හැමදේටම ඉස්පිරිතාලෙට දුවන්නට කලින් අපෙ අත්තම්මාලාගෙන් වෙදකම් ඉගෙන ගමු..!

කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියන්ද සමග රජයේ සහ පෞද්ගලික රෝහල්වල පෙළ ගැසී සිටින ජන සංඛ්‍යාව බලන විට විටෙක අප කෙතරම් නිරෝගී ජාතියක්දැයි සැක පහළ වනු නො වැළැක්විය හැක.

මඳක් ළංවී මෙලෙස පෝලිම්වල පෙළ ගැසී සිටින අය සමග සාකච්ඡාකර බලන්න.

එසේ පැමිණ සිටින අයගෙන් සියයට පනහක්වත් මෙයට වසර පනහකට පමණ පෙර මෙබඳු රෝග තත්ත්වයනට තම නිවසේ දී ම ප්‍රතිකාරයක් ලබා ගන්නවා මිස මෙලෙස කාලය සහ මුදල් වැය කරමින් වෛද්‍යවරුන් හමු වීමට නො පැමිණෙන බව නම් පැහැදිලි ය.

වඩා සිත්ගන්නා සුලු කරුණ වන්නේ ඉතා සුළු රෝග තත්ත්වයන්ට පවා ප්‍රතිකාර සඳහා වෛද්‍ය විශේෂඥයන්ගේ සේවය ලබා ගැනීමට ඔවුන් පෙළ ගැසී සිටීම ය.

අපේ දැනුම වළ පල්ලට – ක්ෂණික ප්‍රතිකාර හිස් මුදුනට.

ගෘහස්ථ ප්‍රතිකාර හෙවත් අත් ඛෙහෙත් පිළිබඳව ශ්‍රීලාංකික අපට දීර්ඝ ඉතිහාසයක් ඇත. සිංහල රජ දවස ලෝකයේ ඉහළ ම වෛද්‍ය ක්‍රමයක් පිළිබඳව අපට ආඩම්බර විය හැකිව තිබිණ. මෙම සම්ප්‍රදායේ ම තවත් වැදගත් සාධකයක් වූයේ ජනතාව තුළ සෞඛ්‍යය සම්බන්ධව තිබූ ඉහළ දැනුම සහ අවබෝධයයි.

එම දැනුම පරපුරෙන් පරපුරට වෛද්‍ය සම්ප්‍රදායන් වශයෙන් මෙන් ම සාමාන්‍ය ජනතාව තුළ ගෘහ ප්‍රතිකාර වශයෙන් ද දියුණු වෙමින් වර්තමානය දක්වාම පවතී. මෙම ගෘහ ප්‍රතිකාර සහ අත් ඛෙහෙත් ක්‍රම ක්‍රමයෙන් අපගෙන් ඈත් වීමට පටන් ගෙන ඇත. ඒ අප අද අත්දකින වාණිජකරණ ප්‍රවණතාවන්හි ඍජු ප්‍රතිඵලයක් වශයෙනි. අද දුවන්නන් වාලේ දුවන සමාජයක අප කොටස්කරුවන් වී ඇත. අපට කාලය සමග තරගකාරී වීමට සිදුව ඇත.

එම නිසා ආහාර පරිභෝජනයේ දී ක්ෂණික ආහාර මතට ඇද දමන ලද අපගේ මානසිකත්වය, රෝග තත්ත්වයන්හි දී ද ක්ෂණික ප්‍රතිඵල මානසිකත්වයකට ඇද දමනු ලැබ ඇත. ගෘහ ප්‍රතිකාර සහ අත් ඛෙහෙත් කාලය විසින් ප්‍රතිඵල තහවුරු කරන ලද ඒවාය. අත්තම්මාගෙන් සහ අම්මාගෙන් උගත් ප්‍රතිකාර ළදරුවන්ට පවා ලබා දීමට වර්තමානයේ පවා මව්වරුන් දෙවරක් සිතන්නේ නැත. ඒ පාරම්පරික ඥානය කෙරේ ඇති විශ්වාසය නිසා ය.

උණ ද? සෙම්ප්‍රරතිශ්‍යාව ද? මෙන්න ගන්න කොත්තමල්ලි.

ළදරුවාට යාන්තම් කිඹුහුමක් ගිය විටක හෝ සෙම්ප්‍රතිශ්‍යාවක ලකුණු පෙන්වන විට පළමුවෙන් සිහියට එන්නේ කොත්තමල්ලි වතුර ය. එය කොතරම් සරල ද කිවහොත් මවකට කරන්නට ඇත්තේ ජලයට කොත්තමල්ලි ස්වල්පයක් දමා උතුරවා ගැනීම පමණි. එලෙස උතුරවා නිවාගත් කොත්තමල්ලි වතුර තේ හැන්දක් බැගින් පැය කීපයකට වරක් දීම තුළින් ළදරුවාට සුවය ලැබේ.

කොත්තමල්ලි දිව ඔසුවක් විය. වැඩිහිටි අයෙකුට උණු කර ගත් කොත්තමල්ලි උණු උණුවේ ම දෙනු ලැබේ. සෙම්ප්‍රතිශ්‍යාව සමග මඳ උණ ගතියක් ද තිබේ නම් කරනු ලැබුවේ භාජනයකට කොත්තමල්ලි සහ දෙහි කොළ කීපයක් දමා තම්බා එම වාෂ්පය මුහුණට අල්ලමින් ආශ්වාස කිරීම ය. වාෂ්පය බැහැර යා නො දී රෙදි කඩකින් ආවරණය කරගෙන මෙලෙස විනාඩි කීපයක් ගත කිරීමෙන් මුළු ගත ම දහදිය ගලන අතර බලා සිටිය දී ම උණ බැස යයි. කැස්ස ගතියක් ද තිබේ නම් නිතර උණු වතුර බීම, උණු වතුරෙන් මුහුණ සේදීම සහ ඇතැම් සිසිල් ආහාර නො ගැනීම පිළිගත් ප්‍රතිකාර ක්‍රරමයන් ය. උගුරේ ආසාදන තත්ත්වයක් තිබේ නම් ලූණු මිශ්‍ර උණු වතුරෙන් උගුර සේදීම, ගම්මිරිස් කුඩු යාන්තමට තවරා ගත් දෙහි ලෙල්ලකින් උගුර මෘදු ලෙස පිරිමදිමින් සෙම ඉවත් කිරීම පොදුවේ දක්නට තිබුණ ප්‍රතිකාර විධි ය.

උදරබාධ, වමනය, පාචනය මැඩලන දේශීය දැනුම.

උදරාබාධ අප අතර ප්‍රචලිත රෝග තත්ත්වයකි. බඩේ කැක්කුම, පාචනය ඉන් ප්‍රධාන ය. උදරයේ යම් අපහසුකමක් වේදනාවක් දැනුණ විට ඉගුරු කොටා ඉස්ම ගෙන දෙහි යුෂ සමග මිශ්‍ර කොට ජලය එක් නො කර පානය කිරීම අත්දුටු ප්‍රතිකර්මයක් විය. පාචනය හෙවත් බඩ බුරුලෙන් යාමට හොඳ ම ප්‍රතිකර්මය වූයේ උපවාස කිරීම ය.

එනම් කිසිදු ආහාරයක් නො ගෙන සිටීම ය. එලෙස සිට ඝන ආහාර වෙනුවට ලූණු කැඳ (සහල් ජලය සමග තම්බා ලබා ගන්නා දියරයට ලූණු ස්වල්පයක් එකතු කර ලබා ගත් පානය) දීමෙන් යළි ක‍්‍රම ක්‍රමයෙන් උදරය යථා තත්ත්වයට පත් කර ගැනීම අප ගැමියන්ගේ අත් දුටු ප්‍රතිකාර ක්‍රමයකි.

උදරාබාධ සියල්ලේ දී ම පිළිගත් ප්‍රතිකාර ක්‍රමය වූයේ ඝන ආහාර නො දීම ය. උදරය සුවපත් වීම සඳහා තැම්බුම් හොද්දක් (කරපිංචා, සුදු ලූනු, සියඹලා, කුරුඳු, සූදුරු, ගම්මිරිස් පදමට දමා තම්බාගත් හොද්ද) දීම කාලාන්තරයක් තිස්සේ අත් දකින ලද නො වරදින ප්‍රතිකාරයකි. දෙළුම් කෑමට දීම පාචනය හෙවත් බඩ බුරුලෙන් යාම පාලනය කිරීමට පිළිගත් ප්‍රතිකාරයකි. දෙළුම් යුෂ සහ මී පැණි එක්කොට පානය කිරීමට සැලැස්වීමෙන් වමනය වළක්වා ගනු ලැබී ය. බඩ වියළීම, එනම් මළ පහ කිරීමේ අපහසුව නිතර දක්නට ලැඛෙන තවත් රෝග තත්ත්වයකි. ඛෙලි අනුභව කිරීම මේ සඳහා ඉතා ඵලදායී ප්‍රතිකාරයකි. එමෙන් ම කෙසෙල් සහ ගස් ලබු ද බඩ වියළීම වළක්වන පලතුරු ය. පාචනය නිසා විජලනය වීම වළක්වා ගනු ලැබුවේ තැඹිලි පානය කිරීමෙනි. ඛෙලි කොළ සහ රණවරා කොළ තම්බා පානය කිරීම උදරය සුවපත් කර ගැනීමේ තවත් ගෘහ ප්‍රතිකාරයක් විය.

ඒ ඒ තැන්වල ඒ ඒ වෙදකම.

බඬේ අමාරුවලට ඒ ඒ අවස්ථාවල ගෘහිණියන් කරන ලද ප්‍රතිකාරවල විවිධත්වය දෙස බලන විට පෙනී යන්නේ ඔවුනට තිබු දැනුම් සහ අත්දැකීම් සම්භාරයේ සරු බවය. ඇහැළ පොතු දෙහි ඇඹුලෙන් ගලගා දීම, තොටිල්ල පොතු හෝ සාදික්කා හෝ දෙහි ඇඹුලෙන් ගලගා දීම, තද තේ කහටවලට දෙහි ඇඹුල් සහ ලූණු ස්වල්පයක් එක් කොට බීමට දීම ආදි වශයෙන් තම ප්‍රදේශයට උචිත පරිදි සහ අවස්ථාවේ සොයා ගත හැකි ඖෂධ අනුව අත් ඛෙහෙත් සකසා ගැනීම ඔවුනට එතරම් අපහසු කාර්යයක් නො වී ය.

නොමිලේ ඛෙහෙත් කරන ගෙදර ඖෂධාලය.

ගෘහ ප්‍රතිකාර සහ අත් ඛෙහෙත්වල වැදගත් ම සාධකය වූයේ ඒවාට වියදමක් නො යාම ය. එයට හේතුව වූයේ ඒ සඳහා භාවිත කළ සියලූ ම දේ අවට පරිසරයෙන් සොයා ගත් ඒවා වීම ය. අවට පරිසරය යනුවෙන් මෙහිදී වඩාත් ම හඳුනාගන්නේ ගෙවත්ත ය. එමෙන් ම නිවසේ මුළුතැන්ගෙය ය.

හෙළ ජනතාවගේ ආහාරය ඖෂධයක් බව පෙර කලාපයක දී සඳහන් කළෙමි. මෙම ඖෂධාගාරයේ බහුතරය ලැඛෙන්නේ අවට පරිසරයෙනි. ගෙවත්තක් ගෙන බලමු. එහි පලතුරු වර්ග කීපයක්, එළවළු සහ පලා වර්ග කීපයක් අනිවාර්යයෙන් ම තිබිණ.

ඖෂධ සඳහා පමණක් භාවිත කළ ඇතැම් පැළෑටි ද එහි දක්නට ලැබිණ. මේ අනුව සාමාන්‍ය රෝග තත්ත්වයක් යටතේ ගෘහ මට්ටමේ ප්‍රතිකාරයකට අවශ්‍ය ඛෙහෙත් පැළෑටි ගෙවත්තේ තිබුණි.

කොළවල ඇති ඔසු ගුණයෙන් වැඩ ගැනීම.

ගොටුකොළ ගෙවත්තේ හෝ කුඹුරේ නියරවල අනිවාර්ය පැළෑටියක් විය. වර්තමානයේ මහා පරිමාණ වශයෙන් වගා කරන ගොටුකොළවලට වඩා මෙම ඛෙහෙත් ගොටුකොළ’ රසයෙන් සහ ගුණයෙන් වැඩි ය. පීනස් ස්වභාවය දක්නට ලැඛෙන අයට උදැසන ම ගොටුකොළ යුෂ කෝප්පයකින් එම තත්ත්වය සමනය කර ගත හැකි විය. ඇතැම් විට ඊට රතු ලූනු යම් ප්‍රමාණයක් එක් කර ගැනීමට ද ඔවුහු පුරුදු වූහ. කුඩා දරුවන්ගේ මෙන් ම වැඩිහිටියන්ගේ ද පණු අමාරුවලට ගොටුකොළ මුල් සහ දඬු තම්බා දීම සාමාන්‍ය ප්‍රතිකර්මයකි.

ගොටුකොළ, වැල්පෙනෙල, මුකුණුවැන්න සහ අනෙකුත් පලා වර්ග යොදා ගෙන සාදන කොළ කැඳ උදැසන ආහාරයට ගන්නා කදිම ඔසුවකි. රෝග බොහොමයක් වළක්වා ගත හැකි ඖෂධීය ගුණයක් කොළ කැඳවල විය.

ලෙඩ ගොඩ වන්නට ඉඩ නො දුන් වෙදකමක හැඩ.

ගෘහ ප්‍රතිකාර සහ අත් ඛෙහෙත් අවශ්‍ය වන්නේ කරුණු කීපයක් සපුරා ගැනීමට ය. රෝග තත්ත්වයක් මතු වන විට ම එය මර්දනය කර ගැනීම, රෝග වළක්වා ගැනීම, රෝගයට වැඩිදුර ප්‍රතිකාර කිරීමට යාමට පෙර ප්‍රථමාධාරයක් කිරීම ඉන් ප්‍රධාන ය. එමෙන් ම නිවසේ දී සහ ගෙවත්තේ දී සිදු වන හදිසි අනතුරුවලට කළ යුතු හදිසි ප්‍රතිකාර ද ඉන් වැදගත් කරුණකි. පිළිස්සීම්වල දී පවා පිළිස්සුන තුවාලයේ බරපතළකම අනුව වෛද්‍යවරයකු වෙත යා යුතු ද, නිවසේ ප්‍රතිකාර කර ගත හැකි ද යන්න ගැන හොඳ අවබෝධයක් ඔවුනට විය.

ඒ අනුව ගෘහ ප්‍රතිකාරයන් ලෙස කරන ලද පහත සඳහන් ඒවා බලන්න. කෝමාරිකා යුෂය තුවාලය මත තැවරීම, දිය ලබු සහ අළුපුහුල් කොළ සහ මද අඹරා තැවරීම, අළුපුහුල් කොළ ගලේ අඹරා ගෑම, නිල් කටරොලූ මල් සහ දලූ ගලේ අඹරා ගෑම, හා ඛෙටි සහ තල තෙල් අඹරා ගෑම ඔවුහු සිදු කළහ.

අවස්ථාවට අනුව භාවිත කිරීම සඳහා ප්‍රතිකාර විකල්ප කොපමණ ප්‍රමාණයක් ඔවුනට වී ද?

පිළිස්සුන තුවාල සුව වු පසු එතැන සම රත් පැහැ ගැන්වී කැළැල් ඉතිරි වීම අපරදිග වෙදකමෙහි ලක්ෂණයකි. එහෙත් හෙළ ගෘහ ප්‍රතිකාරවල දී මෙලෙස කැළැල් ඉතිරි නො වීම විශේෂත්වයක් විය.

බටහිරින් අපට එන අත්තම්මාගේ දැනුම

මේ අන්දමට අපට එදිනෙදා මුහුණ දීමට සිදුවන කුමන හෝ තත්ත්වයනට ගැළපෙන ප්‍රතිකාර විධි සම්ප්‍රදායික දැනුම් සම්භාරය තුළ විය. මෙම දැනුම එන්න එන්න ම පිරිහෙමින් පවතින්නේ බටහිර වාණිජකරණය හේතු කොට ගෙන බටහිර සියල්ල අපගේ දේශීයත්වයට වඩා ඉහළ යයි සිතන, අප විසින් ම සාදා ගත් වහල් මානසිකත්වය නිසා ය. එහෙත් අප විසින් අමතක කර දමා ඇති එක් සත්‍යයක් ඇත. බටහිර වෛද්‍ය විද්‍යා දැනුම වර්ධනය කරගෙන ඇත්තේ අපගේ දේශීය දැනුම පැහැරගෙන ගොස් බව ඒ සත්‍යයයි. අපගේ අත්තම්මලා විසින් රැකගෙන ආ දැනුම ඔවුන් විසින් සූක්ෂම ලෙස රැගෙන ගොස් යළි වාණිජ නිෂ්පාදන වශයෙන් අපට ලැබේ. උදාහරණ ඕනෑ තරම් ඇත. කොතල හිඹුටු අපගේ ගෘහ වෙදකමේ අංගයකි. එහෙත් එහි නිෂ්පාදන අයිතිය ඇත්තේ විදේශ සමාගම්වලට ය.

මේ අත්දුටු ප්‍රතිඵල සහිත ප්‍රතිකාර ක්‍රමයක් වුව ද, අද දින මෙවැනි සුළු ආබාධයන් සඳහා පවා අප කෙතරම් ඖෂධ භාවිත කරනවා ද? අධික වියදමක් යනවාට අමතරව එම ඖෂධවලින් ඇති අතුරු ආබාධ සඳහා ද නිතිපතා ම ප්‍රතිකාර කිරීමට සිදුව තිඛෙනවා නො වේ ද? එලෙස ඖෂධ භාවිත කිරීමට ඔබව පොළඹවන වෙළඳ දැන්වීම් කොපමණක් දිනපතා ම මාධ්‍යවලින් ප්‍රචාරණය වන්නේ ද?

බටහිරට ගැති නො වෙමු – අපේ දේ රැක ගනිමු.

අප කාලය සමග වෙනස් විය යුතු බව සත්‍යයකි. නවීන දැනුමට අප විවෘත විය යුතු ය. එහෙත් එම නවීන දැනුම විසින් අපගේ අගනා දැනුම් සම්භාරය අතුගා දැමීමේ තත්ත්වයකට පත් වීම අප විසින් මෙයට වඩා සැලකිල්ලට ගත යුතු නො වේ ද? නවීන කෘෂිකර්මයේ මුවාවෙන් අපගේ සම්ප්‍රරදායික ගොවිතැන අත හැරීමේ ප්‍රතිඵල අපි අද විඳිමින් සිටිමු. නවීන විද්‍යාව සියල්ලට ම අවසාන පිළිතුර නොවන බව අපට තාමත් වැටහී නැත. නවීන විද්‍යාවේ ගැටලූ විසඳා ගැනීමට සම්ප‍්‍රදායික දැනුම සොයා යාමට බටහිර විද්‍යාඥයන් පෙළඹී ඇත. එහෙත් අපට අපගේ එම අගනා දැනුම් සම්භාරයේ වටිනාකම ගැන අවබෝධයක් නැත. ඔබගේ වැඩිහිටියන් සතුව තිබු එම වටිනා දැනුම් සම්භාරය රැක අනාගත පරපුරට උරුම කිරීමේ වගකීමක් ඔබට ද ඇත.

මේ ඔබට සිතන්නට කාලයයි. මේ වටිනා කරුණු මිතුරන්ටත් දැනගන්න Share කරන්න.

(සටහන – හැපී ග්‍රීන්ස් සංවිධානයේ ගරු සභාපති කේ. ඒ. ජෙ. කහඳව)

Facebook Comments

more recommended stories

%d bloggers like this: