පෙම් කළ ගැහැනුන්ගේ ගෙල කපා කඩුව චෙක්‌ කරන සවුදි අරාබියේ සදාචාර කඩුව..! (PHOTO)

සවුදි අරාබියේ රියාද් නගරයෙහි පිහිටි මහ හිරගෙදර කාන්තාවන්ට වෙන් වූ කොටසෙහි හිර කාමරයක්‌ තුළ කඳුළු වියෑළී ගිය දැසින් බලා සිටින පරාජිත සිංහල ගැහැනියගේ ජීවිතය නිමිත්තෙන් මේ සටහන ලියනු ලැබේ. ඇගේ ගම කොළඹ මරදානය. නම සුදේශී ය. තරාතිරම නොහොත් රැකියාව හවුස්‌මේඩ් ය. ඇය විවාහකය. දෙදරු මවක්‌ ය.

ඇගේ කඳුළු වියළී ඇත්තේ දිගින් දිගටම හැඟිම හේතුවෙනි. ඒ හැඬුම, ඇය ගල්වලින් ගසා මරණයට පත් කිරීමේ දණ්‌ඩනයට නියමව සිටින නිසා ය. ඇය කළ වරද පර පුරුෂ සේවනයයි. එහි පාර්ශ්වකරුවා කොළඹින් ගොස්‌ සවුදියේ වැඩ කළ තරුණයෙකි. හෙටින් පසු එළැඹෙන ඕනෑම සිකුරාදා දවසක උදේ වරුවේදී සවුදියේ රියාද් නගරය මැද පිහිටි ප්‍රසිද්ධ චතුරස්‍රය වෙත සුදේශී ගෙන ගොස්‌ ගල් ගසා මැරීම සිදු කෙරෙනු අතැයි දැන ගන්නට තිබේ.

කෙනෙකුට මරණ දඬුවම නියම කිරීමෙන් පසු සවුදි ආණ්‌ඩුව අමුතු නිහඬතාවකට පිවිසෙයි. සමහර විට මාසයක්‌ දෙකක්‌ නැත්නම් අවුරුදු පහ හයකින් ඔවුහු අදාළ විත්තිකාරයා හෝ විත්තිකාරිය සම්බන්ධයෙන් නිහඬව සිටිති. ඉන් පසු හිටි හැටියේ ම දවසක උදේ පාන්දර ඔහු හෝ ඇය රියාද් චතුරස්‍රයට ගෙන ගොස්‌ මරා දමයි. තමා භාරයේ සිටි ළදරුවකු මිය යැම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්‌ සම්බන්ධයෙන් 2013 දී සවුදි ආණ්‌ඩුව අනුගමනය කළේ ද මෙම පිළිවෙතය. සවුදි අධිකරණය ඇයට මරණ දණ්‌ඩනය නියම කරන්නේ 2007 ජුනි 16 වැනිදා ය.

එතැන් සිට වසර 6 ක්‌ ම නිහඬව සිටින සවුදි ආණ්‌ඩුව 2013 ජනවාරි 9 වැනිදා උදය වරුවේ ඇය රියාද් චතුරස්‍රය වෙත ගෙන ගොස්‌ හිස ගසා මරා දමන්නේය. සාමාන්‍යයෙන් විත්තිය ගැහැනු වේවා, පිරිමි වේවා සවුදි වධකයන් විසින් ඔවුන් ඝාතනය කරනු ලබන්නේ සිකුරාදා ය. එය ප්‍රතිපත්තියකි. විත්තිකාරියට ගල් ගසා මරන්නේ නම් රියාද් චතුරස්‍රය මැද සිකුරාදා පාන්දර වළක්‌ කපනු ලැබේ. ඉන් පසු විත්තිකාරිය ඒ වළ තුළට ගෙල තෙක්‌ බස්‌සා පස්‌ තද කරනු ලැබේ. පසෙක විශාල ගල් ගොඩක්‌ ඇති අතර, දණ්‌ඩ නායකයන් විසින් දෙන ලද සංඥාවකට පසු ගල් ගැසීම ඇරඹෙයි. ගල් ගොඩ ඉවර වී ඇය නොමළොත් හිසට වෙඩි තබනු ලැබේ.

කාම අපචාර සම්බන්ධයෙන් සවුදි අරාබිය අනුගමනය කරන නීතිය ඉතා රළුය. මෙයට අවුරුදු 38 කට පෙර නීත්‍යනුකූලව විවාහ වීමට පෙර සිය පෙම්වතා සමඟ ගමන් බිමන් යැම සම්බන්ධයෙන් සවුදි රාජ කුමරියක වූ මීෂාබින්ට්‌ ෆාඩ් බින් මොහොමඩ් අල් සවුද් කුමරියගේ හිස ගසා මරා දමන ලදී. ඒ ද රියාද් චතුරස්‍රය මැද 1977 ජුලි 15 වැනි සිකුරාදා උදේ වරුවේ ය. ඇගේ කතාව මෙසේය.

සවුදි අරාබියේ පුරෝගාමී රාජ්‍ය නායකයා වූ කලි අබ්දුල් අසීස්‌ බින් සවුදිය. 1975 දී එරට රජ බවට පත් වන කාලිබ් රජතුමා ඔහුගේ මුණුබුරෙකි. ඒ අතර ඔටුන්න හිමි කුමාරයා වන්නේ කාලිබ් රජුගේ එක්‌ සහෝදරයකු වන ෆාස්‌ කුමරු ය. මේ කුමාරයාගේ වැඩිමහල් සහෝදරයාගේ නම ෆාඩ් බින් මොහොමඩ් අල් සවුද් ය. මීෂා කුමරිය ඔහුගේ දියණියයි. එසේම මීෂා සවුදියේ පුරෝගාමී නායක බින් සාවුද් රජුගේ මී මිණිබිරියයි.

මීෂා කුමරිය සවුදි රාජ්‍යයේ මූලික අධ්‍යාපනය ලබා 1975 දී උසස්‌ අධ්‍යාපනය සඳහා ලෙබනන් රාජ්‍යය වෙත ගියාය. ඉස්‌ලාමීය රටක්‌ වුවද බටහිර ක්‍රමයේ අධ්‍යාපන සම්ප්‍රදායයක්‌ තිබෙන ලෙබනනය යම් ප්‍රමාණයකට ලිබරල් සමාජයක්‌ ඇති රටකි. එහි යන මීෂා කුමරිය එරට සිටින සවුදි නායකයාගේ බෑණා වන අල් හසන් අල් ෂායෙර් සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කර ගනී. මේ ප්‍රේම සම්බන්ධය ගැන පළමුවැනි ඔත්තුව ලෙබනනයේ සවුදි තානාපති කාර්යාලය මගින් සවුදි රජ මාලිගයට යවනු ලැබේ. එතැන් සිට සවුදි අරාබි ඔත්තුකාරයෝ මේ පෙම් යුවළ පසුපස යති. අධ්‍යාපනය නිම වූ පසු කුමරිය හා පෙම්වතා වෙන් වෙන්ව මවු රටට එන අතර ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගනු ලැබේ. කාම අපචාරයෙහි යෙදීම මත සබ් (සිනා) නමැති නීතිය යටතේ ඔවුන්ට විරුද්ධව නඩුවක්‌ ද පවනු ලැබේ.

සබ් නීතිය – සබ් යනු නීත්‍යනුකූල බන්ධනයකින් තොරව කායික සම්බන්ධකම් පැවැත්වීමට කිය නමය. එසේම සමලිංගික සම්බන්ධකම් පැවැත්වීම ද මේ නීතිය යටතේ දරුණු වරදක්‌ ලෙස අර්ථකථනය කෙරෙයි. මේ නීතිය යටතේ සැකකරුවකු හෝ සැකකාරියක්‌ වරදකරුවකු හෝ වරදකාරියක වීමට ක්‍රම දෙකක්‌ අනුගමනය වන්නේය.

පළමුවැන්න ඇසින් දුටු සාක්‍ෂි හතරකි. එනම් විත්තිකරු හෝ විත්තිකාරිය එම වරදෙහි නිරත වනු පිරිමින් හතරදෙනකු විසින් ඇසින් දැක තිබිය යුතුය. එසේ නැත්නම් විත්තිකාරිය පරපුරුෂ සේවනයෙහි යෙදුණු බවට හතර වතාවක්‌ පාපෝච්ඡාරණය කළ යුතුය. එහෙත් අරාබිය වැනි රටක පිරිමි හතරදෙනෙකුට පෙනෙන පරිදි අපචාර කරන මොළේ අමාරුකාර ගැහැනුන් සිටිත් ද? එබැවින් ගැහැනිය නිදහස්‌ විය යුතුමය. එහෙත් එසේ වන්නේ නැත. අවසානයේදී විත්තිකාර කාන්තාව තමා අපචාරයෙහි යෙදුණු බවට සිවුවරක්‌ අප්‍රසිද්ධියේ පාපෝච්චාරණය කරන ලදැයි රටේ ජනයාට දැන ගන්නට ලැබෙයි. ඉන් පසු ඇයට ගල් ගසා හෝ ඇගේ හිස ගසා මරනු ලැබේ.

මීෂා කුමරිය ද මේ ක්‍රමයටම වරදකාරිය කරන ලද්දීය. ඇය වධක භූමියට ගෙනෙන ලද්දේ අගේ රාජකීය තත්ත්වය පවා සැලකිල්ලට නොගෙන දෙඇස්‌ කළු පැහැති රෙද්දකින් බැඳ අත් සහ කකුල්වලට මාංචු දමාගෙනය. අනතුරුව ඇගේම සීයාගේ (මහරජුගේ පියා) අණ පරිදි ඇය බිම දණ ගස්‌සවා කඩුවකින් ගෙලට පහර දෙන ලදී. වධකයා පුරුදුකාරයකු නොවූ නිසා මීෂා කුමරියගේ හිස කඳින් වෙන් කරනු පිණිස පස්‌ වතාවක්‌ කඩු පහර දීමට සිදුවිය.

කුමරියගේ ගෙල කැපීම සිදු කරන්නේ ඇගේ පෙම්වතාගේ ඇස්‌ ඉදිරිපිට ය. එම සිද්ධිය නරඹන ලෙස ඔහුට බලකර තිබිණි. අනතුරුව මීෂා කුමරියගේ ඥාතියකු විසින් පෙම්වතාගේ හිස ද ගසා දමන ලදී. සවුදි අරාබිය කාම අපචාර සම්බන්ධයෙන් කොතරම් දැඩි ලෙස කටයුතු කරන්නේ ද යන්න මේ සිද්ධියෙන් පැහැදිලියි. එමතුද නොව මේ රට සොරකම්, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, ත්‍රස්‌තවාදී කටයුතු සහ රාජ්‍ය රහස්‌ පිටකිරීමට ද මරණ දණ්‌ඩනයෙන්ම සංග්‍රහ කරයි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: