ශ්‍රී ලකාවේ පළමු ආදිවාසී මහජන නියෝජිතවරිය ශිරෝමාලා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක් පසුගිය දා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජය ලැබුවාය.

ඩබ්. එම් ශිරෝමාලා නම් අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තම වැදි ජනතාව වෙනුවෙන් තම සංස්කෘතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන බවයි. තමන් පළාත්සභා මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව තවදුරටත් පැවසුවාය.

තමන්ගේ දේශපාලන ආගමනය පිළිබඳව ශිරෝමාලා විජේසේකර වන ඇය පවසන්නේ මෙවැනි කතාවකි.

“මගේ තාත්තා ඌරු වරිගෙ පුංචි බණ්ඩා. අම්ම විජේසේකර මුදියන්සේලාගේ පේමවතී. අපේ පවු‍ලේ සහෝදර සහෝදරියන් නව දෙනයි. අම්මයි තාත්තයි නීතියෙන් විවාහ වී තිබුණේ නැති නිසා අපි අට දෙනකුටම දාලා තිබුණේ අම්මාගේ වාසගමයි. අපේ පවුල ජීවත් වුණේ දඹානේ ගුරුකුඹුර වැදි ගම්මානයේ. වර්තමාන ආදිවාසී  නායක ඌරුවරිගෙ වන්නියල ඇත්තෝ මගේ මාමණ්ඩිය වෙනවා. හේනානිගල වැදි නායක ගුණබණ්ඩාත් මගේ මාමණ්ඩි කෙනෙක්. මහවැලියෙ ඉඩම් ලැබුණට පස්සේ අපේ පවුල් කිහිපයක්ම හේනානිගල පදිංචියට ආවා.
මගේ දැන් වයස අවුරුදු 33යි. මම විවාහකයි. සාමාන්‍ය පෙළ දක්වා මම ඉස්කෝලෙ ගියා.

පසුගිය සභාවටත් අපේ ආදිවාසී අයෙක් තේරී පත්ව සිටියා. ඒ තලා වරිගෙ පේමරත්න. ඔහු ජයග්‍රහණය කළේ  ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. ඒ නිසා ප්‍රධාන පක්ෂවල නියෝජිතයන් සමග වාද විවාද කරල අපේ ගැටලු ඉදිරිපත් කරල ඒවාට සාර්ථක විසඳුම් ලබා ගැනීමට ඔහු ගත් උත්සාහයන් එතරම් සාර්ථක වුණෙත් නැහැ. නමුත් ඔහු ගත් උත්සාහයන් තවත් ජවසම්පන්නව ඉදිරියට ගෙනයාම මගේ කාර්යයේ ප්‍රධාන කොටසක් වෙනවා.

තම ජන කොට්ඨාසයවන ආදිවාසීන්ගේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරන්නට කවුරුත්ම නැති නිසා තම ජනතාව අසරණව සිටින  බව ශිරෝමාලාගේ අදහසයි.

“මෙච්චර කාලයක් අපි අනුන්ට ඡන්දය දීලා ඔවුන්ගෙන් කෙරෙන තෙක් බලාගෙන හිටියා. ඒත් වැඩක් වුණේ නැහැ. මම නියෝජනය කරන කොට්ඨාසයේ පමණක් අපේ පවුල් 900ක් පමණ ඉන්නවා. වලංගු ඡන්ද 4000කට ආසන්නයි. ආදිවාසීන් වෙනුවෙන් පමණක් නෙවේ මුළු කොට්ඨාසයේම ජනතාව වෙනුවෙනුත් සමස්ත කාන්තාවන් වෙනුවෙනුත් හඬක් නැගීමට මම සූදානම් ඇය කියන්නීය.

ආදිවාසී ජනතාව වෙනුවෙන් මෙතෙක් නොවිසඳුණු ගැටලු පිළිබඳව ඇය මෙසේද පැවැසුවාය. වැදි ළමයි කියලා අපේ දරු දැරියන්ට පාසල්වලදී තවමත් කෙනෙහිලිකම් කරනවා. සුදුසුකම් ඇතත් අපේ තරුණ තරුණියන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී දක්වන නොසැලකිලිමත් බව, අපේ අනු පවුල්වලට බෙදාදිය යුතු ඉඩම් පිට පළාත්වල අයට ලබාදීම, ජලාශවල ධීවර කර්මාන්තයේ යෙදෙන අපේ අයට විවිධ තහංචි දැමීම, මීපැණි මෙන්ම වන ඔසු සොයා වනගතවීමේදී බාධා එල්ල කිරීම්, ලබාදී ඇති ඉඩම්වලට මතෛක් නීත්‍යානුකූල බලපත් ලබා නොදීම්, අපේ පාරම්පරික සංස්කෘතික කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා පහසුකම් සලසා නොතිබිම වැනි ගැටලු පිළිබඳව හඬක් නගා පිළියම් ලබා ගැනීමට උත්සාහ දැරීමත් මගේ අපේක්ෂාවයි ඇය වැඩිදුරටත් පවසන්නීය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: