• Thu. Feb 2nd, 2023

SB Destroys Mahinda – එස්.බී. මහින්දව පතුරු ගසයි..!

sb

 

ජිනීවා ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකාවට අවාසි වන ආකාරයෙන් දියත් වුනේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දුර්වලතා හේතුවෙන් බව ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.
ඉක්මන් ඡන්දයකට ගොස් ජයග‍්‍රහණය කොට එම ශක්තිය තුළින් ජිනීවා ප‍්‍රශ්නයට මුහුණ දීමට හිටපු ජනපතිවරයා උත්සාහ කළත් එතුමාට හිමි වූයේ පරාජය අත්විඳීමට බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.
ඔහු එම අදහස් පළ කලේ පසුගියදා අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අභිනව මහ නායක අති පූජ්‍ය ගලගම ශ‍්‍රී අත්ථදස්සි මහ නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්මොහොතේ මාධ්‍ය හමුවේ අදහස් පළකරමිනි.

යුද්ධය ජයග‍්‍රහණය කිරීමේ වැඩි වාසිය උතුරේ ද්‍රවිඩ ජනතාවට වුවද එම ජනතාව දිනා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් මහින්ද රාජපක්ෂ රජයට නොතිබූ බවද ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ තීරණාත්මක අවස්ථාවේ අප සහායට සිටි ඉන්දියාවත්, යුරෝපයත් අමනාප කර ගැනීම ඉතාමත් අවුල් සහගත ගැටලූ‍වක් වූ බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සන්ධානය එය අනුමත නොකළද හිටපු ජනපතිවරයාගේ දුර්වලතා හේතුවෙන් රටක් වශයෙන් අප ජිනීවා ප‍්‍රශ්නයේදී සිරවූ බවත් ඒ මහතා සඳහන් කළා.

එමෙන්ම තිස්ස අත්තනායකට මැතිවරණ සමයේදී සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමෙන් හිටපු ජනපතිවරයා බලවත් වරදක් සිදුකළ බවත්, කිලිනොච්චියේ ඡන්දයක් ප‍්‍රකාශය කළ අවස්ථාවක හෝ තාවකාලික පත්වීමක්වත් ලබාදීම මැතිවරණ නීතියට සම්පූර්ණ පටහැනි බවත් තිස්ස අත්තනායකට ඇමැතිකමක් ලබාදීමෙන් මැතිවරණ නීතිය කඩවූ බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජිනීවා ප‍්‍රශ්නයේදී රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න අපට විසදා ගැනීමට අවස්ථාව ලබාදෙන්න යන පණිවුඩය ජාත්‍යන්තරය වෙත ගෙන ගිය බවත් එහිදී මේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙක එතුමා සමඟ සිටීම ජාත්‍යන්තරයට යමක් ඒත්තු ගැන්වීමට ප‍්‍රබල සාධකයක් බවද අමාත්‍යවරයා පැවැසීය.

යුද අපරාධකරුවන් වශයෙන් මෙරට පුද්ගලයන් ගණනාවක් නම් කර විවිධ ආර්ථික තහංචි යොදා අප රට ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීමේ පසුබිමක් ජිනීවා සමුළුව ඔස්සේ එල්ල කළ චෝදනා මඟින් නිර්මාණය වුවද වත්මන් ජනපතිතුමන් එම ගැටලූ‍ සඳහා විසඳුම් ලබා ගැනීමට ඉතා නිවැරැුදි මඟක් ඔස්සේ කටයුතු කරන බැවින් එතුමාට සියලූ‍ දෙනාගේ සහාය ලබාදිය යුතු බවද අමාත්‍යවරයා කීය.

යුරෝපය මඟින් අප රටට තහංචි දැමීම මඟින් රටට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බව හිටපු ජනපතිතුමා නිවැරැුදිව අවබෝධ කර නොගත් බවත්, වත්මන් ජනපතිතුමා මේ වනවිට ඉන්දියාව මෙන්ම යුරෝපීය රටවලද විශ්වාසය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටීම මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ රටේ අභ්‍යන්තර ගැටලූ‍ අපි විසදා ගැනීමට සූදානම් යන පණිවුඩය ලබාදී ඇති බවද ඒ මහතා පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව එතරම් ගැටලූ‍වක් නොවූවද ඔක්තෝබර් මස දක්වා බල පැවැත්වෙන පරිදි එම තීන්දු කිරීම මඟින් යම් සුළු ගැටලූ‍වක් උද්ගත වන බවද, නීතිපති මැදිහත්වීම මත ඉක්මන් දිනයක් ගෙන ආදළ කාරණය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගත හැකි බැවින් එය ජිනීවා ගෙන යා යුතු තරම් බලවත් ප‍්‍රශ්නයක් නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *