කොළඹ වැසිකිළි කාගේ බූදලයක්ද..? – වටිනා විමසා බැලීමක්

ඉන්දීය නිදහස් සටන පැවැති සමයේ මහත්මා ගාන්ධිට එරෙහිව වංශවතුන් තමන්ට අවමන් කරන බවට චෝදනාවක් විය. මහත්මා ගාන්ධි කළ වරද වූයේ තමන්ගේ වැසිකිළිය තමන්ම පිරිසුදු කර ගැනීමයි. කලකට පෙර වාර්තාවක් පළවී තිබුණේ ඉන්දියානුවන්ට ප්‍රමාණවත් වැසිකිළි නැතත් ජනගහනය මෙන් දෙගුණයක් ජංගම දුරකථන ඇති බවය. ඉන්දියානුවන්ගේ නිවාසවල වැසිකිළි පහසුකම් ඇත්තේ 46.9% බවටත් ඉතිරි 49.8ම තම බහිශ්‍රාවිය කටයුතු සඳහා තෝරා ගන්නේ එලිමහනයි. එරට පොදු වැසිකිළි භාවිත කරන ප්‍රතිශතය 3.2%ක් ලෙස දත්තවල දැක්වේ. ඉන්දියාවේ පොදු වැසිකිළි භාවිත කරන පිරිස් ගැන දන්න එකතුවක් එළි දකිද්දී අපට අවශ්‍ය වූයේ ලංකාවේ පොදු වැසිකිළි අත්‍යවශ්‍ය අංගයක් වී ඇති කොළඹට එන ජනතාවට ඇති පහසුකම් කෙබඳුදැයි විමසා බැලීමටයි.

ලෝක වැසිකිළි දිනය වන්නේ නොවැම්බර් 19 වැනිදාය. “ලේඩීස් ෆස්ට්” (ළඩීස් Fඉර්ස්ට්) යයි කියමනක් තිබේ. එහෙත් මේ කියමන නිකම්ම පුස් වන්නේ වැසිකිළි භාවිතයේදීය. ගැහැනිය සහ පිරිමියා මුළුමනින්ම එකිනෙකාගෙන් වෙනස් සත්වයින් දෙදෙනෙක්. මේ ලෝකය තුළ ස්ත්‍රී ප්‍රජාව සමතැන් ඉල්ලා කොතරම් තම අයිතිවාසිකම් අත්කරගත්තත් ලිංගිකව මේ දෙදෙනා අසමානය. මේ හේතුවෙන් ඇඟ සෝදන කාමර මෙන්ම වැසිකිළි නිර්මාණය කරන්නේ පිරිමින්ට වෙනමත් ගැහැනුන්ට වෙනමත්ය.

ගම්බද පළාත්වලින් මෙන්ම නගර ආශ්‍රිත ප්‍රදේශවලින් කොළඹට එන බොහොමයක් පිටකොටුවට ළඟාවන්නේ ලෝකේ තියෙන ලොකුම බරත් ​රැගෙනය. ඒසී බස් එකේ ආවොත් නම් මේ බර දෙගුණ තෙගුණ වී තිබිය හැකිය. මුහුදු බඩ මාර්ගයකට සමගාමි මගක පැමිණෙන්නන්ට මේ බර එන්න එන්නම වැඩි වන්නේ මුහුද දුටුවිට නිරායාසයෙන් මේ බර ඇතිවීම මිනිස් ස්වභාවයක් වන නිසාය. පුංචි කාලේ අපි හැමෝම අහපු ලෝකේ තියෙන ලොකුම බරට සමාන කළ හැකි කිසිවක් නැත.

පිටකොටුව බෝගහහන්දියේ ගමනාන්තයේදී මීට කලකට ඉහත නම් වැසිකිළි යාමට අවශ්‍යතාවක් ඇති වූයේ නම් දෙවියන්ගේ පිහිටය. එකල බෝගහ හන්දිය ආශ්‍රිත ප්‍රදේශවල ​ෙහා්ටලවල වැසිකිළි පවත්වාගෙන ගියේ ‘ටිප් ටොප්’ එකටය. ඒ පාරිභෝගිකයන් ඇද ගැනීමේ උපක්‍රමයක් ලෙසය. එහෙත් දැන්නම් තත්ත්වය තරමක් සතුටුදායක බව කිව යුතුය. එහෙත් පිටකොටුව ලංගම බස් නැවතුමේ ඇති ‘ප්‍රතිපත්තියක් වශයෙන් පිරියා නොකරන’ වැසිකිළියේ කළ හැක්කේ මුත්‍රා කිරීම පමණකි. විදේශිකයකු කොළඹ බස් නැවතුමේ වැසිකිළි යාමට තැනක් සොයනු අපට දැකගත හැකිවිය. අප කළේ කොටුව දුම්රිය ස්ථානයේම ‘ප්ලැට් ​ෙෆා්ම්’ ටිකට් එකක් ගෙන ඇතුළුවන ලෙස ඔහු දැනුම්වත් කිරීමයි. සංචාරකයන් වෙනුවෙන්ම සැකසූ වැසිකිළියක් කොටුව දුම්රිය ස්ථානයේ ඇත්තේය. එහෙත් මේ කොයි වැසිකිළියකවත් ආබාධිතයන්ට නම් සැළකිල්ලක් නොමැත. සෝන්ඩර්ස් පෙදෙසේ වේල්ලවීදිය පොලිසිය අසල ඇති අති නවීන වැසිකිළියේ නම් මේ තත්ත්වය ටිකක් හෝ සතුටුදායකය.

යෝක් වීදියේ භුගත වැසිකිළිය , භුගත වැසිකිළියේ ඇතුළත දසුනක් , සෝන්ඩර්ස් පෙදෙසේ වැසිකිළියක්

අපගේ නිරීක්ෂණයට ලක්වූ ප්‍රදේශයේ ඇති වැසිකිළි ඇති තැන් කීපයකි. සුප්‍රකට මිලර්ස් කාගිල්ස් සාප්පුව ඇති යෝක් වීදියේ භූගත වැසිකිළිය, කොටුව දුම්රිය පොළේ වැසිකිළිපොළ, ප්‍රධාන බස් නැවතුමේ බැස්ටියන් මාවතේ පෞද්‍්ගලික බස් නැවතුමේ, බෝධි රාජ මාවතේ පරණ ගෑස් කොම්පැණි ඉඩමේ ඇති දැවැන්ත වාහන නැවතුම් මධ්‍යස්ථානය, පීපල්ස් පාක්, සෝන්ඩර්ස් පෙදෙසේ තැන් දෙකක්, මැනිං මාකට් ගුණසිංහ පුර බස් නැවතුමේ ආදී ස්ථානවල වූ වැසිකිළි අපගේ නිරීක්ෂණයට ලක්විය. කොළඹ අධිකරණ සංකීර්ණයේද මේ පහසුකම අපේ නිරීක්ෂණයට ලක්විය. එය ගාස්තු රහිතය. එසේ විශේෂයෙන් කීමට අවශ්‍ය වූයේ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළිය හැර අනෙක් සියල්ල බහිශ්‍රාවිය කටයුතු සඳහා මුදල් අය කිරීමයි.

මීට අමතරව කොටුව තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ලේ ප්‍රමාණවත් ලෙසත් ‍ය්MCඇ ගොඩනැගිල්ලේ මද වශයෙන් මෙම අවශ්‍යතාව ඉටුකරගත හැකිය. මේ ප්‍රදේශයේ ඇති තැබෑරුම්වල නම් වැසිකිළි ටයිල් අල්ලා සුදු යකඩ ටැප් දමා අවශ්‍ය නම් ඩෝප් වැඩි වූ විට ස්නානයට පහසුකම් ඇත. මෙම වැසිකිළිවල සින්ක් වැඩිපුර දාන්නේ කන පැලෙන්නට ඩෝප් වූ විට ‘කබරයා’ දැමීමට විය යුතුය. එහෙත් මේවායේ කොමඩ් ඇති බාත්රූම් ඉබ්බන් දමා වසා දාන්නේ පාරේ යන එන අයගෙන් බේරා ගැනීමට විය යුතුය. එම පහසුකම ලබා ගැනීමට අවශ්‍ය වුවොත් බාර් එකේ කවුන්ටරයට ගොස් රු. 300/‌-ක් ගෙවා ගල් 100ක් බොහෝ දෙනා ඇද බාන්නේ නිකං යතුර ඉල්ලීමට ඇති ලජ්ජාව නිසාවිය යුතුය. ලෝටස් පාරේ ටෙලිකොම් මූලස්ථානයේ පාර අයිනේම ඇති ‘ටොයිලට්’ එක කාර්යාල වේලාවෙන් පසු ‘හිතවත්කම් මත පමණක්’ භාවිත කළ හැකිය.

අපේ මුල්ම නිරීක්ෂණයට ලක්වූයේ යෝක් වීදියේ ඇති භූගත නොහොත් අන්ඩර් ග්‍රවුන්ඩ් වැසිකිළියයි. කලක් වසා තිබූ මෙය කලක් ප්‍රකටව තිබුණේ සමලිංගිකයන්ගේ සහ ගණිකාවන්ගේ කැදැල්ලක් ලෙසය. එහි ඇති දැවැන්ත සිහිවටන ඵලකයේ සඳහන් වන්නේ එය ලෝක බැංකුවෙන් ගත් ‘ලෝන්’ එ​ෙහකින් පිළිසකර කර විවෘත කරන ලද්දේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ බවය. එහි දිනය 2013 ජුනි 25 ලෙස සඳහන්ය. මේ වැසිකිළිය අති නවීනතම පහසුකම්වලින් යුතුය. එහි භාරකරු නන්දසිරි හෙට්ටි ආරච්චි අපට පවසා සිටියේ උදේ 5.30 සිට රාත්‍රි 7.00 දක්වා තමන් මෙම වැසිකිළිය විවෘත කර තබන බවය. මෙහි ගෑනු පිරිමි ලෙස දෙපැත්තකින් ඇතුලු විය හැකිය. මෙම වැසිකිළිය කොළඹ නගර සභාවෙන් කොම්පැණියක් බදු ගෙන ඇත. අපට දැනගත හැකි වූයේ මෙම සේවකයාට සහ සේවිකාවට එම කොම්පැනිය ‘ටාගට්’ එකක් දී ඇති බවය.

“ටාගට් එක කවර් නැති දවසට කොම්පැණියේ මහත්තයාට කියලා එකතු වෙච්ච ගාන අරගෙන ගෙදර යනවා. අනෙක් දවසේ කොහොම හරි කවර් කරනවා. අපරාදේ කියන්න බෑ මේ ටොයිලට් දෙක පිරිසුදු කරන්න අවශ්‍ය ඔක්කොම කොම්පැණියෙන් ලෝස් නැතුව දෙනවා. ඒකයි මෙච්චර පිරිසුදුවට තබා ගන්න පුළුවන්”

ලෝක බැංකු ආධාර මත නවීකරණය වූ මේ වැසිකිළියේ ඇති කොමඩ් – සිස්ටන් මෙන්ම සින්ක් නිරීක්ෂණය කළ විට අපට දැක ගත හැකිවූයේ ඒවා අධි මිල සුපිරි ආනයනික ඒවා බවය.

මේ වැසිකිළි ඇතුළේ වූ සබන් තබන සුදු යකඩෙන් සැදූ කොටස් අවස්ථාවාදීන් ගලවාගෙන ගොස් ඇත. මෙහි ස්නානය කිරීමේ පහසුකම්ද තිබී ඇති අතර භූගත විදුලි රැහැන් කීපයක් මෑතකදී එම කුටිය හරහා ඇදීම නිසා දැන් ඒ පහසුකම නැත. සමලිංගිකයන් සහ ගණිකාවන් සමග එන පුද්ගලයන් කොතරම් මුදලක් දීමට ඉදිරිපත් වුවත් තමන් ඔවුනට ඇතුලු වීමට ඉඩ නොදෙන බව මෙහි භාරකරු නන්දසිරි අපට කිව්වේ දැඩි ස්වරූපයෙනි.

අප කලින් සඳහන් කළ වැසිකිළි සියල්ලේම කරක් ගැහුවත් කිසිවකු මෙම වැසිකිළියක දවසක ආදායම පවසන්නට ඉදිරිපත්වූයේ නැත. එහෙත් මේ වැසිකිළි හෝදන පුද්ගලයකු පවසා සිටියේ තමන්ගේ දිනක වැටුප රු. 1500/-ක් බවය. ඔහු පැවැසූ පරිදි මෙම වැසිකිළිවල දිනපතා ආදායම රු. 15,000/- වන දිනද ඇත. එක්වැසිකිළියක් භාර පුද්ගලයා නැති දිනක තමන් සේවයේ යෙදුන දිනයේ තමන් එවැනි ආදායමක් ලැබූ බව ඔහු අපට පවසා සිටියේය.

මේ බොහෝ වැසිකිළි භාවිතයට අය කරන ගාස්තුව රු. 10/-කි. එහෙත් බෝධිරාජ මාවතේ පරණ ගෑස් කොම්පැනි ඉඩමේ වාහන නවතන අංගනයේ ඇති වැසිකිළියේ ඇත්තේ මෙවැනි බෝඩ් එකකි. දිය නෑමට, ඇඟ සේදීමට, රෙදි සේදීමට, මුහුණ සේදීමට, වැසිකිළි යාමට ගාස්තුව රු. 30/-යි යනුවෙනි.

ටිකක් කතාවට බර වැසිකිළි භාරකරුවකු බලා මගේ කතාවට එක්කර ගැනීමට වැසිකිළිය භාවිත කොට ඔහු අත රු. 10/- කාසියක් තැබුවෙමි.

“ආ මහත්තයා ඉතුරු රු 4/-”

එතකොට ගාන රු. 6/-ද? මම අසා සිටියෙමි. “ඔව් මහත්තයා, ගොඩක් අය ඉතුරු ගන්නෙ නෑ. දන්නැතුව. ගොඩක් අය මේක දන්නේ නෑ. සමහරු රු. 5/-ක් දෙනවා. තව සමහරු රු 2/-ක් දීලා වලියට එනවා. දවසකට දෙතුන් සීයක් සල්ලි නොදී මාරුවෙනවා.”

ඉතිං මොනාද ඉතිං ඔය මේ තැන්වල ඇතිවන ‘කචල්?’

“සමහර ගෑනු අරන් එන්නේ ගෙදර ගෑනි වගේ. අඩෝ අපි බබ්බු නොවෙයි. ගෙදර ගෑනි එක්කවත් කක්කුසියට යන්න බැරිද කියලා ගෝරියට එනවා. සමහර මිනිස්සු දෙන්න ඇවිල්ල ටොයිලට් යනවා. ඒත් එක ටොයිලට් එකෙයි දොර වහලා තියෙන්නේ. දොරට ගහල ගහල අරිනවා. දෙන්නම එකේ කලිසමේ සිප් එක වහගෙන එළියට එන්නේ මහ මෘගයෝ වගේ.

“අඩෝ අපිත් මේ ගෙන්දගම් පොළවේ අමාරුව යවාගන්න පො ….ක් එක්ක ලැට් එකකට රිංගනවා මිසක් අපිට හිල්ටන් යන්න සල්ලි නෑ ප …..” වගේ කියාගෙන මරාගන්න එනවා. ඒ නිසා මම මේ සල්ලි ගන්න මේසේ ටොයිලට් දොරවල් පේන්න මෙතෙන්ට ගත්තා. දැන් ඉතිං දෙන්නෙක් එක ටොයිලට් එකකට රිංගුවොත් මේකෙන් පාරක් කාලා යන්න වෙන්නේ.

“අපි ඔහු මුදල් එකතු කරන මේසය අසලට නෙත් යොමු කළ විට පෝර උරයක ඔතා තිබූ අඩි 3ක පමණ කඩුවක් ඔහු අපට පෙන්වා සිටියේය.

“කඩු පාරක් කාලා වතුර බාල්දියක් නාවල තමයි යවන්නේ” ඔහු අපට කීවේ දත්මිටි කමිනි.

මේ ටොයිලට් මැනේජර්ලා ගැන කියූ විට මැර ස්වරූපයක් ඔබ ආරූඪ කරනොගත යුතුය. ඔවුන් ඉතා මානුෂිකය.

”මොනාද මහත්තයා සමහරු දියවැඩියා කාරයෝ තුන් හතර සැරේ එනවා. අපි ගන්නේ සල්ලි එක සැරයයි. සමහර දුර බැහැර පවුල්වල හත් අට දෙනා එනවා පොඩි ළමයි එක්ක. රු. 70/-ක් ලොකු ගාණක් අපි ගන්නේ රු 20/-ක් විතර.මේ අතර කොළඹ නගර සභාව වැඩිම මුදලක් වැයකර ගොඩනැගූ අධි සුඛෝපභෝගි වැසිකිළිය දැන් දෙමසක සිට අහේතුකව වසා දමා ඇත. එය පිහිටා ඇත්තේ නව නගර ශාලාවට යාබදවය. ස්නානය කිරීමේ පහසුකම් පවා තිබුණු ඉතා පිරිසුදු වැසිකිළිය එයයි. මෙය වසා දැමීම ගැන කොළඹ නගර සභාවට ගොස් ප්‍රදේශයේ අදාළ නිලධාරින් හමුවූ මුත් ඔවුන් එකිනෙකාට බෝලය පාස් කළ මුත් උත්තරයක් දෙන්නට සමත් වූයේ නැත. අවම වශයෙන් වැසිකිළිය භාවිතයට අය කළහැකි උපරිම ගාස්තුව ගැනවත් ප්‍රකාශයක් කිරීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

මේ අතර කොළඹ කොටුව ස්ටේෂන් එකේ ඇති විදේශිකයන් සඳහා වන වැසිකිළියට විවිධ විරෝධතා එල්ලවන බව එහි සේවකයකු අප සමග පැවැසීය.

“සමහර අය ලන්ඩන් – නිව්යෝර්ක්වල අවුරුදු 10-15 ඉඳලා ඇවිල්ල මේ ටොයිලට් එක දැකලා අපිට බණිනවා. ලෝකේ කිසිම රටක මෙහෙම විදේශිකයන්ට ටොයිලට් නෑ කියලා. ඒ ගොල්ල කියන්නේ ගාස්තුවක් අය කරලා මේක හැමෝටම අරින්න කියලා”යි. එම සේවකයා අපට පැවැසීය.

අවසන් වශයෙන් පොදුවේ ගත් කළ දැන් කොළොම්පුරේ සනීපාරක්ෂක කටයුතුවල යම් සැලකිය යුතු තත්ත්වයක් ඇතැයි කිව හැකිය. ගාස්තුව පහළ හෙළීම හෝ නිදහස් අධ්‍යාපනය ඇති රටේ නිදහසේ වැසිකිළියක් පාවිච්චි කිරීමේ නිදහස ලැබෙන්නේ කවදාදැයි සිතුවිල්ලක් පමණක් කොළොම්පුරේට එන ජනතාවට දැන් ඉතිරිව ඇත.

සටහන : වජිර ලියනගේ

more recommended stories