Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

ඉන්දියාව,පාකිස්තානය අසරණ කළ යොවුන් මළල ක්‍රීඩා තරු ඉතිහාසයේ ඉහලම දස්කම්..!

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ සුපිරි දස්කම් දක්වමින් තරගාවලියේ අනුශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා සමත්ව තිබේ.

තරගාවලිය පුරාම නව තරග වාර්තා රැසක් තබමින් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා යෞවන යෞවනියන් සමත් වූයේ ඉතිහාසයේ ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමක් දැක්වූ ඉහලම දස්කම වාර්තා කරමිනි.

තෙවැනි වරට පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රන් 20 ක්‌, රිදී 22 ක්‌ සහ ලෝකඩ 8 ක්‌ දිනා ගනිමින් සමස්‌ත ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්‌ඩායම සමත් වන අතරවාරයේ රන් 12 ක්‌, රිදී 10 ක්‌ සහ ලෝකඩ 19 ක්‌ දිනූ ශ්‍රී ලංකාවට එහි අනුශූරතාව හිමි විය. තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව විසින් ලබා දුන්නේ දෙවෙනි වරටය.

මෙය මෙතෙක්‌ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ විසින් දක්‌වන ලද ඉහළම දක්‌ෂතාව ලෙස ඉතිහාසයට එක්‌ විය. මීට ඉහතදී අවසන් වරට 2013 වර්ෂයේදී ඉන්දියාවේ රංචිහි පැවැති ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම රන් 10ක්‌, රිදී 10ක්‌ සහ ලෝකඩ 14 ක්‌ වශයෙන් දිනා තිබේ.

ශූරතාවලිය පුරාම රන් පදක්‌කම් සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්වන්ද සටනක නියෑළුණු අතර සෙසු එකදු රටකට හෝ රන් පදක්‌මක්‌ දිනා ගැනීමට නොහැකි වීම මෙහිදී විශේෂත්වයක්‌ විය.

ඒ අතරින් පාකිස්‌තානය රිදී පදක්‌කමක්‌ සහ ලෝකඩ පදක්‌කමක්‌ද, බංග්ලාදේශය ලෝකඩ පදක්‌කම් දෙකක්‌ද, මාලදිවයින ලෝකඩ පදක්‌කමක්‌ද වශයෙන් දිනා ගැණින. එහිදී නේපාලයට එකදු පදක්‌කමක්‌ හෝ දිනා ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්‌ බවට පත්විය.

තුන්වන දිනයේ කැපී පෙනෙන ධාවනයක නියෑළුණු දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ නව තරගාවලි වාර්තාවක්‌ සමගින් විනාඩි 2.07.73 ක කාලයකින් මීටර් 800 බාලිකා ඉසව්ව අවසන් කළාය.  එය ලෝක ශූරතා වයස අවු. 20 න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඇයට ඉවහල් වූ අතර එම තරගාවලියේ පරිසාදන මට්‌ටම විනාඩි 2.08.70 ක්‌ වශයෙන් දැක්‌විණි.

බාලිකා මීටර් 200 ඉසව්වේ තමන්ට අභියෝගයක්‌ එල්ල කිරීමට දකුණු ආසියාවේ තවත් ක්‍රීඩිකාවන් නොමැති බව පසක්‌ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉසව්වේ රන් , රිදි, ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකා ධජය යටතට රැගෙන ආවේ ඉන්දියාව, පාකිස්තානය ඇතුලු සෙසු රටවල් අසරණ කරමින් ය.

එහිදී පිළිවෙලින් රන් පදක්‌කම අමාෂා ද සිල්වාටත් (තත්. 24.70), රිදී පදක්‌කම ශර්මිලා ජෑන්ස්‌ටත් (තත්. 24.80), ලෝකඩ පදක්‌කම ශෙලින්ඩා ජැන්සෙන්ටත් (තත්. 25.08) හිමි වූවාය.

මීටර් 100, 100*4, 200 සහ 400*4 යන සියලු ඉසව්වන්ගෙන් රන් පදක්‌කම් දිනා ගැනීමට අමාෂා ද සිල්වා සමත්ව තිබීම මෙහිදී කැපී පෙනෙන කරුණක්‌ බවට පත්විය. ඇයගේ දක්ෂතා කැපි පෙනුනු අතර දිනෙක මවුබිමට ඉහල ගෞරවයක් ගෙන ආ හැකි ප්‍රවේශමෙන් රැක බලා ගත යුතු ක්‍රීඩිකාවක් ලෙසින් විචාරකයන් විසින් අමාෂා ද සිල්වා හැදින්විය.

මීටර් 400 බාලක කඩුලු මතින් දිවීමේ ඉසව්ව නව තරගාවලි වාර්තාවක්‌ බවට පරිවර්තනය කරගත් පී.එම්.පී.එල්. කොඩිකාර සහ ඉන්දීය ක්‍රීඩක අමන් අදාළ වාර්තාවේ සම හිමිකරුවෝ වූහ.

ඔවුන් දෙදෙනාම තත්. 52.56 කින් ඉසව්ව නිමාකර තිබුණ නමුත් රන් පදක්‌කම ශ්‍රී ලංකා ක්‍රීඩකයාට හිමි විය. එම ඉසව්වේ තෙවැනි ස්‌ථානය ඉන්දියාවේම ධාවල් මහේෂ්ට හිමි වූයේ තත්. 53.35 කින් තරගය නිමා කිරීම හේතුවෙනි.

දෙවැනි දිනයේ අවසාන තරග ඉසව්ව වශයෙන් පැවැති බාලක මීටර් 400*4 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්‌කම හිමි විය. ඉන්දියාව සමග කරට කර සටනක්‌ව පැවැති මෙම ඉසව්වේදී පළමු වට දෙකම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටි නමුත් තෙවැනි වටයේ අවසාන මීටර් කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයා අභිබවා ගිය ඉන්දියානු ක්‍රීඩකයා සිව්වැනි වටය සඳහා පළමුවෙන් යෂ්ටි හුවමාරුව සිදු කරමින් ඉදිරිය ලබා ගත්තේය.

පළමු දිනයේදී මීටර් 400 ඉසව්වේ නව තරගාවලි වාර්තාවක්‌ තබමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙසින් මෙම ඉසව්ව සඳහා සහභාගී වූ අරුණ දර්ශන පළමු මීටර් 100 ඇතුළතදී ඉන්දීය ක්‍රීඩකයා පසු කරමින් ශ්‍රී ලංකාවේ පදක්‌කම් බලාපොරොත්තු ඉහළ දැමුවේය. ඉසව්වේ අවසාන භාගයේදී ප්‍රෙක්‌ෂකයින්ගේ ඔල්වරසන් මධ්‍යයේ සිය වේගය තවදුරටත් වැඩිකළ අරුණ වි. 3.08.21 ක කාලයක්‌ සටහන් කරමින් ඉසව්ව නිමා කළේ නව තරගාවලි වාර්තාවක්‌ද පිහිටුවමිනි. එහි පැවැති වාර්තාව 2007 වර්ෂයේ කොළඹදී වි. 3.14.56 කින් එම ඉසව්ව නිමාකළ ඉන්දීය කණ්‌ඩායම සතු වී තිබිණි.

දිනයේ කාර්යබහුලම ක්‍රීඩකයින් අතර සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක අරුණ දර්ශන උදැසන වරුවේ පැවැති බාලක මීටර් 200 අවසන් පූර්ව වටය සඳහා සහභාගී වී සවස්‌ වරුවේ එම අවසන් තරගයෙන් රන් පදක්‌කම(තත්. 21.50) දිනා අනතුරුව මීටර් 400 සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වී සිටියේය.

එම බාලිකා ඉසව්වේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වි. 3.43.31 ක කාලයකින් ඉසව්ව අවසන්කර නව තරගාවලි වාර්තාවක්‌ පිහිටුවීමට සමත් වූහ.

මෙහිදි ශ්‍රී ලංකාවට වඩා භූමියෙන් විශාල, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහලම පහසුකම් ලබා දෙන පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් අසරණ කිරීමටත්, ලොව හොදම මළල ක්‍රීඩා කණ්ඩායමක් වන ඉන්දීය කණ්ඩායමට කරට කර සටනක් ලබා දීමටත් සත්කාරක ශ්‍රී ලංකාව සමත් වීම කැපි පෙනුනි.

මෙවැනි ඉහල දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායමට අවශ්‍ය සියලු පහසුකම් සපයා දී, ඔවුන් රැකබලා ගතහොත් දකුණු ආසියාව ජය ගත් ඔවූන්ට ආසියාව මෙන්ම ලෝක මට්ටමේ ජයග්‍රහනයන්ටද යා හැකි බවට විචාරකයන් අදහස් දක්වා තිබුණි.