අන්තිම යාඥාව නිමවෙද්දී සමුගත් කූඹියෝ ටෙලියේ ‘ටයිටස් අයියා’ ගැන බිරිඳ කියපු දේ.!

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහනක් තැබූ සේනක ටයිටස් ඇන්තනී කියන්නේ ප්‍රතිභාපුර්ණ කලාකරුවෙක්. ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ ලොකු අයියා ඔහුයි.

හැබැයි ජැක්සන්ගේ ප්‍රසිද්ධියෙන් ඔහුගේ නම බබලවා ගත්තේ නැහැ. ඔහු තමන්ගේම ගමනක් ගියේ නිර්මාණාත්මක කලාකරුවෙක්. ඔහු ජිවිත රගමඩලෙන් සදහටම සමුගත්තත් ඔහු තවමත් කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා.

ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිඳ හා පුත්‍රයා දේශය පුවත්පත සමග කළ කතාබහක් පහතින්.

සේනකයි මායි විවාහ වුණේ 1983 අවුරුද්දේ. අපිට ඉන්නේ එකම පුතායි. ඒ තමයි කවිඳු ඇන්තනී. සේනක සිංගප්පූරුවට ගියේ ඔක්තෝබර් මාසේ 20 වැනිදා. අලුත් හොරෙක් නාට්‍ය කණ්ඩායමත් එක්ක. පුතා එයාව ඩොක්ටර් ළඟට අරන් ගිහින් බෙහෙතුත් අරගෙන දුන්නා. සේනක ඔය ගමන ගියේ හරිම සතුටින්. ගමන යන්න දවස් දෙකකට උඩ දී සේනකයි මායි අපේ පුතාගේ පුංචි දරුවයි කඳානේ ටවුමට ගිහින් සිංගප්පූරු ගමනටම හරියන්න හැම ඇඳුමක්ම අලුතින්ම ගත්තා. එයාට ඇඳුමක් පැළඳුමක් ගන්න වුණත් එයා හැමදාකම මාව එක්කගෙන ගියා. Fඅcඑ වශ් එකක් පවා එයා අලුතින්ම ගත්තා. පුතාගේ දරුවට වයස අවුරුද්දයි. සේනක දරුවට හරි ආදරෙයි. සේනකගේ පවුලේ ඉන්නේ පිරිමි පස්දෙනයි. සේනකට ඉපදුණෙත් පුතෙක්. ඉතින් පුතාට දුවෙක් ඉපදුණා. පුංචි දුව ඉපදුණු දවසේ සේනක ගොඩාක් සතුටු වුණා.

සේනකගේ ආදරණීය බිරිය ශාන්ති අතීතය ආවර්ජනය කළාය.

සේනක හැමදාකම දෙවියන්ගෙන් බුදුන්ගෙන් යමක් ඉල්ලුවේය. ඒ දුවෙක් නැති අපට දුවෙක් දෙන්න කියාය. පුතාගේ විවාහ උත්සවය දින සේනක අප්‍රමාණව සතුටු වූවේය.
පුතාගේ වෙඩින් එක වෙලාවේ ඔයා එහෙම අඬන්න එපා සුදු… සේනක තම ආදරණීය බිරියට කල් ඇතිවම පැවසුවේය. ඔහු ඇයට කතා කළේ සුදූ නමිනි. නමුත් වෙඩින් එක අහවර කර පුතා නැති පාළු ගෙදරට ආ සේනකට ඉවසාගත නොහැකි පාළුවක් දැනුණි. ඔහු පුංචි දරුවකු සේ තම බිරිය ළඟින් තබාගෙන ඉකිගසා ඇඬුවේය.

‍මම දෙවියන්ගෙන් දුවෙක් විතරයි ඉල්ලුවේ. මට අද ඒ දුව ලැබුණා… සේනක එදා දෙවියන්ට අප්‍රමාණව ස්තූති කළේය. සේනකත් ශාන්තිත් පාළු නිවාගනිමින් එදා එළිවෙන තුරු කෝපි බොමින් අවදි වී සිටි අයුරු අද ශාන්ති මතකයට නංවන්නේ කම්මුල් පුරා ගලා හැලෙන කඳුළු පිසදමමිනි. එදා පටන් සේනකට අපේ පුතාත්, අපේ දුවත් ලැබුණි.

සිංගප්පූරු ගමනට යද්දි සේනක දෙවියන් වහන්සේට පහන පත්තු කළේය. දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත් සේනක ශාන්තිගේ හිස අතගා ඇයට ද සමු දුන්නේය. අමතක නොකර මාළුන්ට කන්න දෙන්නයැයි එහු අවසාන වශයෙන් ශාන්තිට මතක් කළේය. නමුත් ඒ යන ගමන සේනකගේ අවසන් ගමන යැයි ශාන්ති එදා කිසිවිටකත් නොසිතුවාය.

සේනක මට හැමවෙලේම කෝල් කරනවා. ලංකාවේ හිටියත් එහෙමයි. පොඩි ගමනක් ගියත් සේනක සැරෙන් සැරේට මට කතා කරනවා. එයා ජීවිතේට තේ එකක් හදාගෙන බොන්නේ නෑ. මම එයාගේ කිරි එක හදලා අතට දෙනවා. කීයවෙනකම් හරි අතට බත් එක බෙදලා දෙනකම් එයා ඉන්නවා. එයා ගැන කියන්න මට තේරෙන්නෙ නෑ. බත් කකා ඉද්දි කවුරු හරි ආවත් අතේ තියෙන බත් එක ආපු කෙනාට කන්න දෙනවා. නත්තල්වලට සේනකට සරම් ගොඩාක් හම්බවෙනවා. ඒත් ගමනක් යද්දි ඇඳගෙන යන්න අලුත් සරමක් නෑ. බලද්දි අර සරම් ටික එක එක්කෙනාට දීලා. පුදුමාකාර හොඳ මනුස්සයෙක්…

ශාන්තිව තවත් වෙහෙස කරවන්න අපේ හිත් ඉඩ දුන්නේ නැත. සේනකගේ එකම පුතු කවිඳු ඇන්තනීගේ හඬ අවදි වූයේ එතැන් සිටය.

මගේ බාප්පාට (ජැක්සන් ඇන්තනී) තමයි මුලින්ම නාට්‍ය සංවිධායක මහත්වරු ඇමතුමක් දීලා තාත්තාව ගුවන් තොටුපොළේ දී වැටිලා අසනීප වෙලා චැංගි රෝහලට ඇතුළත් කරලා තියනවා කියලා කියලා තිබුණේ. බාප්පා ඒ වෙලාවේ ෂූටිං එකක හිටියේ. ඉතින් පුතා පුළුවන් තරම් ඉක්මනට යන්න… මම ඊළඟ ප්ලයිට් එකේ එනවා. කියලා කිව්වා. මම උදේ ප්ලයිට් එකේ සිංගප්පූරුවට ගියා. ඒ යද්දි තාත්තා හිටියෙ සාමාන්‍ය වාට්ටුවක. හැබැයි තාත්තට සිහි කල්පනාවක් තිබුණේ නෑ… ඒ රටේ අය තාත්තගේ රෝග ඉතිහාසය පිළිබඳව මුලින්ම හොයලා පරීක්ෂණ පවත්වනවා… පසුව තාත්තව ලයිෆ් සපෝට් මැෂින් එකට යොමු කළා. තාත්තා වෙනුවෙන් කළ හැකි උපරිමය රෝහල් කාර්ය මණ්ඩලය සිදු කළා.. ඒත් අන්තිමට අපිට තාත්තව බේරගන්න බැරි වුණා…

ඒ වන විටත් ජැක්සන් ඇන්තනී සිංගප්පූරුවට ගොස් තිබුණි. බොහෝ පිරිසක් මේ ආදරණීය කලාකරුවාගේ ජීවිතය බේරාගන්නට මහත් උත්සාහයක් දැරීය. නමුත් සේනකට ඒ වෙද්දී සිහි කල්පනාවක් නොතිබුණි. එමෙන්ම ඔහුට කිසිදු වේදනාවක් ද නොදැනුණි. පරීක්ෂණවලදී දැනගත් රෝග හේතුව වූයේ මීට වසර ගණනාවකට උඩදී සිදු වූ සිදුවීමකි. 2002 වසරේ දී සේනකට පොළඟෙකු දෂ්ඨ කළේය. එයට ලබාදුන් ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසින් වකුගඩු දුර්වල වීම ඇරඹුණි. එම දුර්වල වූ වකුගඩු තුළට මොනයම් ආකාරයෙන් හෝ විෂබීජයක් ගොස් තිබුණි. එමගින් වකුගඩුවල බැක්ටීරියාවක් වර්ධනය වී එය මොළය දක්වා වර්ධනය වීම තුළින් මේ තත්ත්වය ඇති වී ඇති බවට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

තාත්තා මට යාළුවෙක්. මායි අම්මයි තාත්තයි මේ ගෙදර හිටියේ යාළුවෝ වගේ. හිනාවෙනවා.. විහිළු කරනවා… අපි ඇවිදින්න යනවා. තාත්තා කවදාවත් මට තරවටුවක්වත් කරලා නෑ. තාත්තා බොහෝම සරල චරිතයක්. තාත්තා මගේ වයිෆ්ට සැලකුවේ එයාගෙම දුවෙක්ට වගෙයි. තාත්තා එක්ක මට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. තාත්තා නාට්‍යයකට ගියාම කෑම එකක් ලැබෙනවනෙ. තාත්තා ඒක කන්නේ නෑ. තාත්තා ඒක ගෙදර අරන් එනවා. කොච්චර රෑවෙලා ගෙදර ආවත් තාත්තා ඒ කෑම එක කන්නේ අම්මටයි මගේ වයිෆ්ටයි මටයි දීලයි. සමහරදාට අපි නිදි. තාත්තා කාමරේ දොර ළඟට ඇවිත් අපේ දුවේ… අපේ පුතත් එක්ක නැඟිටලා එන්න.. කියලා කියනවා. තාත්තා හරි ආසයි කට්ටියට කන්න දෙන්න. එයා නොකෑවත් එයා අනිත් අය කනවා දැකලා ගොඩාක් සතුටු වෙනවා. තාත්තා නැති වුණේ මායි බාප්පයි ඉස්සරහමයි…

ෆාදර් ප්‍රසාද් හර්ෂණ සේනක වෙනුවෙන් අන්තිම යාඥාව ද ලංකාවේ සිට පැවැත්වූයේය. සේනකට අසන්නට නොහැකි වූ ඒ යාඥාවෙන් ඉනික්බිති පූජකවරයා ජැක්සන්ටත් කවිඳුටත් දුරකථන අැමතුමක් දී කීවේ සේනකට අැසෙන්නට ඔහුෙග් ගුණ ඔහු අබිමුව සිට සිහිපත් කරන ලෙසය.  ජැක්සනුත් කවිඳුත් දෙඇස් පියාගෙන මරණයේ දොරකඩ සිටින තම ආදරණීය සහෝදරයාට, පියාණන්ට ඇසෙන්නට ඔහුගේ ගුණ මතක් කළෝය. හිතේ දුක් හිරකරගෙන සේනකගේ ගමන සතුටින් යන්නට ඔවුහු සේනකගේ ගුණ අවදි කළහ. අවසානයේ දී සේනකගේ අවසන් හුස්ම පොදද විසිහත් වැනිදා වාතලයට එකතු වූයේය.

ඇන්තනී පවුලේ තුන්වැනියා වූයේ සුදත් ඇන්තනීය. ඔහු ද දැන් පදිංචි වී සිටින්නේ ඉතාලියේය.

සේනක අයියා හරියට අපිට තාත්තෙක්. අපේ තාත්තා විදුලිබල මණ්ඩලයේ වැඩ කළේ. ඉතින් තාත්තා ලංකාව වටේ රාජකාරි වැඩ කළා. එතකොට ගෙදර සියලුම දේ අම්මා එක්ක එකතුවෙලා කළේ සේනක අයියා. අපි තාත්තාට වඩා ලොකු අයියට බයයි. අයියට හොඳ රහට උයන්න පුළුවන්. මට මතකයි එක සැරයක් අම්මට පැපොල රෝගය හැදිලා අයියා තමයි අපි හැමෝටම උයලා කන්න දුන්නේ. අපි හැමෝගෙම රෙදි ටික පවා හේදුවේ එයා. ගෙදර හරියට ට්‍රැක්ටර් පහක් ස්ටාට් කරලා වගේ හරි සද්දයි. ඒ වුණාට ලොකු අයියා අපි ඔක්කොටම උපදෙස් දීලා අපිව බලාගෙන හිටියා. මම 85 ඉතාලි ගිහිල්ලත් මම ලොකු අයියට බයයි. අපේ ලොකු අයියට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. පොඩි අයියා (ජැක්සන් ඇන්තනී) ගෙදරදී හැමතිස්සේම පොත් කියෙව්වා. ඉතින් ලොකු අයියට තේරුණා, පොඩි අයියට මොකක්දෝ හැකියාවක් තියෙනවා කියලා. ඒ නිසා එයා අපිට කියනවා, පොඩි අයියගේ වැඩ ටිකත් කරන්න කියලා. අද අපි හැමෝම යම් සාර්ථකත්වයක ඉන්නවා නම් ඒ මඟ පෙන්නුවේ අපේ ලොකු අයියා. අපිට තාම දරාගන්න බෑ අපි තාම වෙව්ලනවා… අපි තාම අපේ මහපුරුක ගැලවුණා කියලා හිතන්නේ නෑ. ඒ තරමට අපි පස්දෙනා හරි එකතුයි. අපි පස්දෙනා එකතුවෙනවානම් අපිට අනිත් කිසිකෙනෙක් මතක නෑ. අපි පස්දෙනා අන්තිමට එකතු වුණේ 2010 අපේ අම්මගේ මරණය දවසේ. මේ පාරත් අපි තුන්දෙනාම ඉතාලියේ ඉඳන් ලංකාවට ආවා… ඒත් ලොකු අයියා අපි දිහා බලන්න ඇස් ඇරියේ නෑ.

ඇන්තනී පවුලේ බාලයා වූ මොහාන් ඇන්තනී පදිංචි වී සිටින්නේ ද ඉතාලියේය. තම සහෝදරයාගේ මියයාමත් සමඟ ලංකාවට පැමිණි මොහාන් අදද සිටින්නේ දැඩි පීඩාවකිනි.

සේනක අයියා තමයි මගේ තාත්තා. අපිට අපේ වැරදිවලට දඬුවම් දුන්නේ සේනක අයියා. එයාගේ දඬුවම් නිසා තමයි අපි හැදුණේ. මගේ ජීවිතයට ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තේ සේනක අයියාගෙන්. ලොකු අයියා ලස්සනට අඳින්න ආසයි. එයා පුදුම චරිතයක්…

වරක් සුදත් ඉතාලියේ සිට ලංකාවට එද්දී මොහාන් මහගෙදර සාලයේ දණගසාගෙන බිම බලාගෙන සිටියේය. ඒ වන විට මොහාන් යස ඉලන්දාරියෙකි. නමුත් ලොකු අයියාට එදත් මොහාන්ව බාල මල්ලීම විය. දඬුවමට වයසක් නොමැති විය. කළ වරදට එදාද මොහාන්ට අයියාගෙන් දඬුවම් ලැබුණි. අයියා “නැඟිටින්න කියනා තුරු මොහාන් දඬුවම වින්දේය. සිංගප්පූරුවේ ගමන යන්නට සේනක මොහාන්ගන් කෝට් එකක් ඉල්ලුවේය. අවසානයේ දී මොහාන් දුඹුරු කෝට් එකක් සේනකට තෑගි කළේය. නමුත් මල්ලී ආසාවෙන් එවූ කෝට් එක ඇඳ හැඩ බලන්නට තරම් ලොකු අයියා අපොහොසත් වූවේය.

ඉතාලියේ පදිංචි සමන් ඇන්තනී ද සේනකගේ තවත් සහෝදරයෙකි. ඔහු පවුලේ හතරවැනියාය.

අපි පස්දෙනා හරිම ආඩම්බරයෙන් හිටියේ. පුංචි කාලේ අපේ අම්මයි තාත්තයි අපි පස්දෙනාව එකපාර අරගෙන යන්නේ නෑ. මුලින් අම්මා දෙන්නෙක් එක්කරගෙන යනවා. ඊළඟට තාත්තා තුන්දෙනෙක් එක්කරගෙන යනවා. අම්මා කාගේ හරි ඇස්වහ කටවහ වදීවි කියලා හැමදාමත් බය වුණා. අද අම්මට පේන්නෙ නැතිව ඇති. ඒත්… අද අම්මා බයවුණ ඇස්වහ අපි පස්දෙනාට වැදෙන්න ඇති. ඉතාලියේ දී 1993 අවුරුද්දේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ ඔත්තුකාරයා කියන නාට්‍ය අපි තුන්දෙනා ගෙන්නුවා. ඒ කණ්ඩායමට ජැක්සන් අයියා වගේම සේනක අයියවත් අපි කියලා ගෙන්නුවා. ඒ ගමන තමයි අපි  එකතු වුණු අන්තිම ගමන. එදා පුදුම සතුටක් අපි වින්දේ. අපිට සින්දු කියන්න බෑ. ඒත්… ඇති තරම් එදා සින්දු කිව්වා. ඒ ගමනේ දී සේනක අයියට අපි ඉගැන්නුවේ ඉතාලි වචන දෙකයි. එක දවසක් ඉතාලි මනුස්සයෙක් එක්ක රණ්ඩුවෙලා අයියා බැණගත්තෙම අර ඉතාලි වචන දෙක විතරක් කියලමයි. ඉතාලි මනුස්සයාට පුදුමයි… ලොකු අයියා ගැන කියන්න ඇත්තටම මට වචන නෑ… අපිට අයියා නැතිව පාළුයි අයියෙ…

ජීවිතයේ හැටි එහෙමමය. එන්න දවසක් මෙන්ම නික්ම යන්නට ද දිනක් ඇත.
ආදරණීය මාධ්‍ය සඟයාණෙනි… ආදරණීය කලාකරුවාණෙනි… සාෙඳුරු මිතුරාෙණනි… ඔබට සුභ සංසාර ගමනක්…

 

සටහන : ඩිෂානි (දේශය)

Facebook Comments

more recommended stories

%d bloggers like this: