යාපනය, කයිට්ස් පුන්කුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු දැරියක් දුෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන්නැයි බල කරමින්, උද්ඝෝෂකයින් පිරිසක් යාපනය දිසා අධිකරණය වැටලීමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. මෙහිදී උද්වේගයට පත් පිරිස් යාපනය දිසා අධිකරණයට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබීය. මේ හේතුවෙන් අද පොලිස් නිලධාරී 02කුට හා බන්ධනාගාර රථ 02කට අලාභ හානි සිදු වී ඇත.
උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රදේශවාසීන් විසින් මෙම සැකකරුවන් අට දෙනාගෙන් තුන් දෙනෙකුගේ නිවාස වලට අලාභ හානි සිදු කළ බවට වාර්තා වී ඇති අතර පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එක් නිවසකට ගිනි තබා තිබුණු බවයි. දූෂණයට ලක්වූ පාසල් ශිෂ්‍යාවගේ උපැස් යුවලක් සහ කරාබු ජෝඩුවක් එක් සැකකරුවකුගේ නිවසේ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබුණු නමුත් ඒ නිවස පරීක්ෂා කිරීමට යන විට එම නිවස ගිනිගෙන තිබුණු බවද ඔහු පැවසීය.
මෙවැනි සිද්ධීන් නිසා සාක්කි සියල්ල විනාශ වී යන බව පැවසූ පොළිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉන් සිදුවන්නේ සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක් උදාවීම බවද කියා පැවසීය.
පොළීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් නමදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බැවින් මහජනතාව නීතිය අතට ගත යුතු නැතැයිද ඔහු පැවසුවේය.
පසුගිය 13 වන බදාදා උදෑසන පුන්කුඩතිව් පාසැලට යෑමට පිටත්ව ගිය ශිවයෝගනාදන් විද්‍යා එදින සවස නිවසට නොපැමිණි බැවින් දෙමාපියන් ඇය ගැන සොයා බැලූ විට දැනගන්නට ලැබුනේ ඇය එදින පාසැලට නොපැමිණි බවයි. පසුව සියළු දෙනා එක්ව ඇය ගැන සොයා බලද්දී පසුදා උදෑසන පාසැලට යන අතරමග තිබූ කැලෑවක තිබී මරා දමන ලද විද්‍යාගේ සිරුර සොයා ගත්හ. ඇයගේ දෑත් එක් කොට බැඳ තමා තිබුණු අතර සමූහ දූෂණයකට ලක්වූ බවට සාක්ෂි හමුවිය.
ශිෂ්‍යාවගේ දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් ශිෂ්‍යාව පදිංචි පළාතට පොළිස් මුරපොලක් ලබාදීම පිණිසත් මහජනතාව සමග කරුණු සාකච්ඡා කිරීමට 19 දහවල් පුංගුඩුතීවු පළාතට ගිය යාපනය නියෝජ්‍ය පොළිස්පතිවරයාව වට කරගත් ජනතාව ඔහුට යාමට නොදී බලපෑම් කළ බවද පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිගත් අතර ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් ඇතිවූයේ ජනතාව පොළිස් පරීක්ෂණ පිළිබඳව දැනුවත්වීමක් නොමැති නිසා යැයිද පෙන්වා දුන්නේය.
ජනතාව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ යාපනය පළාතෙන් කොළඹට පළා ගිය සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස යැයි කී පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාව උද්ඝෝෂණය කරණ විටත් එම සැකකරු කොළඹදී පොලිස් අත් අඩංගුවට පත්වී සිටි බවද පැවසීය.
පොළිස් අත් අඩංගුවට පත්වන සියලුම සැකකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට ඩී.එන්.ඒ.තාක්ෂණය ඔස්සේ මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොළිස් ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර පොළීසිය විසින් සිදුකරණ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කියමින් යාපනයේ සියලුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් වලින් එළියට පැමිණ උදෑසන පාසල් ඉදිරියේදී උද්ඝෝෂණය කොට තිබේ. එමෙන්ම යාපනයේ සියලුම වෙළදසැල්ද අද මුලු දිනයේම වසා දමා මෙම සිද්ධියට විරෝධය පල කළ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.