“සෙවනගල කොවුල්ආර ගව අනාථාගාරය” ගැන තවත් විස්තර මෙන්න..!

අධික ජනගහනයකින් යුතු මහාමාර්ග සහ ප්‍රදේශ වල නිදැල්ලේ ගැවසෙන ගවයන් ප්‍රශ්නයක් වී ඇති බවට අද අමාත්‍යංශ මට්ටමින් පවා මැසිවිලි නැගෙනු අසන්නට පුළුවන්.

එහෙත් අපගේ ජන සංස්කෘතියට අනුව කෘෂිකර්මයේ යාව ජීව මිතුරා සහ පස්ගෝ රසය ලබා දෙන ගව සම්පත මස් පිණිස යොදා ගැනීම මිනිසත් බවට කිසිසේත්ම නොගැලපෙන්නක් බව කිවයුතුයි. පොදුජනතාව තුළ බලපවත්වන මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමට මේ වන විට අප ජන සමාජයේ ප්‍රමුඛ තැනක් හිමිවී ඇතත් එසේ නිදහස් වන ගවයන්ට කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව විමසා බැලීමක් සිදු නොකිරීම විශාල අඩුපාඩුවක්.මේ සියළු ගැටළු අර්බුද වලට පොදු විසඳුමක් සැපයෙන ලෝකයේ ප්‍රථම හා එකම ‘ගව අනාථාගාරය’ වෙත ඔබ කැඳවාගෙන යාමටයි අද අපගේ සූදානම.

උඩවලවේ ජලාශය පසුකොට තණමල්විල දෙසට යන මා‍ර්ගයේ කිලෝමීටර් 05 ක් පමණ ගිය පසු හමුවන බෝධිය අද්දරින් දකුණ හැරෙන අතුරුපාර ඔස්සේ තවත් කිලෝමීටර් 03 ක් පමණ පසු කළ විට අක්කර 100 ක භූමි ප්‍රමාණයකින් යුත් ලෝකයේ එකම ‘ගව අනාථාගාර’ භූමියට පිවිසීමට ඔබට පුළුවන්.

ඇඹිලිපිටියෙන් මොරකැටිය පාරේ විත් මොරකැටිය හන්දියෙන් වමට හැරීමෙනුත් මෙම ස්ථානයට පැමිණිය හැකියි.

කෘෂිකර්මයේ මිනිසාගේ පරම උපකාරක මිත්‍රයා සහ පස්ගෝරසයෙන් මිනිසාට පෝෂණය ලබා දෙන ගව සම්පත මස් කඩයෙන් මුදා ගැනීමෙන් පසු ඔවුන්ට නිසි ආරක්ෂණයක් ලබාදීම සඳහා තිරසාර වැඩපිළිවෙලක අවශ්‍යතාව මුලින්ම වටහාගෙන ඇත්තේ රාමඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ‍ඕමල්පේ සෝභිත හිමියන් විසින්.ඒ අනුව මස් පිණිස ඝාතනය කිරීමට තිබිය දී ඉන් මුදා ගන්නා ගවයන්ට ‘සැබැවින්ම’ අභයදානය ප්‍රදානය කොට ඔවුන් රැක බලා ගැනීමේ වගකීම සියතට ගන් සෝභිත හිමියන් එම සතුන් නිශ්චිත ගිවිසුමක් යටතේ දැහැමි පවුල් භාරයට පත් කිරීම අරඹා ඇත්තේ 2004 වසරේ සිටයි.

එහි දී කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ගවයන් රඳවා තැබීමට සුදුසු ස්ථානයක අවශ්‍යතාව දැඩිව පැනනැගීම මත විදේශිය දාන පතියන්ගේ ආධාරයෙන් ලබාගත් සෙවනගල කොවුල්ආර අක්කර සීයක භූමි භාගයක මෙම අනාථාගාරය ස්ථාපිත කොට තිබෙනවා.2008 මාර්තු 05 වෙනිදා ගවයන් අසූ දෙනෙකු ගෙන් යුතුව ඇරඹූ මෙම අනාථාගාරයට පසුව එක්වූ ගවයන් අතරින් නී‍රෝගී ගවයන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් විධිමත් ගිවිසුමක් යටතේ සෑම පසලොස්වකපොහොය දිනයකම දැහැමි පවුල් වෙත ලබා දීමත් විශේෂත්වයක්.

ඉන්පසුවද ඔවුන් පිළිබඳව අවධානය යොමු කිරීම අනිවාර්යෙන්ම සිදුකරනු ලබනවා. එමෙන්ම ගවයන් කෙරෙහි දැඩි භක්තිමත් හැඟීමක් ඇති යාපනය හා කිලිනොච්චි ප්‍රදේශ වල හින්දු පවුල් 800 ක් සඳහා ද මෙම ගවයන් ලබා දී ඇති බව පැවසෙනවා. ශිව දෙවියන්ගේ වාහනය වශයෙන් සලකා ගවයාට පූජනීයත්වයක් ආරෝපණය කරන හින්දු ආගමට අනුව ගව ඝාතනය බිහිසුණු පාපකර්මයක්.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් දියත් කළ මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ඇඹිලිපිටිය බෝධිරාජ මහා පිරුවණේ නියෝජ්‍ය පරිවෙණාධිපති පූජ්‍ය විජයවියේ විමල හිමිපාණන් විසින්.

මේ වන විට ගවයන් 200 ක් පමණ මෙහි රැකවරණය ලබන අතර ඔවුන්ට දිනපතා පිටතින් තණ කොළ ගෙන ඒමට මුදල් අවශ්‍ය වන බවත් රෝගී ගවයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට තවත් මුදලක් වැය වන බවත් බෝධිරාජ පදනමේ ලේකම් අශෝක කන්නංගර මහතා පවසනවා.අසරණ සතුන් හට අභයදානය හිමි කරන අතරේ දැහැමි අසරණ පවුල් වල ආදායම සරු කිරීම සඳහා ද ඉවහල් වන මෙම මාහැඟි ව්‍යාපෘතිය සියැසින් දැක බලා ගැනීමටත් ඒ සඳහා ආධාර උපකාර කිරීමට සේම මරණයට කැප වී ඉන් මුදාගත් ගවයන්ට ජීවිතාන්තය දක්වා සැනසිලි දායක දිවි පෙවෙතක් ගත කිරීමට ඉඩ සලසමින් ඔවුන් මෙම අනාථාගාරයට භාර දීමටත් ඔබට හැකියි. එමෙන්ම මෙම අනාථාගාරය සහ එහි ක්‍රියාකාරීත්වය දැක බලා ගැනීමේ පූර්ණ අවකාශයක් ද ඔබ සතු බව කිව යුතුමයි.

ඒ සඳහා මතු දැක්වෙන දුරකථන අංක ඔබට ප්‍රයෝජනයට ගත හැකියි.

ඕමල්පේ සෝභිත හිමි : 071 3930088, විජයවියේ විමල හිමි : 0755461025  අ‍ශෝක කන්නංගර මහතා :0776564124

මීට අමතරව මෙම ගව අනාථාගාරය නැරඹීමට හෝ මේ සඳහා ගවයන් භාර දීමට කැමති ඔබට 0773304932 අංකය යටතේ එම අනාථාගාර භාර කරු එස්.එච්.අමරසේන (ගම්බාර මහත්තයා) ඇමතීමටත් පුළුවන්.

දමයන්ති ගමගේ

Facebook Comments

more recommended stories

%d bloggers like this: