ඔහුගේ රන් ස්‌වරයට ඉඩදී ඇයගේ නඩුව වෙනම අහමු..!

සුපර් ස්‌ටාර් කිරුළ දිනූ තාරකාවක්‌ මෙන් හෂිනි නිලක්‍ෂි ද එක්‌ රැයකින් මෙරට ජනප්‍රිය වුවාය. ඒ දැනට වසරකට පමණ ඉහතදී ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්‌ටර් රත්නායක සමඟ විවාහ වීමත් සමඟින්ය. එම විවාහය මෙරට ජනතාව අතර ආන්දෝලනාත්මක සිද්ධියක්‌ බවට පත්විය. විවාහය සිදුවූ දින කිහිපය තුළ සමාජ වෙබ් අඩවි ජාලා සහ සමහර මාධ්‍යවල විවිධ අදහස්‌ දක්‌වමින් පුළුල් ප්‍රචාරයක්‌ ලබා දුන්නේය. ඒ සමඟම මෙම විවාහය සම්බන්ධයෙන් සමාජ කථිකාවතක්‌ද ඇති විය.

කෙතරම් ප්‍රබල සිදුවීමක්‌ වුවද දින කිහිපයක්‌ ඇතුළත එය අමතක වී යයි. එය මනුෂ්‍ය ස්‌වභාවයයි. හෂිනි සහ වික්‌ටර් රත්නායක අතර විවාහයද එලෙසය. සතියකින් පමණ පසු බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ අමතක විය. කවුරුත් ඒ ගැන කතා නොකළහ. ඔවුහු සතුටින් යුගදිවිය ගත කළහ. එහෙත් පසුගිය 09 වැනිදා යළිත් හෂිනි රත්නායක ගැන රටම කතා කිරීමට පටන් ගත්තේය. ඒ රන් භාණ්‌ඩ වංචාවක්‌ සම්බන්ධයෙන් සැකපිට ඇයව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවය. එම සිද්ධිය සැකෙවින් මෙසේය.

වික්‌ටර් රත්නායක සමඟ විවාහ වීමට පෙර හෂිනි පදිංචිව සිටියේ ගාල්ල, කන්දෙවත්ත ප්‍රදේශයේය. පවුලේ බාලයා වූ ඇයට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක්‌ද සිටියහ. රාජ්‍ය බැංකුවක නිලධාරිනියක්‌ ලෙස ඇය රැකියාව කළාය. එම කාලසීමාව තුළ ඇය දැන හඳුනාගත් තරුණයකු සමඟ විවාහ වූවාය. එහෙත් එම විවාහයට වැඩි ආයුෂයක්‌ නොතිබුණි. ඉතා කෙටි කලකින් ඔහු ඇගෙන් දික්‌කසාද විය. පළමු විවාහය අසාර්ථක වීමත් සමඟ ඇය තවත් නොසිතූ ගැටලු කිහිපයකට මුහුණ දුන්නාය. ඒ අතර ආර්ථික අතින්ද ඇය සිටියේ අස්‌ථාවර මට්‌ටමකය. ඒ වන විට ඇය සේවය කළේ එම රාජ්‍ය බැංකුවේ තංගල්ල ශාඛාවේ උකස්‌ අංශයේය.

සතුට පේන මානයකවත් නොතිබුණි. එන්න එන්නම ඇයට හිමි වූයේ දුකම පමණි. ඒ සමඟම ආර්ථික වශයෙන් අගාධයකට ඇය ඇද වැටුණි. දස අතේ ඇය කල්පනා කළේ ඉන් මිදෙන මාර්ගයක්‌ය. එහෙත් එවැනි මාර්ගයක්‌ ඇයට නොතිබිණි. අවසානයේ හොඳින් හෝ නරකින් මුදල් සෙවීමට ඇය තීරණය කළාය.

එම රාජ්‍ය බැංකුවේ හෂිනි සේවය කරන්නේ උකස්‌ අංශයේ ය. ඒ හරහා කිසිවෙකුටත් නොදැනෙන ලෙස වංචාවක්‌ සිදුකර යම්කිසි මුදලක්‌ සොයා ගැනීමට පිඹුරු පත් සැකසුවා විය හැකිය.

රංජනී තංගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය සැම විටම ගනුදෙනු සිදු කළේ හෂිනි සේවය කරන රාජ්‍ය බැංකුවේය. ඇයට හදිසි මුදල් අවශ්‍යතාවක්‌ පැන නැගුණි. කළ හැකි කිසි දෙයක්‌ නොමැති නිසා සන්තකයේ තිබූ රන් භාණ්‌ඩ සියල්ල උකස්‌ කර හයලක්‍ෂ අසූදාහක මුදලක්‌ ලබා ගත්තාය. ඒ සියලු ගනුදෙනු සිදු කළේ හෂිනි විසින්ය.

එම ගනුදෙනුව සිදුවී මාස කිහිපයක්‌ ඇතුළත රංජනී රැකියාවක්‌ සඳහා විදෙස්‌ වුවාය. ඒ පිළිබඳව බැංකු නිලධාරීන් දැනුවත් කිරීමටද ඇය අමතක නොකළාය.ඒ සමඟම සමහරුන් සිතුවේ එම කාන්තාව යළි රන් භාණ්‌ඩ බේරා ගැනීමට නොපැමිණෙන බවයි. අනතුරුව එම රාජ්‍ය බැංකුවේ සේප්පුවෙන් විදෙස්‌ ගතවූ එම කාන්තාව උකස්‌ කළ රන් භාණ්‌ඩ සියල්ලම අතුරුදහන් විය.

සති, මාස ගණන් ගතවිය. කිසිදු ප්‍රශ්නයක්‌ පැන නැගුණේ නැත. සොරා සිතුවේ කිසිදිනක එම සොරකමට තමා හසු නොවන බවයි. ඒ අනුව තවත් පුද්ගලයකු උකස්‌ කළ රුපියල් ලක්‌ෂ හයක්‌ වටිනා රන් භාණ්‌ඩද එම බැංකුවේ සේප්පුවෙන් අතුරුදහන් විය. ඒ වෙනුවට එම රන් භාණ්‌ඩ ප්‍රමාණයට සරිලන සේ රන් ආලේපිත ඉමිටේෂන් භාණ්‌ඩ තැබීම ද සිදුවිය. මෙම සියලු රන් භාණ්‌ඩ ඉතා සූක්‍ෂම ලෙස සොරකම් කරන්නේ 2014 වර්ෂයේදීය.

එලෙස කලක්‌ ගතවිය. එම කාලය අතරතුර හෂිනි වික්‌ටර් රත්නායක සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගන්නේය. ඒ සමඟම ඇය එම රාජ්‍ය බැංකුවෙන් ඉල්ලා අස්‌විය.

විදෙස්‌ ගතවූ කාන්තාව 2016 වර්ෂයේ දී යළිs මවුබිමට පැමිණියාය. එලෙස පැමිණි ඇය රන් භාණ්‌ඩ බේරා ගැනීම සඳහා බැංකුවට පැමිණියාය. එහෙත් ඇයගේ රන් භාණ්‌ඩ සියල්ල සේප්පුවෙන් අස්‌ථානගත වී තිබිණි. බැංකු නිලධාරීහු දැඩි අපහසුතාවකට පත්වූහ. සිදුවූයේ කුමක්‌ද කියා ඔවුනට සිතා ගැනීමටවත් නොහැකි වූහ. ඒ සමඟම එම සේප්පුව තවදුරටත් පරීක්‍ෂා කළහ. එහිදී තවත් පුද්ගලයකුගේ රන් භාණ්‌ඩ වෙනුවට ඉමිටේෂන් භාණ්‌ඩ ඇති බව ඔවුනට සොයා ගැනීමට හැකිවූහ.

බැංකු නිලධාරීහු වහාම ඒ පිළිබඳව තංගල්ල පොලිසියේ පැමිණිල්ලක්‌ දැමූහ. ඒ සමඟම රන් භාණ්‌ඩ නැතිවූ කාන්තාව සහ අනෙක්‌ පුද්ගලයාද ඒ පිළිබඳව එම පොලිසියේම පැමිණිල්ලක්‌ දැමුවෝය. සීසීටීවී කැමරා පරීක්‍ෂා කළ බැංකු කළමනාකරුට හෂිනි රත්නායක එම රන් භාණ්‌ඩ සොරකමට සම්බන්ධ බවට දැන ගන්නට ලැබිණි. පොලිසියටද ඔහු ඒ පිළිබඳව දැනුම් දුන්නේය. එතැන් සිට පොලිසිය කළ පරීක්‍ෂණවලදීද හෙළි වූයේ හෂිනි රත්නායක එම රන් භාණ්‌ඩ සොරකමට සම්බන්ධ බවයි.

2016 වසරේ දී තංගල්ල පොලිසියේ දැමූ එම පැමිණිල්ලට වසර එකහමාරක්‌ යන තුරු නිසි පරීක්‍ෂණයක්‌ සිදු නොවීය. එම නිසා එහි වැඩිදුර පරීක්‍ෂණ සඳහා තංගල්ල විශේෂ විමර්ශන ඒකකයට භාර දුන්නේය. එහිදී එම නිලධාරීහු කඩිනමින් පරීක්‍ෂණ අරඹා හෂිනි රත්නායකට හැකි ඉක්‌මනින් පොලිසියට ඉදිරිපත් වන ලෙස දැන්වූහ.

වහාම ඇය නීතිඥවරයකු මාර්ගයෙන් තංගල්ල විශේෂ විමර්ශන ඒකකයට භාර විය. ඉන්පසු ඇය පොලිස්‌ අත්අඩංගුවට ගෙන තංගල්ල අධිකරණයට ඉදිරිපත් කළේ රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම, සාපරාධී විශ්වාස කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥ පනත යටතේ චෝදනා කරමින්ය. එම චෝදනා සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරයා සතියක කාලයකට ඇයව රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

සිද්ධිය එතැනින් අවසන් නොවිණි. මෙම සිදුවීමේ සැඟවුණු පැත්තක්‌ ඇති බවටද තංගල්ල විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු සැක පහළ කරති. ඒ අනුව ඒ සම්බන්ධයෙන්ද ඔවුහු පරීක්‍ෂණ ආරම්භ කරති. එයට ප්‍රධානම හේතුව වන්නේ හෂිනි රත්නායක 2014 වසරේ සිට 2016 දක්‌වා වූ කාලය තුළදී මෙම වංචාව සිදුකර ඇති බවට සැක කරන අතර මින් කලකට ඉහත සිදු කරගත යුතුව තිබුණු පරීක්‍ෂණයක්‌ මෙතරම් ප්‍රමාද වූයේ ඇයිද යන්න පිළිබඳවයි.

මෙම රන් භාණ්‌ඩ හිමි පැමිණිලිකාර කාන්තාව විදෙස්‌ගතව සිටීම නිසා මෙම පරීක්‍ෂණ ප්‍රමාද වූවාද, එසේ නැතහොත් ඇයට හෝ පොලිසියට කිසියම් අල්ලසක්‌ දී පැමිණිල්ල ප්‍රමාද කර හෝ සිද්ධි සමථයට පත්කර ගැනීමට උත්සාහ කළාද, එසේ නැතහොත් බාහිර පුද්ගලයකුගේ බලපෑමක්‌ මත මෙම පරීක්‍ෂණ හිතාමතාම ප්‍රමාද කළාද යන්න පිළිබඳව සැකයක්‌ මතුවී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වික්‌ටර් රත්නායකගේ පුත් ලෙලුම් රත්නායකද වීඩියෝවකින් කියා සිටියේ “අපේ තාත්තා සල්ලි දීලා එම චෝදනාවලින් ඇයව බේරා ගත්තා” යනුවෙනි. එම ප්‍රකාශය සම්බන්ධයෙන්ද පොලිස්‌ නිලධාරීහු පරීක්‍ෂණයක්‌ පවත්වති. සමහරු මෙම සිදුවීම අළලා ආචාර්ය වික්‌ටර් රත්නායකට විවිධ මඩ ප්‍රහාර එල්ල කරති. එය ශිෂ්ට සම්පන්න සමාජයක්‌ තුළ කිසිසේත් අනුමත කළ හැකි ක්‍රියාවක්‌ නොවේ. වික්‌ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතයෙන් අපට කිසිදු වැඩක්‌ නොමැත. මෙම ශ්‍රේෂ්ඨ සංගීතවේදියා මෙරට සංගීත ක්‌ෂේත්‍රය වෙනුවෙන් අමරණීය සේවයක්‌ කර තිබේ. මෙම විශ්වය පවතින තුරා ඔහුගේ ගීත රසවිඳිය හැකිය. එහෙයින් අප කළ යුත්තේ ඔහුගේ පෞද්ගලික ජීවිතය දෙස බලා මඩ ගැසීම නොව ඔහු සංගීත ක්‌ෂේත්‍රය වෙනුවෙන් කර ඇති අමරණීය මෙහෙවර ගැන සිතීම පමණි.

ගයාන් සමරසිංහ

Facebook Comments

more recommended stories

%d bloggers like this: