“කූඹියෝ” නාට්‍යයේ ජෙහාන්ට පණ දෙන තුමිඳු නළුවෙක් වුණේ මෙහෙමයි..! (PHOTO)

මේ දිනවල ITN එකේ විකාශය වන කූඹියෝ වගේම හෙට අනිද්දා විකාශය අරඹන සහෝදරයා යන ටෙලිනාට්‍ය දෙකේම අපට තුමිඳු දොඩම්තැන්නගේ රංගනයන් හමුවනවා. නිතරම පුංචි තිරයේ දකින්න නොලැබෙන තුමිඳුගේ රංගනය ඉදහිටක හමුවන කල එය වඩාත් අපූර්ව නිර්මාණයකින් හා සාර්ථක චරිත නිරූපණයකින් පමණක්‌ම වීම අප ඔහු තුළ දකින විශේෂත්වයයි.

පුංචි තිරයේ ඔබට ලැබුණ චරිත අතරින් ඔබට රංගනයෙන් සතුටුවිය හැකි වූ චරිත මොනවාද ?

මේ දිනවල විකාශය වන කූඹියෝ ටෙලිනාට්‍යයේ චරිතය හා විකාශය වීමට නියමිත සහෝදරයා ටෙලිනාට්‍යයේ චරිත දෙකම මම විශේෂත්වයෙන් දකින චරිත ලෙස දක්‌වන්න පුළුවන්.

තිරයේ දී හැමවිටම ඔබට ලැබෙන්නේ සුවිශේෂ චරිතද ?

හැම චරිතයකටම විශේෂත්වයක්‌ තියෙනවා. රංගන ශිල්පියා චරිතය අවබෝධ කරගෙන ඒ චරිතයට ප්‍රවේශ වන අන්දම අනුව එය විශේෂ චරිතයක්‌ බවට පත්වන්නේ. නළුවෙක්‌ කියන්නෙ නිර්මාණකරුවෙක්‌. ඒ නිර්මාණකරුවාට පුළුවන් වෙන්න ඕනෑ තමන්ට ලැබෙන චරිතයට හැඩයක්‌ ලබාදෙන්න.

රංගන ශිල්පියෙකුට හොද නිරූපණයක යෙදෙන්න ප්‍රධානම චරිත වුවමනාද ?

කොහෙත්ම නැහැ. එම ශිල්පියාට රංගනයට අවශ්‍ය හොද ඉඩක්‌ හා විවේකයක්‌ ලැබෙනවා නම් ඕනෑම චරිතයක සාර්ථකත්වය කරා යා හැකියි.

නිර්මාණයක සාර්ථක අසාර්ථක බව පිටපතක්‌ ඇසුරින් නිගමනයකට එළැඹෙන්න පුළුවන්ද ?

අපිට කියවන්න දකින්න ලැබෙන හැම හොද පිටපතක්‌ම හොද නිර්මාණයක්‌ වන්නේ නැහැ. නිර්මාණකරුවාගේ අතේ තමයි එහි වගකීම තියෙන්නේ. අපට පුළුවන් වෙන්නෙ පිටපත කියවලා නිර්මාණය ගැන අදහසක්‌ ගන්න එක විතරයි.

තුමිඳුගේ කලා දිවියේ ඇරඹුම වේදිකාව නේද ?

පාසලේ අපි වෙනුවෙන් වාර්ෂික නාට්‍ය තරගයක්‌ සංවිධානය වුණා. ඒ දවස්‌වල මෙම නාට්‍ය තරගය වෙනුවෙන් නාට්‍යයක්‌ නිර්මාණය කරන එක තමයි අපිට තිබුණ ලොකුම වැඩේ. ඒ හැම වසරකම පාසලේ හොදම නාට්‍යකරුවා හොදම නළුවා යන සම්මාන මට හිමිවුණා. ඒක තමයි මගේ ගමනේ ආරම්භය .

පාසලෙන් පසුවත් ඔබ ගමන් ගන්නේ වේදිකාව දෙසටම නේද ?

ඉස්‌කෝලෙන් අයින් වුණාට පස්‌සෙ මම ටවර්හෝල් නාට්‍ය පාසලට ඇතුළු වෙනවා. උසස්‌ පෙළට නාට්‍ය හා රංගකලාව විෂයක්‌ ලෙස හැදෑරීම සහ පාසල් වේදිකාවෙන් ලද ජයග්‍රහණ නිසා මගේ කැමැත්ත වුණේ නාට්‍යම කරන එක තමයි .

මේ ගමනේ එක්‌තරා තැනකදී වේදිකාව ඔබට ඔබේ නිර්මාණ ශක්‍යතාවට අපූරු වටිනාකමක්‌ ලබාදෙනවා ?

යොවුන් නාට්‍යකරුවෙක්‌ ලෙස මා නිර්මාණය කරන ලද මගේ අරුන්දතී නාට්‍ය වෙනුවෙන් 1999 වර්ෂයේ යෞවන නාට්‍ය උළෙලේ සම්මාන දොළහක්‌ම හිමිවෙනවා. එම නාට්‍යයේ රචකයා හා අධ්‍යක්‍ෂවරයා වුණත් මම එම නාට්‍යයේ රගපෑවේ නැහැ.

නමුත් අද ප්‍රේක්‌ෂකයන් ඔබව දන්නෙ නළුවෙක්‌ විදිහට ?

විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න සමයේ ප්‍රියංකර රත්නායකගේ ඇන්ටගනී සහ ඊඩිපස්‌ නාට්‍යවල රගපාන්න ලැබුණා. එතැනදී තමයි මගේ රංගනයේ අඩිතාලම සකස්‌ වෙන්නෙ. ඒ කාලයේ ලූෂන් බුලත්සිංහල, හෙන්රි ජයසේන වැනි ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ වේදිකා නිර්මාණ වලත් මට රගපාන්න ලැබිලා තිබුණා. මගේ ප්‍රථම සිනමා රංගනය වෙන්නෙ ප්‍රසන්න ජයකොඩිගේ සංඛාරා චිත්‍රපටයයි. ඉන් පසුව දිගටම මට ටෙලිනාට්‍ය වගේම සිනමාවෙනුත් රංගනයට ඇරයුම් ලැබුණා.

වේදිකාවෙ ඔබට හිමි භූමිකාවට මොකද වෙලා තියෙන්නේ ?

වේදිකාවෙ තියෙන කැමැත්ත තවමත් එහෙමයි .පසුගිය සමයේ මගේ අධ්‍යාපන කටයුතු එක්‌ක මම කාර්යබහුල වුණා. ඉදිරි අනාගතයේ වේදිකා නිර්මාණකරණයට නැවතත් පිවිසෙනවා.

ඉදිරියේදී අපේ ප්‍රේක්‌ෂකයන්ට ඔබව හමුවන නිර්මාණ මොනවද?

වේදිකාවෙ නම් නිර්මාණයකට මේ දිනවල සම්බන්ධ නැහැ. රූපවාහිනියේ ලක්‌මාල් ජයසිංහගේ සහෝදරයා ළඟදීම විකාශය වීමට නියමිතයි. චිත්‍රපට නම් හයක්‌ විතර තියෙනව ඉදිරියේදී තිරගත වීමට නියමිත.

මොනවද ඒ සිනමා නිර්මාණ ?

සුමිත්‍රා පීරිස්‌ගෙ වෛශනවී බෙනට්‌ රත්නායකගේ නෙලා, රොහාන් පෙරේරාගේ ආදරෙයි තාමත් උසස්‌ පෙළ සුනිල් ආරියරත්නගේ යශෝදරා, සුනෙත් මාලිංග ලොකුහේවාගෙ නිදහසේ පියා ඩී එස්‌ සහ සෝමරත්න දිසානායකගේ අලුත්ම සිනමා නිර්මාණය.

කලාව තුළ නමක්‌ දිනාගත් කලාකරුවකු වුවත් ඔබ වෙනත් වෘත්තියක්‌ තෝරාගනු ලබනවා.

කලාව තුළ නිර්මාණ කළත් රංගන කටයුතුවලට කොතරම් සම්බන්ධ වුණත් කොයි වෙලාවකවත් රඟපෑම මගේ වෘත්තිය බවට පත්වුණේ නැහැ . 2007 ඉඳන් සහකාර කථිකාචාර්යවරයෙක්‌ විදිහට මම ඉගෙනගත් කැලණිය සරසවියේම මට වැඩ කරන්න ලැබෙනව. 2010 සිට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙසින් සේවය කරමින් සිටිනවා.

නළුවෙකු ජනප්‍රියත්වයට පත් කිරීමට බලපාන සාධක ලෙස ඔබ දකින්නෙ ?

නළුවෙකු ඇතිකර ගන්නා ස්‌තාවරත්වය මත තමයි නළුවෙකුට කොහොමද වැඩ කරන්න පුළුවන් මොනවගේ නිර්මාණවලටද දායක වෙන්න පුළුවන් වෙන්නෙ කියන එක තීරණය වෙන්නෙ. ඒ ස්‌ථාවරත්වයම තමයි නළුවෙකුට ජනප්‍රියත්වය හා මුදල් ළං කරන්නෙ.

ඔබ පවසන ආකාරයට නළුවෙකුට පවතින්න නම් ඔහු ක්‍ෂේත්‍රයේ ස්‌ථාවර විය යුතුයි.?

ඒ ස්‌ථාවරත්වය ගොඩනඟා ගැනීමේදී කල්පනාකාරී වෙන්න ඕනෑ පරිස්‌සම් වෙන්න ඕනෑ. ඒ සඳහා ඉවසීම තියෙන්න ඕනෑ. තමන්ට හොඳ නිර්මාණ තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනැ. ඒ ඉවසීම හා ඒ හැකියාවත් එක්‌ක නළුවෙකුට පුළුවන් වෙන්නෙ ඒ ගමන යන්න.එහෙම තිබුණෙ නැත්නම් නළුවෙක්‌ තෝරගන්නෙ හොඳ නිර්මාණ නෙවෙයි තමන්ට ලැබෙන නිර්මාණ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: