ඉල්ලා අස්විය යුතු අය යන්න ලෑස්ති නෑ – ක්‍රිකට් බේරගන්න ක්‍රිකට් ආයතනය විසුරුවන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර නැවත මුල සිට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුද්ගලයකුගේ මූලිකත්වයෙන් ආරම්භ කළහොත් පමණක් කඩා වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගත හැකි බව හිටපු ටෙස්ට් ක්‍රීඩක සහ හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා පවසයි.

වර්තමාන ක්‍රිකට් පරිපාලනය පත්වීමට පෙර පැවැති අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වෙත්තමුණි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළද එය කුණු කූඩයට දැමීමට වර්තමාන පරිපාලනය කටයුතු කළේය. වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පිළිබඳව දැන ගැනීමට ‘දේශය’ සිදත් වෙත්තමුණි මහතා හමුවූ අවස්ථාවේ ඔහු පළ කළ අදහස් මෙසේය.

වර්තමාන ක්‍රිකට් පරිපාලනය ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ..?

මම වර්තමාන පාලනය ගැන වැඩි දේවල් කියන්න කැමැත්තක් නෑ. මොකද එළියෙ ඉඳන් ඇතුළෙ වෙන දෙවල්වලට දොස් කියන්න මම කැමති නෑ. නමුත් එක දෙයක් කියන්නම් එළියෙන් පෙන්නේ කළබලකාරී තත්ත්වයක්. කලමනාකාරිත්වය දිහා බැලුවත් පුහුණුකරුවො එනවා යනවා. කළමනාකරැවො එනවා යනවා. ඉවරයක් නෑ. එවැනි වාතාවරණයක තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එය ක්‍රීඩකයන්ට බලපෑම් ඇති කිරීම. මොකද මේක සමාගමක් වගේ. සමාගම එක එක කළමනාකරුවන්ගේ වෙනස්කම් කිරීම වැඩි වුණාම ඒකෙ වැඩ කරන සෙසු අයට එය බලපානවා. ඒකෙන් ක්‍රීඩකයන්ට දැන් බලපෑම් ඇති වෙලා තියෙනවා.

ඔබ අතුරුකමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ආර්. ‍ෙප්‍ර්මදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයක්, පල්ලෙකැලේ සහ දඹුල්ලේ ගෘහස්ථ තණතීරු ඉදිකිරීමට සූදානම් වුණා. නමුත් වර්තමාන පාලකයන් ඒ සියලුම දේවල් අතහැර දැම්මා. ඒ පිළිබඳව කියන්නේ මෙකක්ද..?

එය ඉතාමත් කනගාටුදායක සිද්ධියක්. මට ක්‍රීඩකයො හැමදාම කියපු දෙයක් තමයි අපිට ගෘහස්ථ පුහුණුවීම් පහසුකම් ලබාදෙන්න කියලා. ඒ වගේම පිහිනුම් තටාකයක් නෑ. ඒක හැමදාම කියපු දෙයක්. මයිකල් තිසේරලා, මහේල ජයවර්ධනලා ක්‍රිකට් කමිටුවේ සියලු දෙනාම ගත්ත තීරණයක් තමයි ඒක. කටයුතු ඉක්මනින්ම ආරම්භ කරලා අවසන් කරන්න. ඒක කළානම් මේ වනවිට ගෘහස්ථ පුහුණු තණතීරු හයක් ලැබෙනවා. නැවත සකස්වීමට සහ පුහුණුවට පිහිනුම් තටාකයක් එහෙනම් දැන් ආර්. ‍ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ලැබිලා. වර්තමාන පාලකයන් ඒ සියල්ලම කඩා හැරියා. අපිට බොරු චෝදනාත් කළා. එකේ සී.ඊ.ඕ. සහ ඉංජිනේරුවෙක් හිටියා, කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න තිබුණා. පල්ලෙකැලේ අපි එළියෙන් ගෘහස්ථ පුහුණු තීරු හදන්න තීරණය කළේ දැන් තියෙන තැන පිට පළාත්වලින් එන ක‍්‍රීඩකයන්ට නේවාසිකාගාරයක් හදන්නයි. මේක අපි කරපු නිසා තමයි වෙනස් කළේ. ඇත්තෙන්ම මට ඕක ගැන කියන්න තියෙන දේවල් කියන්න කැමති නෑ. ඔබලම ඒ ගැන හිතාගන්න මම නිශ්ශබ්දව ඉන්නම්.

ඔබගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළා. එයට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණා. ඒකට වුණේ මොකක්ද..?

ඒ ව්‍යවස්ථාවට ඇත්තටම මගේ අදහස් දුන්නා විතරයි. එම යෝජනව සකස් කළේ ජනාධිපති නීතිඥයකු ලෙස කටයුතු කළ ප්‍රසන්න ජයවර්ධන මහත්මයයි. අපිට අයි.සී.සී. එකෙන් කිව්වා දකුණු අප්‍රිකානු සහ අයර්ලන්ත යන රටවල්වල ව්‍යාවස්ථා අලුතින් සකස්කරලා ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලා. අපි ඒ රටවල්වල ක්‍රිකට් සභාපතිවරුන්ට කථාකරලා ඔවුන්ගේ අදහස් අරගෙන ප්‍රසන්න ජයවර්ධන මහත්මයා ඉතාමත් සාර්ථක පිටු තුනක යෝජනාවක් සකස් කළා. මම එය මුලින්ම ඉදිරිපත් කළේ ක්‍රීඩා ඇමැතිවරයාට. මට දැනුණු විදියට ඔහු කිව්වා මේක ඉතාමත් හොඳයි පස්සෙ බලමු කියලා. මමත් කිව්වා හා කියලා. මම කිව්වා මේක කළොත් ඔබතුමාව ජීවිතේටම අමතක වෙන එකක් නෑ. නැත්නම් ගොඩක් ක්‍රීඩා ඇමැතිවරු වගේ ඇවිත් ගියා වෙයි කියලා. මම එතුමාට කිව්වා මේක අගමැතිවරයාටත් පෙන්නනවා කියලා. මම අගමැතිතුමාටත් පෙන්නුවා. අගමැතිතුමා මේක පිළිබඳව ඉතාමත් සතුටු වුණා. මේ ප්‍රශ්නය නිසා කලබලකාරී තත්ත්වයකුත් ඇති වුණා. මම ඒ පිළිබඳවත් වැඩි කථා කරන්නේ නෑ. ඉන්පසුව අගමැතිතුමා අයි.සී.සී. එකට කථා කරලා ව්‍යවස්ථාව මාරු කරන්න අනුමැතිය ගත්තා. අතුරැ කමිටුව තියාගෙන සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා දැනුම් දුන්නා. නමුත් ව්‍යවස්ථාව එතැනින් එහාට ගියේ නෑ. අපි සකස් කළ ව්‍යවස්ථා යෝජනාවේ ගොඩක් හොඳ දේවල් තිබුණා. දකුණු අප්‍රිකාව වැනි රටවල් ගොඩක් සැලසුම් කරලා තමයි එය කරලා තිබුණේ. ඒ වගේම අපි යෝජනා කළේ අපිට ගැලපෙන දේවල් තමයි.

එහිදී අපි ක්‍රිකට් නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව පනස් ගණනකට අඩු කළා. ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රීඩා සමාජ ලොකු ප්‍රශ්නයක්. ක්‍රීඩා සමාජ බොහෝමයක් ක්‍රිකට් ගහන්නෙම නෑ. නැත්තම් තෙවැනි කොටසේ තරග දෙකකට තුනකට සහභාගි වෙනවා. නමුත් එස්.එස්.සී., එන්.සී.සී. වගේ ඒවට ඡන්ද දෙකක් තියෙනවා. ඒ ඡන්ද ගන්නේ කොහොමද..?

අපේ ඡන්ද 147 ක් තියෙනවා. ඉන්දියාව ජනතාව බිලියන 1.2 කට ඡන්ද 41 යි තියෙන්නේ. දැන් ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙනවා 30 ට අඩු කරන්න කියලා. දේශපාලනයට ගැලපෙන ඡන්ද ක්‍රමයක් අපේ ක්‍රිකට් ආයතනයේ තියෙන්නේ. දේශපාලනඥයෙක් නම් ඡන්දෙ දිනලා එන්න පුළුවන්.ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වෙනත් පුද්ගලයකුට එන්න බෑ. ඒ ඡන්ද ක්‍රමයේ තමයි වැරදි. අපේ නව යෝජනාවේ ගොඩක් වැදගත් දේවල් තිබුණා. ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජික සංඛ්‍යාව නවයයි. එයට වසර 25 ක අත්දැකීම් ඇති ජනාධිපති නීතිඥයෙක් සහ ගණකාධිකාරීවරයෙක් අවශ්‍යයි. මම දන්න විදියට පවතින ව්‍යවස්ථාවෙත් භාණ්ඩාගාරිකවරයා වරලත් ගණකාධිවරයකු විය යුතුයි. හැබැයි දැන් එහෙම නෑනේ. විධායක සභාවට හිටපු සභාපතිවරයෙක් සහ හිටපු නායකයකුත් ඉන්න ඕනේ. ඊටත් වඩා බෝඩස් ගවනර්ස් කියලා පස්දෙනකු පත්වෙනවා. එයට ජනාධිපති නීතිඥයෙක්, ගණකාධිකාරිවරයෙක්, හිටපු නායකයෙක් වැනි නිලධාරීන් පත්විය යුතුයි. ඒක පත් කරන්නේ මූල්‍ය ප‍්‍රශ්න පාලනයට. මිලියන 10 කට වඩා වියදම් කරනවා නම් බෝඩස් ගවනර්ස්ලාගේ අනුමැතිය ලැබිය යුතුයි. ඒ අනුව කාටවත් බොරුකරන්න බෑ. හොර කරන්න බෑ. සල්ලි අපතේ යවන්න බෑ. දැන් ව්‍යවස්ථාවට අනුව ඉන්න සභාපතිට සහ කමිටුවට ඕන දෙයක් කරන්න පුළුවන්.

ඔබට නැවතත් අතුරු කමිටුවකට ආරාධනා ලැබුණොත් බාරගන්න කැමතිද..?

මම දැන් කියනවා මම නැවත කවදාවත් ක්‍රිකට් අතුරු කමිටුවකට එන්නෙ නෑ. මේ අතුරු කමිටුවට එන්නේ නිකන් තියෙන කුණු ගොඩක් ටිකක් සුද්ද කරලා යන්න. ඊට පස්සේ එතැනින් ඉවරයි. අතුරැ කමිටුවකට තියෙන කාලය මදි. ඒකට ආවම අපි නිකන් ක්‍රීඩා අමාත්‍යංශයේ කොටසක් වගේ හැමදේම ක්‍රීඩා අමාත්‍යංශය කියන විදියට කරන්න ඕනේ. අපි නම් නිදහස්ව වැඩකළා. බොරු කියන්න ඕනේ නෑ. නමුත් මම පෙර කිව්වේ ඇත්ත තත්ත්වයයි. අතුරැ කමිටුවක් දාලා දැන් ක්‍රිකට් හදන්න බෑ.

ශ්‍රී ලංකා පිල අඛණ්ඩව තරග පරදිනවා. ක්‍රිකට් කඩා වැටිලා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔබ එයට ප්‍රරධාන හේතුව ලෙස දකින්නේ මොකක්ද..?

මම ප්‍රධානම දේ හැටියට දකින්නේ තේරීම් පිළිබඳව තිබෙන ප්‍රශ්නයයි. තේරීම් කමිටුව කිසිදු සැලසුමක් වගේම දැක්මක් නැතුව තවත් විදියකට කියනවා නම් අනාගතය බලන්නෙ නැතුව තීරණය අරන් තියෙනවා. දිනේෂ් චන්දිමාල් එක්දින පිලේ ඉන්නම ඕනේ. ඔහුට හැකියාව තිබෙනවා එක්දින තරගයක ඕවර 50 බැට් කරලා ගේම් එක තියා ගන්න. ඕවර 50 හෝ 20 හෝ ඉතාම වැදගත් දේ තමයි කඩුල්ලේ රැඳී සිටීම. පසුපෙළට නිදහසේ ලකුණු රැස්කරන්න නම් ඉදිරි පෙළ හොඳ පිතිකරුවො ඉන්න ඕනේ. චන්දිමාල් නැති එක පළමු ප්‍රශ්නය. දෙවැනි එක තමයි අපේ පන්දු යැවීමේ අංශය. ඉතාමත් හොඳ පන්දු යවන්නන් දෙදෙනෙක් වන වැන්ඩසේ සහ තරිඳු කෞෂාල් සංචිතයේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. අපිට ඕනේ කඩුලු දවාගන්න පුළුවන් පන්දු යවන්නො. මේ දෙන්නට කඩුලු දවාගන්න පුළුවන්. ලකුණු 50 දීලා කඩුල්ලක් දවාගන්න බැරි නම් වැඩක් නෑ. සීමිත ඕවර තරගයක වුණත් කඩුලු දවාගන්න පන්දු යවන්නෝ ඕනේ. ටෙස්ට් ක්‍රිකට්වලට එය වඩාත් වැදගත්. මම දකින විදියට අපේ තේරීම් ක‍්‍රමවේදයේ ගොඩක් ප‍්‍රශ්න තියෙනවා. බලපෑම් තියෙනවා නම් ඉවත් වෙන්න ඕනේ. මම තේරීම් කමිටු සභාපතිවරයාව ඉඳලා ඉවත් වුණා. අද අපි ඒවා දකින්නේ නෑ. අද අස්වෙන කාලයක් නොවෙයි.

ක්‍රීඩකයන් 40 ක් පමණ පසුගිය කාලයේ කණ්ඩායමට ගෙනත් තියෙනවා. මෙම කටයුතුවලට විවිධ පුද්ගලයන් බලපෑම් කරනවා කියලත් කියනවා. ඔබගේ අදහස මොකක්ද..?

එය සම්පූර්ණ වැරුදි දෙයක්. මම හතරවතාවක් තේරීම් කමිටු සභාපති වෙලා හිටියා. මම කළේ මට කරන්න ඕන දේ. මට කවදාවත් ඇමැතිතුමෙක් හෝ කවුරැවත් කිව්වේ නෑ මෙයාව ගන්න, අරයව ගන්න, මෙයා හොඳ නැද්ද කියලා.  මට මතකයි 1999 අපි ලොකු වෙනසක් කළාම එස්. බී. දිසානායක ඇමැතිතුමා මට කෝල් කරලා කිව්වා මට පාර්ලිමේන්තුවෙන් ගොඩක් චෝදනා එනවා. මම ඔයාගෙන් අහන්නේ මේක කළේ ඇයි සිදත් කියලා විතරක් මට තේරුම් කරන්න. මම තේරැම් කළාට පස්සෙ කිව්වා කරගෙන යන්න මම අතගහන්නෙ නෑ කියලා. පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයිනේ. ඒක ඇහුවට ප්‍රශ්නයක් නෑ. මට ආරංචිවෙලා තියෙනවා එක එක්කෙනා කියනවා කියලා අරයව දාන්න කියලා. මම කියන්නේ එහෙම වෙනවා නම් සම්පූර්ණයෙන්ම වැරුදියි. මේක නිසා තමයි අපි මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. මේක වෙනස් කරන්න නම් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ.

පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ඉවත්වුණා. තාවකාලික පුහුණුකරු කියනවා උපදේශකයන් වැඩිවෙලා කියලා. මේ පිළිබඳව ඔබ කියන්නේ මොකක්ද..?

හරිම කෝළමක් වෙලා තියෙන්නේ. එනවා යනවා. එනවා යනවා. ගුරුසිංහත් මේ සංචාරයෙන් පසුව ගියොත් මම පුදුම වෙන්නේ නෑ. හැමදාම වෙනස්කම් වනවිට ක්‍රීඩකයො කොහොමද ක්‍රීඩා කරන්නේ. අර්ජුන කිව්වා වගේ අපිට ක්‍රීඩකයන්ට දොස් කියන්න බෑ. ක්‍රීඩකයන් මනසින් වැටිලා ඉන්නේ. දැන් හැම තැනම කථාකරනවා මැච් ෆික්සින් (තරග මුදලට පවාදීම) ගැන. සිම්බාබ්වේ සංචාරයේදී මැච් ෆික්සින් ප්‍රශ්නය තිබුණා කියලා කථා වෙනවා. ඔය විදියෙ ප්‍රශ්න තියෙන විට කොහොමද ක්‍රීඩකයෝ ක්‍රිකට් ගහන්නේ. ඒක ඉතාමත් ලොකු ප්‍රශ්නයක්. ඒ විදිහෙ ප්‍රශ්න තිබෙනවා නම් අපිට ක්‍රිකට් අමතක කරලා දාන්න පුළුවන්.

අසංක ගුරුසිංහ කළමනාකරු ලෙස පත්වීමෙන් පසුව කණ්ඩායමේ ප්‍රශ්න ඇතිවුණා කියලා කියනවා. ඔබ ගුරැසිංහගේ පැමිණීම දකින්නේ කොහොමද..?

ගුරුසිංහ ඉතාමත් හොඳ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඉතාමත් ලොකු සේවයක් කළා. මම හරියටම දන්නේ නෑ ගුරුසිංහ සහ කණ්ඩායම අතර මොනවා වෙනවද කියලා. හැමදේටම ඉහළින් එන බලපෑම් හේතු වෙනවා. ගුරැසිංහව ගෙනාව නම් මේකයි ඔබේ වගකීම තියෙන කාර්යයන් කියන්න ඕනේ. වෙනත් ප‍්‍රශ්න මත කලබල ඇති වෙනවා නම් ඒක ගැටලුවක්. මට කියන්න බෑ ඇතුළෙ මොනවා වෙනවද කියලා. ඒ නිසා ඊට වැඩිය කථා කරන්න බෑ. අසාධාරණයි මම වැරැදි දෙයක් කිව්වොත්.

ඇතැම් ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුණත් අවස්ථාව ලැබෙනවා. පළමු එක්දින තරගයේත් අපි ඒක දැක්කා. ඔබට මේ පිළිබඳව අවබෝධයක් තිබෙනවද?

මම කැමති නෑ එක එක ක්‍රීඩකයා ගැන කථා කරන්න. මට දකින දෙයින් මට පේන්නේ තේරීම් කමිටුවට කෙටිකාලීන සහ දිගුකාලීන කියන දෙකටම කිසිම සැලැස්මක් නෑ. ඇයි තෝරන්නේ එකෙන් අනාගතයට ඇති වැදගත්කම මොකක්ද කියන සැලැස්මක් නෑ කියල එක තමයි පේන්නේ. මට විතරක් නෙවෙයි මුළු රටටම පේන්නේ එක තමයි. කනගාටුයි කියන්න. එහෙම තේරීම් කමිටුවකට වෙනත් බලපෑනුත් තියෙනවා නම් ඒ කියන්නේ අපේ තත්ත්වය ඉතාමත් දරුණුයි.

අපි දැක්කා තරුණ ක්‍රීඩකයන් ටෙස්ට් තරගවලදී නිරන්තරයෙන්ම ‘රිවර් ස්වියිප්’ පහර ගහලා දැවී යනවා. ඔබ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට මේක දකින්නේ කොහොමද?

මේ නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ ‘රිවර් ස්වියිප්’ ගහනවා. ‘ස්වියිප්’ ගහනවා. මට පේන්නේ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙය කෙටි කාලයකදී ආපු ප්‍රශ්නයක් නොවෙයි. අපේ ටෙස්ට් ක්‍රීඩකයෝ දැන් ගහන ක්‍රිකට් අපි දකින ක්‍රිකට් තමයි අපේ රටේ දේශීය ක්‍රිකට් කියලා ගහන්නෙත්. දේශීය ක්‍රිකට්වල තත්ත්වය ඇත්තටම කිව්වොත් මමත් පෑඩ් දාගෙන ගියොත් ලකුණු ටිකක් ගහන්න පුළුවන් වෙයි. ඒ ක්‍රිකට් ගහලා ජාත්‍යන්තරයට ආවම තත්ත්වය ගොඩක් මදි. අපේ ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගේ මම දකින ලොකුම අඩුවක් තමයි ‘ඩිෆෙන්ස්’ එක හරි නෑ. ‘ඩිෆෙන්ස්’ බැරිනම් පුළුවන් ඇටෑක් එක විතරක් නම් ටෙස්ට් ක්‍රිකට් ගහන්න බෑ. ක්‍රිකට් කියන්නේ දවස් පහක්, ටිකට්ටුවේ ඉන්න හැකියාව තියෙන්න ඕනේ. ඒකයි අපිට අද දවස් පහක් ගහන්න බැරි. ඒකට හේතුව තමයි අපේ දේශීය ක්‍රිකට් තත්ත්වය ගොඩක් දුර්වලයි.

පළමුපෙළ තරගාවලියේ කණ්ඩායම් 24 ක් ඉන්නවා. ඒ 24 ක් දැම්මේ මොකෝ ඡන්දෙ ගන්න. හැමෝගෙම ඔළුව අතගාගෙන ඉන්න. මේක ලොකුම වැරැද්දක්. අපි අවුරැදු 10 ක් තිස්සෙ කිව්වා මීට වඩා තත්ත්වයක් දේශීය තරගාවලිය තිබිය යුතුයි. නමුත් කවදාවත් එක කරන්න දුන්නේ නෑ. ඇයි ඡන්දයට බයේ. මහේල ජයවර්ධන ක්‍රිකට් කමිටුවේ කාලය ගත කළා හරි ක‍්‍රමයක් හදන්න. තරගාවලියක් පැවැත්වූවට මදි. ඒ තරගාවලියට ඔබින ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකට පුහුණුකරු, කළමනාකරුවො ඒවා නියම ක්‍රමයකට තියෙන්න ඕනෙ. අපි පළාත් තරගාවලියට ‍ෙප්‍ර්ක්‍ෂක අවධානය ඇති කරන්න කටයුතු කළා. කොළඹ සහ කුරැණෑගල ගැහුවොත් එවිට තමයි ‍ෙප්‍ර්ක්‍ෂකයෝ තරග බලන්න එන්නේ. රග්බි තරග වාගේ. ඒ තරගාවලියට කණ්ඩායම් කළමනාකරැවෝ සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගි වුණා. හොඳ අයදුම්පත් ආවා. උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන් හිටියා. පුහුණුකරුවන් වෙන්කළා. සියලු දේ කළා. තරගාවලියට දිනත් වෙන් කළා. ඒකත් නතර කළා. ඒකයි මම කියන්නේ අතුරැ කමිටුවල ඉඳලා දැන් මේ ක්‍රිකට් එක හදන්න බෑ. අපි පත්ව තිබෙන තත්ත්වයට මුළුමනින්ම ක්‍රිකට් ආයතනය විසුරුවා හැරලා අමුතුවෙන්ම පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ නව ආයතනයක් හැටියටම. සේවකයන් පවා වෙනස් කරන්න ඕනේ.

මට දැන් පේන විදියට ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන, රොෂාන් මහානාම වගේ වයසිනුත් අඩු කෙනෙකුට ක්‍රිකට් ආයතනයේ මුල් තැන දීලා අලුත් ව්‍යවස්ථාවක් අනුව ක්‍රිකට් එක අලුතෙන්ම පටන්ගන්න ඕනේ. නැත්තන් අපි තව ටික දවසකින් ඇෆ්ඝනිස්තානයටත් පරදිනවා. මම කිව්වා මීට අවුරුදු පහකට දහකට පෙර බංග්ලාදේශයට අපි ළඟදීම පරදිනවා කියලා ඒක වුණා. මම නැවත කියන්නම් වෙනසක් උණේ නැත්නම් ඇෆ්ඝනිස්තානෙත් ගහනවා.

 

සංවාද සටහන: යොහාන් භාසුර
සේයාරුව – සමන්ත විල්තෙර

more recommended stories