• Sat. Jan 28th, 2023

මැතිවරණය මෙන්ම ක්‍රමයද සාධාරණය විය යුත්තේ ඇයි..?

BySandun

May 16, 2015

election

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාසංශෝධනය ලෙස පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කෙරෙන යෝජනා ඇතුළත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති බවත් එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කොට තිබුණි. යෝජිත නව මැතිවරණ ක‍්‍රමය කොට්ඨාශ ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ මිශ‍්‍රණයක් බවත් එය ශ‍්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් එකඟ වී ඇති දිනේශ් ගුණවර්ධන කමිටු වාර්තාව මත පදනම් ව ඇති බවත් කියවේ.

සමානුපාතික නියෝජන ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ක‍්‍රමයට හදුන්වා දෙනු ලබන්නේ එතෙක් පැවති කොට්ඨාශ ක‍්‍රමයේ යම්යම් දුර්වලතා සැලකිල්ලට ගනිමිණ.බහුතරයේ කැමැත්ත මෙන්ම සුලුතරයේ කැමැත්ත ද පාර්ලිමේන්තුව තුළ සාධාරණ ලෙස නියෝජනය වීම එයින් ප‍්‍රධාන විය. ඒ වෙනුවෙන් හදුන්වා දුන් සමානුපාතික නියෝජන ක‍්‍රමයෙන් බහුතරයේ සහ සුඑතරයේ කැමැත්ත වඩා සාධාරණ ලෙස නියෝජනය කිරීමේ අවස්ථාව සැලසුනද එය ක‍්‍රියාත්මක වීමේදී වඩා සංකීර්ණ ගැටඑ ගණනාවක් මතුවිය.මනාප ක‍්‍රමය එයින් වඩාත් කතා බහට ලක්වූ මාතෘකාව විය.

එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර පවා මනාප එකතු කිරීම වෙනුවෙන් ඇතිවන ගැටුම් සෑම මැතිවරණ කොට්ඨශයකම පාහේ සුලභ විය. කොඩිවැල් කැපීමේ සිට කාර්යාල හෝ ගෙවල් ගිණි තැබීම්, වේදිකා ගිණි තැබීම් සහ මනුෂ්‍යය ඝාතන දක්වා මේ මනාප පොරය දුර දිග ගියේය. අනෙක් පසින් තම අවධානය දිනාගැනීම වෙනුවෙන් ඡන්ද දායකයන්ට විවිධ ද්‍රව්‍යමය ආධාර බෙදීම මේවන විට ඡන්ද දිනාගැනීමේ ජනප‍්‍රියම උපාය මාර්ගයක් වී තිබේ. දින දර්ශනයෙන් කැලැන්ඩරයෙන් ඇරඹුණුු මේ බෙදාදීම් ඉකුත් ජනාධිපතිවරණය වන විට ගෑස්ලිප්, බිත්ති ඔරලෝසු, ජංගම දුරකථන වතුර ටැංකි ආදී මිල අධික ද්‍රව්‍යමය ආධාර දක්වා ව්‍යාප්ත විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ මැතිවරණයකදී අපේක්ෂකයකු වියදම් කරන මුදල කෝටි ගණනින් ඉහළ යෑමයි.

මැතිවරණයකට ඉදිරිපත්විය යුත්තේත්,ජයග‍්‍රහණය කොට පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස තේරී පත්විය යුත්තේත් රාජ්‍යය ප‍්‍රතිපත්ති පිළිබද තීන්දු තීරණ ගතහැකි පිරිසකි. රටේ ආර්ථිකය පිළිබදව, විදේශ සබදතා පිළිිබදව ජාතික හෝ වාර්ගික සබදතා පිළිබදව ඔවුන්ට තමන්ගේම වන දැක්මක් තිබිය යුතු අතර නැතහොත් තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක දැක්මක් වෙනුවෙන් පෙනීසිටින සහ ඒ දර්ශනය හෝ ප‍්‍රතිපත්ති වෙනුවෙන් කැපවී කී‍්‍රයාකරණ පිරිසක් විය යුතුය. එහෙත් සමානුපාතික නියෝජන ක‍්‍රමය ක‍්‍රියාත්මක වීමත් සමගම බහුලවම පාර්ලිමේන්තුවට පැමිණියේ ඒ ඒ ප‍්‍රදේශ නියෝජනය කරන ඉහළම සල්ලිකාරයින් පිරිස වීම විශේෂයකි. මේ සල්ලිකාරයින්අතරින් වැඩි දෙනෙක් විවෘත ආර්ථිකයේ පැමිණීමත් සමග විවර වූ අයථා මාර්ග ඔස්සේ මුදල් උපයාගත් කලු සල්ලිකාරයින් විය. ඔවුන්ගේ අයථා ඉපයීම් මාර්ග වල ස්ථාවරත්වය වෙනුවෙනුත්,පෙරලා දේශපාලන බලය හරහා උපයා ගත හැකි නව ඉපයීම් වෙනුවෙනුත් ඔවුහු බලය ලබා ගැනීමට උනන්දු වූහ.

කල්යත්ම මැතිවරණයකට ඉදිරිපත් විය හැක්කේ මෙවැනි කලු සල්ලිකාරයින්ට පමණක් වීමෙන් දේශපාලන උද්‍යෝගය සහිත පිරිස් පසුබා කලු සල්ලිකාරයින් දේශපාලන නියෝජිතයින් බවට පත්වීම සාමාන්‍යය දෙයක් බවට පත්විය.

සමානුපාතික නියෝජනයේදී දිස්ත‍්‍රික්කයක් එක ඒකකයක් කොට සැලකීමෙන් විශාල ඡන්ද ප‍්‍රදේශයක් ආවරණය කිරීමට අපේක්ෂකයන්ට සිදුවේ. මේ ඡන්ද ප‍්‍රදේශය ආවරණය වනුයේ දේශපාලන දැක්මෙන් උපයාගත් කීර්තිනාමයෙන් නොව හන්දි හන්දි ගානේ තම ඡායාරූප, පෝස්ටර්, කටවුට් ප‍්‍රදර්ශනයෙන් උපයාගන්නා ජනප‍්‍රියත්වයෙනි. එවැනි දැවැන්ත ප‍්‍රචාරක යාන්ත‍්‍රණයක් හරහා සිදුවන දැවැන්ත පරිසර හානිය කලක පටන් සාකච්ඡා වුවද විසදුම් නොලද ගැටලූවකි.

දිස්ත‍්‍රික්ක සදහා තෝරා පත්වෙන මන්ත‍්‍රීන්ට ද පෙරලා විශාල බල ප‍්‍රදේශයක් ආවරණය කරමින් රාජකාරි කිරීමට සිදුවන අතර, මැතිවරණ කොට්ඨාශයට වගකියන නිශ්චිත එක් මන්ත‍්‍රීවරයකු නොමැති කමින් ඒ ඒ ප‍්‍රදේශ වල ගැටලූ හෝ සංවර්ධන යෝජනා ඉහළට ගලා ඒම දිගු කලක පටන් අවහිර වී ඇත.
කලක පටන් සාකච්ඡුා වෙමින් තිබූ මේ ගැටලූ වලට විසඳුම් ලෙස නව මැතිවරණ ක‍්‍රමයක් සකසන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සියමැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් පොරොන්දු විය. 20 වන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ යෝජනාව ලෙස මැතිවරණ ක‍්‍රමය වෙනස් කෙරෙන යෝජනා ඇතුළත් ලියවිල්ලක් කරළියට පැමිණෙන්නේ ඒ අනුවය.

යෝජිත නව මැතිවරණ ක‍්‍රමය මගින් ඒ ඒ මැතිවරණ කොට්ඨාශයට, කොට්ඨාශ ක‍්‍රමය මගින් නිශ්චිත මන්තී‍්‍රවරයකු තෝරා ගැනෙන අතර සමානුපාතික නියෝජන ක‍්‍රමයෙන් දිස්ත‍්‍රික්කය සදහා තවත් අතිරේක මන්තී‍්‍රවරුන් කීපදෙනෙකු පත්කර ගැනීමට යෝජිතය. නැවත වරක් ජාතික ලැයිස්තුව මගින් මන්ත‍්‍රීවරුන් 59ක් තෝරා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර මේ අනුව සමස්ථ පාර්ලිමේන්තු නියෝජනය 225 සිට 255 දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇත. මෙම යෝජනාවන්ගේ ඇති ඇති වැදගත්ම සංශෝධනයනගේ ඇති වැදගත්ම යෝජනාව වන්නේ මනාප ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසිවීමයි. බැලූ බැල්මට සංකීර්ණ ක‍්‍රියාවලියක් සේ පෙනුනද ඡන්ද දායකයාට සරලව තම ඡන්දය පාවිච්චි කිරීමේ ඉඩ මේ ක‍්‍රමය මගින් තහවුරු කොට ඇත. ඡන්ද පත‍්‍රිකාව ඉතා සරල ලෙස නිර්මාණය වීම ඊට හේතුවයි. ඔහුට තමන් අභිමත දේශපාලන පක්ෂය සහ ඒ පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා හෝ තමා අභිමත දේශපාලන පක්ෂය සහ වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තම කොට්ඨාශයේ නියෝජිතයා ලෙස තෝරා ගැනීමේ නිදහස ඡන්ද දායකයාට ලබා දීමට යෝජනා වී ඇත. ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලින් පිටස්තරව තරග කරන අපේක්ෂකයින්ට වැඩි වාසි හිමිවන මෙම ක‍්‍රමය වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරක් ගන්නා යෝජනාවකි.

දැනට පවතින මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය සිදුවූයේ 1978 ට පෙර බැවින් නැවත සීමා නිර්ණය කොමිසමක් මගින් මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කළ යුතු බවට ද යෝජනා කෙරී ඇත. එවකට සිටි ඡන්දදායකයින් ලක්ෂ 75, මේවන විට ලක්ෂ 150 දක්වා වැඩිවී ඇති බැවින් සහ යුද්ධය සහ තවත් නොයෙක් හේතු මත වූ ජන සංයුතියේ වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය නැවත සිදුකිරීරීම අත්‍යාවශ්‍යය සාධකයක් වී ඇත.

මෙම කවර ප‍්‍රතිසංස්කරණ තුළින් හදුන්වාදෙන කවර මැතිවරණයකදී වුව සියලූ දේශපාලන පක්ෂ වලටද බලයට පත්වෙන රජයට ද නව දේශපාලන සංස්කෘතියක් ගොඩනංවාගැනීම වෙනුවෙන් පැවරෙන වගකීම සුලු පටු නොවේ. තම අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී, දූෂණ චෝදනා එල්ලවූ පිරිස්, කලු සල්ලිකාරයින් වෙනුවට නව දැක්මක් ඇති තරුණ පිරිස්,බුද්ධිමතුන් එකතු කරගැනීමේ වගකීම පැවරෙන්නේ දේශපාලන පක්ෂ නායකයින් වෙතය. විශේෂයෙන්ම පළපුරුදු ඇමතිවරුන් මන්ත‍්‍රීවරුන් සමග සමබිමක තරග කොට ජයගැනීම නවක තරුණයන්ට , කාන්තාවන්ට දුෂ්කර බැවින් ඔවුන් දිරිගන්වන නව ක‍්‍රමවේද සොයාගත යුතුය.එසේම මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට පෙළඹෙන පිරිස් ජයග‍්‍රහණය කළ ද ඔවුන්ගේ මන්ත‍්‍රී ධූර අහෝසි කළ හැකිවන පරිදි නීති සැකසීමටත් සියඑ දේශපාලන පක්ෂ උනන්දු විය යුතුය.

තමා බලයට පත්කිරීමට පෙළගැසුණු සියලු ජනතා බලවේග අපේක්ෂා කළ දේශපාලන සහ සමාජ ප‍්‍රතිසංස්කරණ ඉටුකිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ උත්සාහය බව පැහැදිලිය. එහෙත් තම කේවල් කිරීමේ බලය අහෝසි වේය යන සැකයෙන් ඇතැම් කුඩා දේශපාලන පක්ෂ උක්ත සංශෝධනයන්ගෙන් කලබලයට පත්ව ඇති බවක් දිස්වේ.මේ සියලු සැකසංකා දුරු කළ හැක්කේ අධ්‍යයනය කොට අවබෝධ කරගැනීමට පහසු වන ලෙස අදාළ සංශෝධන යෝජනා විවෘත සාකච්ඡාවන්ට බඳුන් කිරීමෙනි.

සංශෝධන ඉදිරිපත් කිරීමේ හෝ විකල්ප ඉදිරිපත් කිරීමේ හැකියාව එයින් ඔවුන්ට සැපයේ. නමුත් ඒ සියලු යෝජනා වල පොදු අරමුණ විය යුත්තේ පැවති ක‍්‍රමයට වඩා දියුණු මැතිවරණ ක‍්‍රමයකට යෑම විය යුතුය. තම දේශපාලන න්‍යායපත‍්‍රය වෙනුවට රටේ පොදු සමාජ දේශපාලන න්‍යාය පත‍්‍රය වෙනුවෙන් සාධාරණ කැපකිරීමක් කිරීමට එහිදී සියලු දේශපාලන පක්ෂ වලට සිදුවනු ඇත. ඒ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලංකාවේ සමස්ථ දේශපාලන සිතියම හැකිලී නොයන බැවිණී.

(අරුණි අහංගම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *