සම්බුද්ධ ශාසනයට දොස් නොකියන්න – මේ නරුම වැඩ කරන්නේ භික්ෂූන් නොවේ..!

ඇතැම් අවස්ථාවලදී සිදුකැරෙන අමන, තකතීරු, නීච, පාදඩ, පිළිකුල් සහගත ක්‍රියාවට ‘චීවරධාරීන්‘ සම්බන්ධ බවට චෝදනා එල්ල වේ. විවිධ තරාතිරම් වල පුද්ගලයන්, බොහෝ ජනමාධ්‍යයද ප්‍රකාශ කරන්නේ අසවල් ක්‍රියාව සිදුකර ඇත්තේ එක්තරා ‘චීවරධාරීන්‘ පිරිසක් බවයි. මේ හැඳින්වීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත, සම්බුද්ධ ශාසනයටත්, මහා සංඝ රත්නයටත් කරන නිගරුවකි.

‘චීවරධාරියා‘ යනු චීවරය දරා සිටින්නා ය. චිරාත් කාලයක් තිස්සේ රටේ නොනැසී පවතින මතය වන්නේ ‘චීවරය‘ දරන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් බවයි. එමෙන්ම සරල සිංහල භාෂා අරුතට අනුවද, ‘චීවරය‘ දරා සිටින්නා ‘චීවරධාරියා‘ වේ. ඊට ‘බුද්ධ‘ යන විශේෂන පදය එක් කළ විට ‘බුද්ධ චීවරය‘ වේ. එසේ නම්, සහ සුද්දෙන්ම ‘චීවරධාරියා‘ යනු බෞද්ධ භික්ෂූන් වහන්සේ මිස අන් කවරෙකු වත් නොවේ.

ආසන්නතම සිදුවීම වශයෙන් සැලකෙන මියන්මාර් ‘රෝහින්ග්‍යා‘ සරණාගතයන්ට කළ තුච්ඡ පිළිකුල් සහගත, තිරිසන් ක්‍රියාව සම්බන්ධයෙන්ද සමාජයේ බොහෝ පිරිස් ප්‍රකාශ කෙළේ මේ ‘අමන‘ ක්‍රියාව එක්තරා ‘චීවරධාරීන්‘ පිරිසක් (ඉහත දැක්වූ නියම අරුතට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්) විසින් සිදුකරන ලද්දක් බවයි. එමෙන්ම ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය, සමාජ ජාලා ද ගෙන හැර පෑවේ එක්තරා ‘චීවරධාරීන්‘ පිරිසක් කළ ශිෂ්ඨ ලෝකයට කිසිසේත්ම නොගැලපෙන අධම ක්‍රියාවක් ලෙසය. එහෙත් මෙය බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින කරන ලද්දක් නොවේ. කිසි සේත්ම උන් වහන්සේලා අතින් මෙවැනි නීච ක්‍රියාවක් සිදුවන්නේ ම නැත.

විනයධර, ධර්මධර, සුපේශල, ශික්ෂාගාමී, අතිපූජ්‍ය බෞද්ධ භික්ෂූන් වහන්සේලා මනුෂ්‍යයෙකුට තබා කුරා කුහුඹුවෙකුටවත් මෙවැන්නක් සිදු නොකරනවා සේම, එසේ කිරීමට සිහිනෙන්වත් නොසිතනුද ඇත. මන්ද උන් වහන්සේලා ලොව්තුරා අමා මහ ගෞතම බුදු රජාණන් වහන්සේගේ සැබෑ බුද්ධ පුත්‍රයණන්ලා වන හෙයිනි.

ගල්කිස්ස රැඳවුම් නිවස්නයේ සිටි පිරිස අතර වයස අවුරුදු 10 ට අඩු දරුවන් 16 දෙනෙකු සිට ඇත. එදින උදයේ එහි වැඩම කළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා (චීවරධාරීන්) නම් කිසිත් නොසොයා, නොබලා ඔහේ ආවාට ගියාට ඔවුන්ට අඩම්තේට්ටම් නොකරනු ඇත්තේ.., බුදුන් වහන්නේ දේශනා කළ කාලාම සූත්‍රය අනු දැන වදාළන හෙයිනි. ඔවුනට “ මුන් ත්‍රස්තවාදියෝ. දැන් වහාම ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනැ. මුන්ගේ ළමයි කොහොමද ඉස්කෝලේ යන්නේ,? ඇරපල්ල දොරවල්, නැත්නම් අපි කඩනවා..“ යි තර්ජනය කරන්නට තරම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා (චීවරධාරීන්) අපරිනත නොවේ.

ජනමාධ්‍ය වාර්තා කළ අයුරින් ඇත්ත වශයෙන්ම එහි වැඩම කෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා නම්, උන් වහන්සේලා ප්‍රථම කොට පෙර කී දරුවන්ගෙන් විමසනු ඇත්තේ “ දරුවෙනි, නුඹලා කුස පුරවාගෙනද ඉන්නේ..? “ යනුවෙනි. මන්ද උන් වහන්සේලා වැඩම කරන්නේ ද අප තථාගතයාණන් වහන්සේ වැඩම කළ මඟෙහිම වන බැවිනි.

දර්ගා නගරයේ මිනිස් ඝාතනය.

අප මඳක් ඈතට ගමන් කරමු බේරුවල දර්ගා නරගයේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාරය මතකයට ගනිමු. එහිදී ද පෙර සඳහන් කළ පරිද්දෙන් බොහෝ පිරිස්, බොහෝ ජනමාධ්‍ය ප්‍රකාශ කෙළේ ප්‍රධාන පෙළේ ‘චීවරධාරියෙකු‘ ඇතුළු චීවරධාරීන් පිරිසක් එහි ගොස් වෛරයේ ‘අබසරණ‘ වැපිරූ බවකි. එකී ගිනි ඇවිලීම නිසා මේ මහා නස්පැත්තිය සිදු වූ බවකි.

ජීවිත ගණනාවක් බිළිගන්නට, දේපොළ විශාල ප්‍රමාණයක් ගිනි බත් කරන්නට තරම් උසි ගැන්වෙන ප්‍රකෝපකාරී කතා පවත්වන්නට බෞද්ධ භික්ෂූන් වහන්සේලා (චීවරධාරීන්) කිසි දිනෙක ක්‍රියා කරන්නේ නැත. තමන් වහන්සේ ඝාතනය කොට ඇඟිලි කපා ගන්නට ආ අංගුලිමාලටත්, දරුණු මිනී මරුවෙකු වූ ආලවක යක්ෂයාටත්, උන්වහන්සේ ඇමැතුවේ මෘදු මොලොක් භාෂාවෙනි. තුන් ලෝකාග්‍ර වූ අමා මෑණී බුදු රාජාණන් වහන්සේ මඟ යන අප මහා සංඝරත්නය එවැනි ගිනි ඇවිලවීම් සිදු කරන්නේ නැත. උන් වහන්සේලා නිතර අර්ථයෙන් ධර්මයෙන් බණ දේශනා කරන්නේ මෛත්‍රී පෙරදැරිව දිවි ගෙවන ලෙසයි.

දණ්ඩපාතය සහ ළමා (සාමණේර) හිංසනය.

රුපියල් කෝටි 60 ක රජයේ මුදල් අවභාවිතා කරමින් සිල්රෙදි බෙදා දීම සිදුකරණු ලැබුවේ තනිකරම මහින්ද රාජපක්ෂට චන්ද ඩැහැ ගැනීමේ ව්‍යාපෘතියක් වශයෙනි. එකී වංචාවට වරදකරුවන් වූ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දෙපොළට අධිකරණයෙන් දඩ නියම කෙරුණි. එකී දඩ මුදල් ගෙවීමට යැයි කියා මුදල් එකතු කිරීමේ පිණ්ඩපාත (ලංකා ඊ නිව්ස් වලට අනුව දණ්ඩපාත) චාරිකාවක් සංවිධානය කෙරුණි. තනිකරම ඒ සඳහා යොදවා ගනු ලැබුවේ කුඩා සාමණේරයන් වහන්සේලා ය. බාල වයස්කාර දරුවන් පිණ්ඩ පාතය මුවාවෙන් මුදල් එකතු කිරීමට යොදා ගැනීම රටේ ළමා ආරක්ෂණ අධිකාරී පනතට සේම දණ්ඩ නීති සංග්‍රහයට අනුවද වැරදි ක්‍රියාවකි.

ගිනි කාෂ්ඨක අව්වේ ඇවිද්දවමින්, සිව් පසය වෙනුවට මුදල්ම ඉල්ලීමට පොළඹවා ලමින් සිදුකරන ලද මෙය බරපතල ළමා (සාමණේර) අපයෝජනයකි. මෙහිදී නම් ඉහත පිරිස්, ජනමාධ්‍ය ඍජු ලෙසම කියා සිටියේ අසවල් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් මෙය සංවිධානය කළ බවයි. මෙය සම්පූර්ණ අසත්‍යයකි. රටේ නීති රීති ගැන ලබා තිබෙන ණැන නුවනින් පොහොසත් අපේ භික්ෂූන් වහන්සේලා එවැන්නක් නම් කිසිදා සිදු නොකරනු ඇත.

අනෙක් කරුණ වන්නේ වංචාවට දූෂණයට එක හෙළාම එරෙහි උන් වහන්සේලා කොහේවත් යන වංචනිකයන් රකින්නට තම සාමණේරයෝ යොදවා ගනිත්ද..? යන්නයි.

පසුගියදා රජයේ මහජන මුදල් අවභාවිතා කරමින් ජනාධිපතිවරණයේදී එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් සිල් රෙදි බෙදා හැරීමක නිරත වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන අයට උසාවියෙන් අවුරුදු 3ක සිර දඬුවමක් සහ දඩ මුදලක් ගෙවීමට නියම වූ අතර එම මහජන මුදල් අවභාවිතා කල සොරුන්ගේ දඩ මුදල ගෙවීමට යැයි කියමින් භික්ෂූන්ට අකැප යැයි බුදු හාමුදුරුවන් පවා දේශනා කර ඇති “මුදල්” භික්ෂූන් වහන්සේලාට අකැප වස් කාලයේදී පිණ්ඩපාතයේදී ගොස් එකතුකිරීමට පොහොට්ටුවේ නායකයා ලෙස නොනිලව හිඳින හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ මුදල් වලින් තරුණයන් පිරිසක් හිස බූ ගා පිණ්ඩපාත චාරිකාවේ යැවීමට මෙම හොර නඩය ක්‍රියා කලහ.

ඉහත සඳහන් කළ ප්‍රධාන සිදුවීම් කිහිපයක් හැරුණු කළ තත් බොහෝ සිද්ධීන් ගණනාවකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා (චීවරධාරීන්) සම්බන්ධ බවට නිතර නිතර චෝදනා කරනු ඇසේ. ඒවා කිහිපයක් කෙටියෙන් සඳහන් කළහොත්, මව් ඇතින්න මරා ඇගේ පැටවා පැහැරගෙන ආරාම වලට ගෙනැවිත් දම්වැල් දමා බැඳගෙන සත්ව හිංසනය සිදුකිරීම, තමන්ගේ මව් පියන් සිහි කිරීමට මහජනතාවගේ මුදල් කෝටි 9 ක් වැය කර ස්මාරක තැනූ හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමට ගෙන ආ විට ඊට එරෙහිව කොමිසම ඉදිරියේ යකා නැටීම, පුද්ගලයන් අතුරුදහන් කිරීමට එරෙහිව වන නීති ඇතුළත් පාර්ලිමේන්තුවට ගෙන ආ පනතට එරෙහිවීම හෙවත් අතුරුදහන් කරවීමට පක්ෂපාතී වීම, විශ්ව විද්‍යාල සිසුන් පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා පසුව ඝාතනය කිරීමේ සැකකාර හමුදා නිලධාරීන් සැක පිට අත් අඩංගුවට ගත් විට රණවිරුවන් දඩයම් කරනවා යැයි උසාවි ඉදිරිපිට මොර දීම, මුස්ලිම් ජාතිකයන්ගේ වෙළෙඳ ව්‍යාපාර වලට ගිනි තැබීම සර්ව සාධාරණය කිරීම ඇතුළු තවත් සිද්ධි එමට ය. මේ සියල්ලට බෞද්ධ භික්ෂූන් වහන්සේලා (චීවරධාරීන්) ගේ සම්බන්ධයක් ඇතැයි පැවසීම අමු මුසාවකි.

එසේ නම් ඉහත සඳහන් සියළු තන්හි සිවුරු දරා සිටි පිරිස කව්දැයි මේ ලිපිය කියවන ඔබ මගෙන් විමසනු ඇත.

ඒ අන් කිසිවෙක් නොව කහ පැහැති රෙදි පොරවා ගෙන වටාපත්ද අතැතිව සිටින නරුම, තක්කඩි, නීච, අමනයන් රැලකි.

බුද්ධ චීවරයට කිසිවෙකුත් අත නොතබන බව මේ නරුම, පාහර, තක්කඩි පිරිස ඉතා හොඳින් දැන සිටිති. එහෙයින් ඔවුන් කරන සියළු නරුම, පාදඩ ක්‍රියාවන් සිදුකරන්නේ බෞද්ධ චීවරයට සමාන කහ රෙදි පොරවා ගෙන වටාපත්ද අතැතිව මහා සංඝරත්නය නමැති ලේබලය ගසා ගෙනය. මොවුන් සිදුකරණ බොහෝ ක්‍රියාකාරකම් පිටුපස ඇත්තේ රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපාරය මිස රටේ යහපත පිණිස වන ව්‍යාපෘතියක් නොවේ. මොවුන් පොරවා ගෙන සිටින්නේ ‘සිවුරු‘ යැයි ප්‍රකාශ කළහොත් ‘සිවුරු‘ පොරවා සිටින සිල්වත්, ගුණවත්, කෝටියක් සංවර ශීලයෙන් යුතු ණුවනින් අගතැන්පත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට කරන නිගරුවකි. එහෙයින් මේ නරුම පිරිස ‘චීවරධාරීන්‘ ලෙස හැඳීන්වීම නොකළ යුතුය. අවසන් වශයෙන් කිව යුතුව ඇත්තේ, මේ නරුම පිරිස තතනන්නේ රාජපක්ෂලා යළි කෙසේ හෝ බලයට ගෙන ආවොත් තමනට පෙර පරිදි වරදාන වරප්‍රසාද නොඅඩුව ලබාගත හැකිය සිතුවිල්ලෙනි. ඒ වෙනුවෙන් බුදුන් වහන්සේට පයින් ගසා කාලි යකින්න වැළඳ ගන්නට වුවද මොවුන් සූදානම් ය.

– පෝද්දල ජයන්ත විසිනි

Facebook Comments

more recommended stories

%d bloggers like this: