ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක් සඳහා මුදල් ඇමති රවී කරුණානායකගේ සහාය ලැබී ඇතැයි හෙළිදරව්වී තිබෙනවා.
ගෝල්ඩන් ෆුඩ්, වයඹ ට්‍රේඩර්ස්, AR,4S යන සමාගම් හතරක් මගින් මෙම කරුංකා පුවක් ජාවාරම සිදු කරමින් අධික ලාභයක් ලබා ගන්නා බවට වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කරුංකා පුවක් ගෙන්වා ප්‍රති අපනයනය කිරීමත් රේගු ආඥා පනතේ තාවාකාලිකව ආනයනය කරවා අපනයනය කිරීම යන ක්‍රමවේදයට (TEEP) පටහැනි ආකාරයෙන් සිදු වී ඇත. එමෙන්ම කරුංකා පුවක් වැනි ශාඛ ආශ්රිත භාණ්ඩ ලංකාවට ආනයනය කිරීමේදී පැළෑටි ශාඛ නිරෝධායන සහතිකය අදාළ සමාගම් විසින් ලබා ගත යුතු අතර ඉහත සමාගම් එවැනි සහතිකයක් ලබා නොගෙන නීති විරෝධීව මේවා අපනයනය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය මාර්තු අප්‍රේල් දෙමස ඇතුළත ඉහත ආකාරයෙන් ආනයනය කරන ලද කරුංකා පුවක් තොගයක් රේගු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව ගෝල්ඩන් ෆුඩ් සමාගම විසින් ගෙන්වන ලද කන්ටේනර් 10කින් 8ක් සඳහාද AR සමාගම විසින් ගෙන්වන ලද කන්ටේනර් 09ක් සඳහාද ඩොලර් 5000 බැගින් දඩ අයකර ගෙන ඇති අතර නැවත එම පුවක් තොගය ඉන්දුනීසියාවට යවා ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා.
මේ අතරතුර පසුගිය අප්‍රේල් 30 වනදා මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ මැදිහත් වීමෙන් කරුංකා පුවක්ද තාවාකාලිකව ආනයනය කරවා අපනයනය කිරීමට (TEEP) හැකි වන පරිදි රේගු ආඥා පනත සංශෝධනය කර ඇත.
4S සමාගම විසින් කන්ටේනර් 200කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇති අතර ඒ සඳහා දඩ මුදල් ගෙවීමට මැයි 15 වන දින එම සමාගම රේගුවට පැමිණ ඇත. නමුත් රේගු ආඥා පනත සංශෝධනය කර ඇති බැවින් එම වගන්තියට අනුව රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා විසින් දෙපාර්තමේන්තු නියෝගයක් මගින් සියලුම කරුංකා තොග අත්අඩංගුවෙන් නිදහස් කර තිබේ. ඒ අනුව රේගුවට විශාල දඩ මුදලක් අහිමි වී තිබෙන අතර ගෝල්ඩන් ෆුඩ් සහ ARර් සමාගමෙන් අය කරගන්නා ලද දඩ මුදල් නැවත ගෙවීමට සිදු වී තිබේ.
මීට ඉහත මෙම ජාවාරම සඳහා දේශපාලන බලය සපයා දී ඇත්තේ හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බවටද වාර්තා වේ.
රවී කරුණානායක ඇමතිවරයා රේගු ආඥා පනත වෙනස් කිරීමට යොමු කළ ලිපිය.
රේගුවෙන් සමාගම වෙත යොමු කළ ලිපිය
ගෙන්වන ලද කරුංකා පුවක් කන්ටේනර් ප්‍රමාණය
රේගු අධ්‍යක්ෂකවරයා නිකුත් කර ඇති ලිපිය.
(මූලාශ්‍රය : lankatruth.com)