අපේ රටේ අවසන් රජු ඉංග්‍රීසීන්ට අසුවූ තැන දැන් තියෙන විදිහ. (PHOTO)

ඒ 1815 පෙබරවාරි 18 වැනිදාය. ඒ දිනය ලක් ඉතිහාසයට එක්වී ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජකම් කළ අන්තිම දිනය මෙන්ම රජකම නැතිවූ ප්‍රථම දිනය ලෙසින්ය. විජය රජතුමාගෙන් ඇරඹි ලංකා රාජ වංශය නැතිවී ගිය දිනය ලෙසින්ද හැඳින්විය හැකිය. ලක්වාසීනට මෙය අමතක කළ හැකි දිනයක් නොවේ.

අවසන්වරට රජකම් කළ දිනයේ රාජසිංහ රජතුමා දේවීන් දෙදෙනකු සමඟ ලැගුම්ගෙන සිටියේ මැද මහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ හුදෙකලා ස්ථානයක පිහිටා තිබූ ආරච්චිගේ නිවසේය. ආරච්චි හා ඔහුගේ පවුලේ උදවිය රාජසිංහ රජතුමාටත් දේවීන් දෙදෙනාටත් කෑම බීම ලබා දෙමින් සංග්‍රහ කළේ ගෞරවාදරයෙනි. රජතුමා එහි සිටියදී රජුට හිතෛශී කිහිප දෙනෙක් රජු සතු විශේෂ රාජකීය භාණ්ඩ පොද්දල්ගොඩ ගමේ ගල්ලෙනක තබාගෙන ආරක්ෂා කරමින් සිටියහ. රජකම හා බැඳී තිබූ එම රාජකීය වස්තුව කෙරෙහි රජතුමා ද සුපරීක්ෂාකාරීව පසු වූයේය.

රජතුමා අල්ලාගත් බෝමුරේ වෙල්යාය .
රජතුමා අල්ලන මෙහෙයුමේ මහ මොළකාරයා වූ ජෝන් ඩොයිලි එදින සිටියේ තෙල්දෙණියේ රජතුමා සතුවූ ධාන්‍යාගාරයේය. එහි සිට රජතුමා අල්ලා ගැනීමේ මෙහෙයුම් සංවිධානය කළේ යුහුසුලුවමය.

ඉංග්‍රීසීන්ගේ සේනාංකයකින් වෙන්ව එක්නැළිගොඩ මොහොට්ටාල ඇතුළු පිරිසක් බෝමුරේ දෙසට ඇදෙමින් සිටියේ සවස 4.00ට පමණය. ඒ ලැබුණු ආරංචියක් අනුවය. ලැබුණු ආරංචියේ තොරතුරු නිවරැදි වී තිබිණ. ආරංචියෙන් කියැවුණු නිවෙස ඉදිරිපිට එක්නැළිගොඩ මොහොට්ටාල දන්නා හඳුනන සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් හෙල්ලක් අතැතිව සිටියේය. ඇතිවූ කථා බහත් සමඟම සැතපෙනගෙයි අප්පුහාමි හෙල්ලෙන් එක්නැළිගොඩට දමා ගැසීය. එම පහර එක්නැළිගොඩට නොවැදුණේ එක්නැළිගොඩට ඉංග්‍රීසීන්ට සේවය කරන්නට තරම් විශාල වාසනාවක් තිබූ නිසා විය යුතුය.
එක්නැළිගොඩගේ පිරිසෙන් කිහිප දෙනෙකු අප්පුහාමිට හොඳ හැටි ගුටි ඇණ තලා පෙළා දැමූයේ කිසිදු අනුකම්පාවකින් තොරවය. ඇතැම්විට අප්පුහාමි මරා දැමුවාද විය හැකිය.

දොර අරින ලෙස ඉල්ලා සිටියත් නිවස තුළ සිටි පිරිස දොර ඇරියේ නැත. එක්නැළිගොඩගේ අණින් කීප දෙනෙක් වංගෙඩියක් ගෙන දොරට ගැසූවිට දොර කැඩී ඇරී ගියේය. නිවස තුළට වැදුණු පිරිස රජතුමාටත් බිසවුන් දෙදෙනාටත් නොයෙක් හිංසා පීඩාදිය කරන්නට වූහ. ඉංග්‍රීසීන්ගේ භාෂා පරිවර්තකයෙක් වූ ඩයස් බණ්ඩාරනායක මුදලිවරයා හිංසා කරන අයුරු දැක කම්පාවට පත් වූයේය. හැකි අයුරින් හිංසා පීඩා කරන්නන්ගෙන් රජතුමා හා බිසවුන් වහන්සේලා ආරක්ෂා කර ගන්නට උත්සාහ දැරීය. එක්නැළිගොඩ ඇතුළු පිරිස රජතුමාට කරන හිංසා පීඩා වළක්වාගැනීමට ඔහුට නොහැකි විය.

රජතුමා හා බිසවුන් වහන්සේලා අල්ලාගත් බවත් ඔවුනට එක්නැළිගොඩ හා පිරිස හිංසා පීඩා කරන බවත් ඒ නිසා වහා හේවා කණ්ඩායමක් එවන ලෙසත් දන්වමින් ඩයස් බණ්ඩාරනායක මුදලිවරයා ජෝන් ඩොයිලිට ලියුමක් ඇරියේය. එක්නැළිගොඩ අනෙක් අය සමඟ එක්ව රජතුමාගේ අත්, වැල්වලින් බැඳ වෙලේ පහළට කැටුව යන්නට විය. රජතුමා ඇවිදගෙන යන්නට බෑ කියූ විට බිම දිගේ ඇදගෙන ගියේය. එක්නැළිගොඩ හා පිරිස රජතුමා කෙරෙහි වූ වෛරය හා තරහ පිරිමසා ගත්තේ ඔහුට හිරිහැර කිරීමෙනි. ඇදගෙන ගිය රජතුමා වෙලේ පහළ කුඩා පිටියකට පෙරළා දැමීය. දෑත් බැඳ බිම දමා තිබෙන විට රජතුමාට මර බිය පවා දැනෙන්ට ඇතැයි සිතිය හැකිය. සිංහාසනාරූඪව සිටිය දී තමනට මෙවන් ඉරණමකට මුහුණ දෙන්නට සිදුවෙනු ඇති බව කිසිදා නොසිතන්නට ඇත.
හසුන් පත ලැබුණු විගසින්ම හේවා කණ්ඩායමක් පිටත්කර හැරීමට ඩොයිලි පියවර ගත්තේය. අසුන් පිට නැඟී පැමිණි එම හේවායෝ රජතුමා බිම පෙරළා දමා තිබුණු තැනට පැමිණ තම භාරයට ගන්නට පියවර ගත්හ. එක්නැළිගොඩ ඇතුළු පිරිසට බැණ වැදී ඔවුන් එතනින් මඳක් ඈත්කර තැබීමට ද පියවර ගත්හ. ඉංග්‍රීසීන් සමඟ පැමිණි අයෙක් රජතුමාගේ බැඳ තිබූ දෑත්වල බැමි ලිහා දැමීය.

රජතුමා හා බිසවුන් වහන්සේලා දෙන්නා එතැන් සිට රැගෙන ගියේ දෝලාවකිනි. රජතුමෙක් ලෙස දෝලාවක නැඟගෙන බෝමුරේට පැමිණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හිටපු රජෙක් ලෙසින් සිරකරුවකු වශයෙන් දෝලාවක නැඟී බෝමුරෙන් පිටත් වන්නට සිදුවිය.

සිරභාරයට පත් ඔවුන් රැගෙන ගියේ ඩොයිලි නැවතී සිටි තෙල්දෙණියේ ධාන්‍යාගාරයටය. සිරකරුවකු ලෙස රජතුමා පළමු රැය ගෙවා දැම්මේ තමාටම අයිතිව තිබූ තෙල්දෙණියේ ධාන්‍යාගාරයේය.

රජතුමා අල්ලාගෙන මෙම පෙරබරවාරි 18 වැනිදාට වසර 202ක් සපිරේ. රජතුමා අල්ලාගත් ස්ථානයේත් ඔහු රැගෙන ගිය මාර්ගයේත් ඔහු සිරභාරයේ රඳවා තැබූ තෙල්දෙණියේත් අද තත්ත්වය කෙබඳු වන්නේද?

මහනුවර සිට මහියංගණය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 31ක දුරක් ගමන් කළ විට මොරගහමුල පෙදෙස හමුවෙයි. මොරගහමුල සිට නිතුල්ගහරාව හරහා ගමන් කළ විට බෝමුරේ බෝධිඅංගනාරාම විහාරස්ථානය හමුවෙයි. එතැන් සිට වෙල්යායෙන් ඉහළට ගමන් කළ විට බෝමුරේ උඩුපිටිය දැක ගන්නට ලැබෙයි.

රජතුමා අල්ලා ගැනීමෙන් පසු බෝමුරේ උඩුපිටිය පෙදෙසේ පිහිටා තිබූ ආරච්චිගේ නිවෙස ගිනි තබා විනාශ කළ බව ජනප්‍රවාදයක සඳහන් වෙයි. තවත් ජනප්‍රවාදයකින් කියැවෙන්නේ පාළුවට ගිය නිවෙස කාලයාගේ ඇවෑමෙන් විනාශවී ගිය බවකි. 1900 පමණ වන විට නිවෙස තිබූ ස්ථානයේ සියඹලා ගස් කිහිපයක් ඇර වෙනත් දෙයක් තිබී නැත. 1906 සිට 1910 දක්වා මහනුවර මහ දිසාපති ලෙස ක්‍රියා කර ඇත්තේ ජෝන් පෙන්රි ලුවීය. ඔහු 1908දී උඩුපිටියේ ආරච්චිගේ නිවෙස තිබූ ස්ථානයේ ශිලාමය ස්ථම්භයක් පිහිටුවීමට පියවර ගත්තේය. එම ශිලා ස්ථම්භය මේ මොහොතේද දක්නට ලැබෙයි.

 

අල්ලාගත් දිනය ශිලාමය ස්ථම්භයේ සඳහන්ව ඇති අයුරු
දෑත් බැඳ රජතුමා පහළට කැටුව හා ඇදගෙන විත් ඇත්තේ බෝමුරේ වෙල්යායක් මැදිනි. එම වෙල්යායේ අද දිනයේ ද වී වගාව දක්නට ලැබෙයි. රජතුමා පහළට රැගෙනවිත් බිම පෙරළා දමා තිබී ඇත්තේ වෙල්යායේ පහළ කොටසේ විය යුතුය. භූමියේ පිහිටීම අනුවත් වෙලේ පහළ පෙදෙසේ සිට මොරගහමුල පෙදෙස දෙසට වැටී තිබෙන මාර්ග අනුවත් සිතිය හැක්කේ රජතුමා වෙලේ පහළ පෙදෙසේ පෙරළා දමා සිටි බවය.

බෝමුරේ වෙලේ පහළ ස්ථානයේ සිට තෙල්දෙණිය දක්වා රජතුමා දෝලාවෙන් රැගෙන ගිය මාර්ගය පිළිබඳ මේ මොහොත වනතෙක් කිසිවෙක් නිශ්චිත තොරතුරක් එළිකර නැත. එහෙත් ඩොයිලිගේ දිනපොතේ සටහනකින් රජතුමා රැගෙන ගිය මාර්ගය පිළිබඳ වැදගත් තොරතුරක් එළිකර ගත හැකි විය. 1816 සිට 1820 තෙක් තොරතුරු ඇතුළත් ලේඛන කීපයකින්ද පැරණි මාර්ගයේ තොරතුරු එළි කර ගත හැකි විය.
නිතුල්ගහරාව, මොරගහමුල හරහා ගමන් කළ විට ගල්මල්ඔය හමුවී ඇත. ගල්මල්ඔයෙන් එතෙරවී අඩි පාරක් ඔස්සේ වෑගල ගම හරහා රඹුක්වැල්ලට පැමිණ ඇත. රඹුක්වැල්ල විහාරස්ථානය අසලින් පහළට දිවෙන අඩි පාරකින් හුළුගඟේ ඉවුරක පිහිටි තොටට පැමිණ, වැල්ලේතොටින් හුළු ගඟින් එතෙරවී තෙල්දෙණියේ ධාන්‍යාගාරයට පැමිණ ඇත.

ජෝන් ඩොයිලිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් බිසවුන් වහන්සේලා දෙදෙනාත් ප්‍රථම වතාවට හමුවී ඇත්තේ රඹුක්වැල්ල විහාරස්ථානය අසලදීය. එම විහාරස්ථානය එකළ ද තිබී ඇත.

ධාන්‍යාගාරය පිහිටා තිබූ තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයෙන් යටවී ඇති අයුරු. ජල මට්ටම අඩු හෙයින් තෙල්දෙණියේ කොටසක් මතුවී ඇත.
තෙල්දෙණියේ රජතුමා රඳවා තිබූ ධාන්‍යාගාරය තිබූ පෙදෙස වික්ටෝරියා ජලාශයේ ජලයෙන් වැසී ගියේ 1985 දීය. එහෙත් වත්මනෙහි වික්ටෝරියා ජලාශයේ ජලය අඩුවී ගොස් තිබෙන බැවින් තෙල්දෙණියේ කොටසක් මතුවී තිබෙන අයුරු දක්නට ලැබෙයි. එදා බෝමුරේ සිට වෑගල, රඹුක්වැල්ල ගම් හරහා තෙල්දෙණියට රජතුමා රැගෙන ගිය මාර්ගය දුර ප්‍රමාණය කිලෝ මීටර් 10ක් පමණ වෙයි.

උපුටාගැනීම : ලංකාදීප පුවත්පත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: