ඇලෝසියස්‌ගෙන් උපදෙස් අරන් විගණකාධිපති එලවන්න හදලා – හඬපට සියල්ල මාට්ටු..! (VIDEO)

බැඳුම්කර ගනුදෙනුව ගැන කෝප් පරීක්‍ෂණ කරද්දී අර්ජුන ඇලෝසියස්‌ මහතා සමඟ මන්ත්‍රීවරුන් කළ දුරකථන සංවාදවලට අදාළ හඬපට පාර්ලිමේන්තුවට ගෙන්වා ගන්නා ලෙස කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (17 දා) කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමඟ දුරකථනයෙන් කතා කළ බවට බැඳුම්කර කොමිසමේදී හෙළි කළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ ගැන අදහස්‌ පළ කළ පසු හඳුන්නෙත්ති මහතා මෙම ඉල්ලීම කළේය.

සී. බී. රත්නායක මහතා – සභා ගර්භයේ සිටින මන්ත්‍රීවරුන් කෝප් වාර්තාව ලබාදෙන්න කලින් ඇලෝසියස්‌ ප්‍රශ්නය පිළිබඳ ගනුදෙනු කළා. මේ ගැන අද මාධ්‍යවලත් ඒ අයගේ නම් සඳහන් කර තිබෙනවා. ඔබතුමා මේ ගැන විශේෂ සභාවක්‌ මගින් පරීක්‍ෂණයක්‌ කරන්න.

කථානායක – මම අවධානය යොමුකරන්නම්.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – මේක කොමිසමක සාක්‌කියක්‌. ඒ ගැන පාර්ලිමේන්තුවේ අදහස ප්‍රකාශ කරන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුවට බලයක්‌ නෑ තීන්දු දෙන්න.

පුත්තලම දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) හෙක්‌ටර් අප්පුහාමි මහතා – මම තවමත් අධ්‍යයනය කරනවා කෝප් කමිටුවේ ඉඳිමින් ඒ කමිටුවට එන ආයතනවල ප්‍රශ්න හා විගණකාධිපතිවරයා පිළිබඳ. අපි අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට කතා කළා කියලා විශාල මඩ ප්‍රචාරයක්‌

මාධ්‍යවල පළවෙලා. මේක මඩ ප්‍රචාරයක්‌. කිසිම ව්‍යාපාරිකයෙක්‌ එක්‌ක අපි කතා කරලා නෑ. හැබැයි ඕනෑම ව්‍යාපාරිකයෙක්‌, මිනීමරුවෙක්‌ එක්‌ක කතා කරන්න අපි බයත් නෑ. අපි ඒ අයගෙන් කන්නෙ බොන්නෙ නෑ. එනිසා ඕනෑම පරීක්‍ෂණයක්‌ කරන්න කියා අභියෝග කරනවා. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් කමිටු පරීක්‍ෂණ කඩාකප්පල් කරන්න මම කටයුතු කරලා නෑ. අපි සියලුම දෙනා අත්සන් කරලයි කෝප් වාර්තාව යෑව්වේ. අර්ජුන් ඇලෝසියස්‌ සමඟ මම හෙටත් කතා කරන්නම්. මම පිරිසිදුයි.

බදුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජනිස) ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා – මමත් කෝප් සාමාජිකයෙක්‌. යම් මන්ත්‍රීවරයෙක්‌ කෝප් කමිටුවේ ඉන්නා ගමන් කතා කරලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.

හෙක්‌ටර් අප්පුහාමි මහතා – කෝප් කමිටුවේ කිසිම වාර්තාවක්‌ හෝ පරීක්‍ෂණයක්‌ ගැන හෝ අපි පිට කෙනෙක්‌ සමඟ කතා කරලා නෑ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා – කෝප් කමිටුවේ වැඩ කළ කෙනෙක්‌ සහ වැඩ කරන කෙනෙක්‌ විදිහට මම සී අයි ඩී එකට කියනවා මේ හැම මන්ත්‍රීවරයකුම කතා කළ හඬපට බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කරන්න කියලා.

සුනිල් හඳුන්නෙත්ති මහතා – ඔය බැඳුම්කර ගනුදෙනුව ගැන පාර්ලිමේන්තුවේ කතා කරද්දී අද ඔය කතා කරන කීදෙනෙක්‌ කිව්වද විගණකාධිපතිවරයාට බලතල නෑ විෂය දැනුමක්‌ නෑ. මේක කරන්න බෑ කියලා. කෝප් කමිටුවේදී කී දෙනෙක්‌ කිව්වාද විගණකාධිපතිට තේරෙන්නේ නැත්නම් යන්න කියා. බැලින්නම් මේ අය විගණකාධිපතිට තේරෙන්නේ නෑ කියලා උපදෙස්‌ අරන් තියෙන්නේ අර්ජුන් ඇලෝසියස්‌ගෙන්. ඕවා කතා කළේ මොනවාද කියා සියලු හඬ පට හැන්සාඩ් එකක්‌ ලෙස පාර්ලිමේන්තුවට සභාගත කරන්න කියා කොමිසමට කිව යුතුයි. බැඳුම්කර සිද්ධිය ගැන කෝප් පරීක්‍ෂණය කෙරෙද්දී එකී සාමාජික මන්ත්‍රීවරයෙක්‌ චෝදනා ලත් පුද්ගලයා සමඟ කතා කරනවා නම් ඒක සදාචාර විරෝධියි. අමාත්‍යාංශය, මහ බැංකු නිලධාරීන් සමඟ කතා කළ හැකියි. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ කියන්නේ මහ බැංකුව නොවේ. අර්ජුන් ඇලෝසියස්‌ කියන්නේ නිලධාරියෙක්‌ නොවේ. එවන් කුමන්ත්‍රණ තියෙද්දිත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ලැබීම ගෞරවයක්‌.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) හර්ෂන රාජකරුණා මහතා – අර්ජුන් ඇලෝසියස්‌ මගේ මිත්‍රයෙක්‌ තමයි. ඒත් ඒ යාළු මිත්‍රකම්වලට කෝප් කමිටුව ගාවාගෙන නෑ. මම පාර්ලිමේන්තුවට එන්නත් කලින් තමයි මේ බැඳුම්කර ජනාධිපති කොමිසම බිහිවුණේ. එනිසා ඇලෝසියස්‌ සමඟ මගේ පුද්ගලික සම්බන්ධකම් තිබුණත් කෝප් කමිටුවේ තොරතුරු දීලා නෑ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: