රනිල්ගෙන් ආණ්‌ඩුවක්‌ – බහුතර මන්ත්‍රීන් ගණන අනිද්දා ජනපතිට දන්වයි..!

වත්මන් ආණ්‌ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු වන එක්‌සත් ජාතික පෙරමුණ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඊයේ (12 දා) තීරණය කර ඇත.එක්‌සත් ජාතික පෙරමුණ මෙම තීරණය ගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර කොළඹ පිහිටි ජනපති නිල නිවසේදී පෙරේදා (11 වැනිදා) සවස පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම විශේෂ සාකච්ඡාවට කථානායක කරු ජයසූරිය මහතා ද එක්‌ වී තිබිණි.

මෙසේ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සම්බන්ධයෙන් අගමැතිවරයා එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ ද සාකච්ඡා කොට ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය ද ලැබී තිබේ.

නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සඳහා එක්‌සත් ජාතික පෙරමුණට මේ වන විටත් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා නොමැතිව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නව මන්ත්‍රීවරයා ද සමඟින් ආසන 107 ක බහුතරයක්‌ පවතී.

ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය ද නව රජය පිහිටුවීමට මේ වනවිට එකඟතාව පළ කර ඇති අතර කිසිදු ඇමැති ධුරයක්‌ භාර නොගන්නා බවද ඔවුන් සඳහන් කර තිබේ.

මේ වනවිට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු 16 ක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

මේ අතර තව දුරටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ රැඳී සිටින මැති ඇමැතිවරුන් ඒ පිළිබඳව තමන්ට වහා දන්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට දැනුම් දී ඇත.

එලෙස රැඳී සිටීමට අකමැති අයට හිටපු ජනාධිපතිවරයා සමඟ හෝ නව එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුවට එක්‌වීමට හැකි බවද එහිදී ජනපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

අලුත්ම තත්ත්වය යටතේ ලබන බ්‍රහස්‌පතින්දා (15 දා) වන විට නව ආණ්‌ඩුවට අදාළ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු  පැවසීය.

නව රජයට එක්‌වන ඇමැතිවරුන් දැනට දරන විෂය පථයන් බොහෝ දුරට වෙනස්‌ නොවන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය විෂයයේ යම් වෙනසක්‌ සිදු කිරීමට එකඟතාව පළවී ඇතැයි එම ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් පැවසීය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 43 (3) පරිච්ඡේදය අනුව වත්මන් පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇති නායකයකු ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කළ යුතු වෙයි.

 

අකිත පෙරේරා
‘දිවයින’

Facebook Comments

more recommended stories

%d bloggers like this: