තිසර පෙරේරාගෙන් ක්‍රිකට් කණ්ඩායම ගිණියම් වන කතාවක් .!

පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයට ලක්වීමෙන් පසුව කිසිදු විදෙස් කණ්ඩායමක් ක්‍රිකට් තරග සඳහා පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කරන මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් එහි යාමට මුලින්ම කැමැත්ත පළ කළේ තිසර පෙරේරාය. සිය පාකිස්තාන සංචාරය සහ එහි අත්දැකීම් පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් තිසර හෙළිකර තිබුනා. එම සංවාදය පහතින්,

“ඕනෑම ක්‍රීඩකයකුට කවදා හෝ හරි රටක නායකත්වය දැරීමට ඉඩ ලැබීම විශාල ගෞරවයක්. ඒක මගේ ජීවිතය තුළත් විදින්නට ලැබීම සතුටට පත්වෙනවා. මම ජාතික කණ්ඩායම සමඟ ලාහෝර් නුවර යන්න පෙර ඊට කලින් මාසයේ ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එහි ගියා. ඒ ගමන ගියේ මගේ තනි කැමැත්තෙන්.

මට ලෝක කණ්ඩායමට එකතු වෙන්න කියලා ආරාධනාව ලැබුණ මොහොතේ මම ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට දන්වා අවසර ඉල්ලුවා. එතුමා මට කෙළින්ම කිව්වේ ඔය වගේ අවස්ථාවක් ආයෙමත් එන්නේ නැහැ. ඒ නිසා යන්න කියලයි. ගෙදර අයටත්, බිරියටත් මම කරුණු පැහැදිලි කළා. එහිදී ලැබෙන ආරක්‍ෂාව ගැන සෑහීමකට පත්වූ නිසා පවුලේ අයත් කැමැති වුණා. ඒ නිසා මම ගියා. මම 2009දී කණ්ඩායමේ හිටියේ නැහැ. ලෝක කණ්ඩායමට ඇතුළත්වයි මම පළමු වරට පාකිස්තානයට ගියේ.”

මෙවර ලැබුණ ආරක්‍ෂාව ගැන විස්තර කළොත්?

“ඒ වගේ ආරක්‍ෂාවක් මම ජීවිතේට දැකලා නැහැ. ක්‍රීඩාංගණයට කිලෝමීටර් 3ක දුරක් සිවිල් ජනතාව ඉවත් කළා. වෙඩි නොවදින වාහන සපයා තිබුණා. හරියට චිත්‍රපටයක රූගත කිරීමක් වගේ දැනුණේ. ඒ වගේ ආරක්‍ෂාවකින් අපි පැය 22ක පමණ කාලයක් පමණයි පාකිස්තානයේ හිටියේ.

තරගයට කලින් තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කුමක් ප්‍රකාශ කළේදැයි යන පැනයටද පිළිතුරු දෙමින් අදහස් දැක්වූ තිසර,

“කලින් මාසයේ පාකිස්තානයට ගිය කෙනෙක් විදියට මම කණ්ඩායමට මගේ අත්දැකීම කිව්වා. ඔවුන් සියලු දෙනාම ඒ අදහස් පිළිගෙන කටයුතු කිරීම මටත් ලොකු පිටිවහලක් වුණා. 96දී ලංකාව අමාරුවේ වැටුණ වෙලාවේ ඇවිත් අපිට උදවු කරපු රටකට නැවතත් අපිට උදවු කරන්න ලැබීම ලොකු සතුටක්. කණ්ඩායමත් ඒ මතයේ හිටියා. ඒ වගේම පාකිස්තාන් කණ්ඩායමෙනුත් ජනතාවගෙනුත් අපට ලැබුණේ ලොකු ගෞරවයක්, ලොකු පිළිගැනීමක්.

මට ලැබුණු කණ්ඩායම විස්සයි-20 තරග සඳහා අද ලංකාවේ ඉන්න සුදුසුම කණ්ඩායම කියලා මට හිතෙනවා. ඒ කණ්ඩායමේ 16 දෙනාගෙන් විකට් කීපර්ස්ලා දෙන්නට හැර ඉතිරි 14 දෙනාටම පන්දු යවන්නත් පුළුවන්. මට හිතෙන්නේ ආධුනිකයි කියන වචනය ඒගොල්ලන්ට ගැළපෙන්නේ නැහැ. තරග පැරැදුණත් ඔවුන් හොඳට දස්කම් පෙන්නුවා. තරගාවලියේ වීරයා වූ ෂොයිබ් මලික් පවා අවසානයේ මට ඒ බව කිව්වා.” යැයිද පවසා තිබුනා.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: