හැමෝටම ප්‍රශ්නයක් වුනු “මනස” තියෙන්නේ කොතැනද..? – මෙන්න උත්තරේ..!

ඈත අතීතයේ ඉඳලම මිනිස්සු කල්පනා කළා අපේ හිත, එහෙම නැත්නම් විඥාණය කියන්නේ මොකද්ද, ඒක තියෙන්නේ කොහෙද කියලා. අද වෙන තුරුත් අපිට ඒ ගැන සර්ව සම්පූර්ණ උත්තරයක් හොයාගන්න පුළුවන් වෙලා නෑ. සමහරු කියනවා හිත කියන්නේ අපේ මොළයට කියලා. තවත් සමහරු කියනවා හිත කියන්නේ අපේ සිරුරෙන් පරිබාහිරව තියෙන අභෞතික ශක්තියක් කියලා. අපි අද කතා කරන්න යන්නේ මේ විවාදාත්මක මාතෘකාව ගැනයි. නිවැරදිවම කිව්වොත් ස්නායුවේදයට (Neurology) අනුව අපේ හිත ගැන ඉදිරිපත් කරලා තියෙන විවරණය ගැනයි. කොහොම වුණත් මුලින්ම කිව්වා වගේ මේ ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුරක් කවුරුත් තවම සොයා ගෙන නැති නිසා ඕනම කෙනෙක්ට තමන්ගේ මතයක් දරන්න ඉඩ තියෙන බව මතක තියාගන්න.

සිත හෙවත් විඥ්ඥාණය ගැන විවිධ ආගමික ශාස්ත්‍රූවරු, දාර්ශනිකයෝ විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා බහුතරයක කියැවෙන්නේ සිත කියන්නේ අපේ සිරුර ඇසුරු කරගෙන පවතින්, එහෙත් සිරුරෙන් පරිබාහිරව පැවැත්මක් තියෙන යමක් විදිහටයි. මරණයේදී සිරුර විනාශ වුණාට සිත (ආත්මය, විඥාණය ) නොනැසී පවතින බව බොහෝ ආගම් වල පැවසෙනවා. නමුත් ස්නායුවේදයට අනුව බහුතරයක් විද්‍යාඥයෝ පිළිගන්නේ මනස කියන්නේ මොළය මගින් ඇති කරන විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් කියලා. ඒත් ඇයි එහෙම කියන්නේ? මොළය තමයි අපේ ස්නායු පද්ධතියේ ප්‍රධාන මූලස්ථානය. ස්නායු පද්ධතිය මගින් තමයි අපේ සිරුරේ පණිවිඩ තැනින් තැනට ගෙනියන්නේ. මේ සඳහා භාවිතා වෙන්නේ ස්නායු සෛල හෙවත් නියුරෝන. නියුරෝන වලට හැකියාව තියෙනවා විද්‍යුත් සංඥාවක් එක තැනක සිට තව තැනකට සම්ප්‍රේෂණය කරන්න. අපේ ඇස මගින් යම් රූපයක් දැක්කහම ඒ තොරතුර විද්‍යුත් සංඥාවක් විදිහට මොළය වෙත යැවෙනවා. ඒ සංඥාව හඳුනා ගැනීම සිදු කරන්නේ මොළය මගින්.

හරි. ස්නායු පද්ධතියෙන් අපේ සිරුරේ එහා මෙහා පණිවිඩ ගෙනියන එක හරි. ඒත් ඇයි විද්‍යාඥයෝ කියන්නේ අපේ විඥාණය තියෙන්නේත් මොළය තුළ කියලා? ඇත්තටම ඔවුන් කියන්නේ සිත කියන්නේ මොළයේ ඇති වන විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් කියලා.ඔවුන් මූලිකවම පෙන්වා දෙන්නේ මනස සහ ස්නායු පද්ධතිය අතර ඇති නොබිඳෙන සබඳතාවයයි. මේ සඳහා ඔවුන් ගේන තර්ක කිහිපයක්ම තියෙනවා.

යම් කිසි අනතුරකින් කෙනෙකුගේ මොළයට යම් හානියක් වුණහම ඒ පුද්ගලයාට විව්ධ ආකාර වල මානසික රෝගී තත්ව ඇති වන බව අපි දැකලා තියෙනවා. හානියට ලක් වන මොළයේ කොටස අනුව ඇති වන මානසික රෝගී තත්වයත් වෙනස් වෙනවා. සමහරුන්ට මතකය අමතක වෙනවා, නැත්නම් සමාජ සම්බන්ධතා වලට ඇති හැකියාව නැති වෙනවා, නැතිනම් පෞරුෂය වෙනස් වෙනවා, සමහර විට කෝමා තත්වයන්ට පවා පත්වෙනවා. මේ කරුණ මත පදනම්ව ස්නායුවේදීන් කියනනේ මොළයේ සිදු වන හානියක් නිසා මානසික රෝගයක් ඇති වෙනවා නම්, මනස බොහෝ විට මොළය ඇසුරු කරගෙන පවතිනවා විය හැකි බවයි. සිත කියන්නේ සිරුරෙන් බාහිරව පවතින දෙයක් නම්, සිරුරට සිදු වන භෞතික හානියක් නිසා සිත වෙනස් වීමට ලක් වෙන්නේ කොහොමද කියලා ඔවුන් ප්‍රශ්න කරනවා.

මොළයේ සහ ස්නායු පද්ධතියේ පරිණාමය දිහා බැලුවොත් අපිට පැහැදිලි රටාවක් හඳුනාගන්න පුළුවන්. ජීවීන් අතරින් ස්නායු පද්ධතියක් තියෙන්නේ මූලිකවම සත්ව රාජධානියට පමණයි. (ඒ වගෙම අපි සිතීමේ හැකියාවක් තියෙනවා කියලා සළකන්නෙත් සතුන්ට පමණයි නේද?) පරිණාමයෙන් පහළ සතුන්ගේ ස්නායු පද්ධතිය බොහොම ප්‍රාථමිකයි. ජෙලි ෆිශ් වගේ සතුන්ට මොළයක් වෙනුවට තියෙන්නේ දේහය පුරා විහිදුණු ස්නායු දැලක් පමණයි. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකමුත් ඉතාම සරළ පටු පරාසයකට සීමා වෙලා තියෙනවා. ගොදුරක් අල්ලා ගැනීම, ගොදුරක් සොයාගෙන යෑම වගේ වගේ සරළ අරමුණු කිහිපයක් පමණයි ඔවුන්ට තියෙන්නේ.

පරිණාමයෙන් මදක් ඉහළ සතුන්ට එනකොට, ඒ කියන්නේ කෘමීන්ට වගේ, ඔවුන්ට ගැංග්ලියා සහිත වඩාත් දියුණු ස්නායු පද්ධති තියෙනවා. ගැංග්ලියාවක් කියන්නේ එක් රැස් වුණු සහ සමීප සම්බන්ධතා රැසකින් යුත් ස්නායු සෛල පොදියක්. කෘමීන්ට ගොදුරු සොයා යනවට අමතරව විලෝපිකයන්ගෙන් බේරෙන්න, ජනපද ගොඩනගන්න, කෑම රැස් කරලා තියාගන්න වගේ සංකීර්ණ ක්‍රියා ගොඩක් කරන්න පුළුවන්. අපි මෙතනිනුත් එහාට ගියොත් පෘෂ්ඨවංශී සතුන්ට එද්දී, ඒ කියන්නේ ක්ෂීරපායීන්, උරගයන්, පක්ෂීන් වගේ, ඔවුන්ගේ ස්නායු පද්ධතිය අතිශය සංකීර්ණයි. ගැංග්ලියා වලට අමතරව ස්නායු සෛල එකතුවෙලා හැදුණු මොළයක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම ඔවුන්ට අනික් ජීවීන්ට වඩා ගොඩක් සංකීර්ණ ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඔවුන්ට ආදරය, දරු සෙනෙහස වගේ දියුණු හැඟීම් පවා තියෙන බව අපිට දකින්න පුළුවන්. ඉතින් මේකෙන් පේන්නේ ස්නායු පද්ධතියේ පරිණාමය සමග ජීවීන්ගේ මනසත් ක්‍රමයෙන් සංකීර්ණත්වයට පත් වෙලා තියෙන බවයි. සිත සහ ස්නායු පද්ධතිය අතර තියෙන සම්බන්ධය පෙන්වන තවත් සාධකයක් තමයි ඒ.

කෙනෙකුට හිතෙන්න පුළුවන් සිත කියන්නේ පරිණාමිකව ඉහළ ක්‍රියාවලියක් නම් එහෙම දෙයක් පැවතීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකද්ද කියලා. අනික් හැම දෙයක් වගේම මනසේ වැදගත්කම තියෙන්නේත් අපේ ජීව විශේෂය නොනැසී පවත්වාගන්න. මනස සංකීර්ණ වෙන කොට අදාල ජීවියා තුළ ‘මම’ කියන සංකල්පය පහළ වෙනවා. ඒ අනුව තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නට ජීවියා ක්‍රියා කරනවා. හිතන්නකෝ කවුරු හරි කෙනෙක් ගහක් කපන්න යනවා කියලා. එහෙමයි කියලා ගහ ඒ ගැන දන්නවද? ගහ ඒකට විරුද්ධව මොකුත් කරන්න උත්සාහ කරනවද? නැහැ. මොකද ගහකට තමා පිළිබඳ දැනීමක් (self awareness එකක් ) නැහැ. නමුත් සතෙක්, තම්න්ට අනතුරක් තියෙන බව දැක්කොත් එතැනින් ඉවත් වෙන්න හෝ සටන් කරන්න පෙළඹෙනවා. ඒ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. එමගින් ස්නායු පද්ධතියක් තියෙන ජීවීන්ට ජීවත් වෙන්න වැඩි වාසියක් ලබා දෙනවා.

මනස කියන්නේ මොළය මගින් ඇති කරන ක්‍රියාවලියක් නම් මරණයේදී මනසට මොකද වෙන්නේ? වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් මරණයේදී සිදු වන්නේ මොළයේ නියුරෝන වලට අවශ්‍ය කරන ඔක්සිජන් නොලැබී යාම නිසා ඒ සෛල මරණයට පත්වීමයි. සිහිය පවත්වාගැනීමට අදාල නියුරෝන මියගියාට පසුව මනස කියන ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගන්නට නොහැකි වෙනවා. ඒ නිසා ඒ ක්‍රියාවලිය නිශේධනය වෙනවා. තවදුරටත් ඒ සිරුර තුළ මනසක් පවතින්නේ නැහැ.

මොළය කියන්නේ අති දැවැන්ත විද්‍යුත් පරිපථයක්. මොළය තුළ නියුරෝන බිලියන ගණනාවක් තියෙනවා. ඒ වගේම ඒවා තමන් අවට ඇති අනෙක් නියුරෝන එක්ක සම්බන්ධතා විශාල ප්‍රමාණයක් පවත්වනවා. අපි තවම මේ සම්බන්ධතා වලින් 1%ක්වත් අවබෝධ කරගෙන නැහැ. යම් දවසක අපි මේ සියළුම සම්බන්ධතා අනාවරණය කරගත් දවසක අපිට නිවැරදිවම කියන්න පුළුවන් සිත කියන්නේ මොළයේ නිර්මාණයක්ද, එහෙම නැත්නම් ඉන් පරිබාහිරව පවතින දෙයක්ද කියලා. ඒ වෙනකල් අපි පළ කරන හැම අදහසක්ම මතවාදයක් පමණයි.