ආසනික් ඇතුළු බැරලෝහ අඩංගු ග්ලයිපොසේඩ් නැමැති කෘෂි රසායන සහිත කන්ටේනර් 15 ක් වරායෙන් නිදහස් කර ඇති බව වාර්තා වේ. රජරට ප්‍රදේශයේ සීග්‍රයෙන් වර්ධනය වන වකුගඩු රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන කෘෂි රසායනයක් ලෙස මෙම ග්ලයිපෝස්ඩ් කෘෂි රසායන හඳුනාගෙන තිබේ.
මෙම හේතුව නිසා පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශවල ග්ලයිපොසේඩ් කෘෂි රසායනය අලෙවි කිරීම තහනම් කිරීමට කෘෂිකර්ම බලධාරීන් පියවර ගෙන ඇත. එහෙත් මෙය බලධාරීන්ගේ වකුගඩු රෝගය අවම කිරීම සම්බන්ධයෙන් දක්වන අවධානයේ තරම පෙන්වා දෙන අතීසාරයට අමුඩ ගසන්නාක් වැනි පිළියමකි. රජරට ප්‍රදේශයේ ගොවියන් දැන් කරන්නේ තම ප්‍රදේශවල මෙම රසායනිකය අලෙවියට නොමැති නිසා දඹුල්ල වැනි ප්‍රදේශවලට ගොස් මිලදී ගැනීමයි.
මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ පරිසර හා සෙබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ ආසනික් ඇතුළු බැරලෝහ අඩංගු ග්ලයිපොසේඩ් ආදී කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වීම තහනම් කළයුතු බවයි.
රවීන්ද්‍ර කාරියවසම් මහතා තවදුරටත් මෙසේ පැවසීය.
“කෘෂි රසායන ගෙන්වීම නතර කරනවා වෙනුවට රජය සිදුකරන්නේ වකුගඩු රෝගය වැළඳුණු පුද්ගලයන්ට මාසෙකට රුපියල් 3000 බැගින් ගෙවන එක. එය එම රෝගීන්ට බෙහෙත් ටික ගැනීමටවත් ප්‍රමාණවත් නැහැ. රෝගය වැළඳුණාට පස්සෙ ප්‍රතිකාර කිරීම නෙවෙයි කරන්න ඕන. රෝගය වැළඳෙන එක නවත්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. අවාසනාවට බලධාරීන් නොකරන්නෙත් ඒකමයි. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සිදුකළෙත් රසායනික ද්‍රව්‍ය ආනයනය නැවැත්වීමට කටයුතු කරන්නෙ නැතුව රෝගීන්ට රුපියල් 3000 ගානෙ දෙන එක. රජරට ගොවි පරපුරෙන් ජනාධිපති පුටුවට ආව කියන, ගොවි සුවඳ හඳුනනවා කියන වත්මන් ජනාධිපතිවරයා යටතේත් සිදුවන්නේ ඒ දෙයම තමයි.’