැනීමට ඔහුගේ දේශපාලන උපායමාර්ග ඉඩ නොදෙනවා විය හැකිය. නමුත් ඒ දේශපාලන උපායමාර්ගයන් ජයග්‍රහණය කරවීම උදෙසා අසත්‍යය සමාජගත කිරීම කිසිසේත්ම යුක්‌ති යුක්‌ත වන්නේ නැත. අද දින මෙම පිළිතුරු සටහන තබන්නේ ද එම නිසාමය.

 සුනිල් ජයසේකර 

Facebook Comments

more recommended stories

%d bloggers like this: