• Mon. Feb 6th, 2023

my3 & mr

රාජ්‍යයක නායකයින් සහ අවශේෂ රාජ්‍ය නිලධාරීන් තම සුඛ විහරණය තකා දූෂිතත්වය ඇදහීම හා ඊට අනුකූලව තම ක්‍රියාකලාපයන් සකසා ගැනීම නිසා නිශ්චිතවම එම රාජ්‍යය දිනෙන් දින පරිහානියට පත්වීම කිසිදු ලෙසකින් නවතාලිය නොහැකි නිශ්චිත කරුණකි.

පසුගිය කාල සීමාව තුළ අප දැක්කේ හුදෙක්ම රාජ්‍යය බලය අනිසි අන්දමින් භාවිතා කළේ නිශ්චිත වශයෙන් නම්කිරීම් නොකළත් ඒකාධිපති රජ්‍යයකට නොදෙවෙනි ලෙසින්ය.තම අවි බලය හා ධන බලය පමණක් භාවිතා කොට මිනිස්කම් ගැන තුට්ටුවකටවත් මායිම් නොකරමින් රටේ පාලනය ගෙන ගියේ ජනතාවගේ හදවතටම කුරිරු වූ රාජ්‍යය පාලනය ඉතා සුමටව කිඳා බස්සවමිනි.

සැකකරුවන් සුදුවෑන් වලින් පැහැරගෙන යෑම්,සැකකරුවන් ඇලදොළට පැන ස්වකැමැත්තෙන්ම දිවිනසා ගැනීම්,සඟවා තැබූ අවිආයුධ පෙන්වීමට ගොස් මියයෑම් වැනි ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමයන්ට සපුරා විරුද්ධ ක්‍රමයන් පමණක් දැනගෙන සිටි ඈත කාලීන සමාජය ස්ථීරවම සමහර විටෙක අනුමත කළේ වරදකරුවන්ට දඬුවම් නියම කළයුත්තේ මෙවැනි වූ ක්‍රම වලින් යැයි කියාය.ඒ බව සනාථ වන්නේ යහපාලන ආණ්ඩුවෙන් වරදකරුවන් අත් අඩංගුවට ගන්නේ නැත්තේ යනුවෙන් ඔවුන් ප්‍රශ්න කරන්නේ “ඇයි ජෙනරාල්ව ඇඳගෙන ගියේ..? ඇයි ඒ විදිහට අරන් යන්න බැයිද..? යනුවෙනි.ඔවුන් පසුගිය කාලයේම දැක තිබුනේ එවැනි සිද්ධි දාමයන්ය.ඔවුන් අනුගත වී තිබෙන්න එවැනි වූ සිද්ධීන්ට ප්‍රතිචාර දැක්වීමටය.

එමෙන්ම පසුගිය කාලයේ ව්‍යාජ රාජ්‍යත්වයක් ආරූඪ කරගනිමින් තම පවුල් පාලන බලය තවදුරටත් තහවුරු කරගැනීමට ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධන සම්මත කළේ කොහොමදැයි අප කව්රුත් හොඳින් දන්නා කාරණයක්.විවිධ නිලතල,තානාන්තර සහ වරදාන වරප්‍රසාද වලට මුවාවී තමන්ට ඡන්දය දුන් ජනතාවගේ හදවතට පහරක් ගැසුවේ විධායක ජනාධිපති කමේ අසීමිත බලතල උපයෝගී කරගෙන තමන්ගේ පාලන ක්‍රමය තුළ ඒකාධිපතිත්වයේ ගුණාංග මනාවට ඔප්පු කරමින්ය.

එවැනි වූ මහා බලසම්පන්න අසීමිත බලතල සමාන්‍යය මිනිසෙකුට අත්හැරීමට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත්වන්නේ නම් ඔහු කුමන පුද්ගලයෙකු විය යුතුදැයි ඔබම කල්පනා කොට බලන්න.

මෑත ඉතිහාසයේ කිසිම රාජ්‍ය පාලකයෙකු මෙසේ තමාට හිමිවූ බලතල ජනතාව සහ රටේ අනාගතය වෙනුවෙන් කැපකොට තිබේද..?
විවිධ බාධා කිරීම්,අභියෝග, මඩ ගැසීම් හා පහර ගැසීම් හමුවේ තම ස්වකීය පොරොන්දුව කිසිදු ලෙසකින් වෙනස් නොකොට අගමැති ප්‍රමුඛ ඇමතිවරුන්ගේ සහ අවශේෂ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ උපකාරය මැනවින් ලබාගෙන සෑම දෙනාටම මහත හිංසාකාරි වූ ද, ව්‍යසනයකට තුඩුදීමට සමත්කම් පෑ විධායක ක්‍රමයේ අසීමිත බලතල බලයේ සිටියදීම ස්වකැමැත්තෙන්ම ඉවත්කරගැනීම මා ගොනු කරන්නේ මෑතකාලීන ලෝක ඉතිහාසය තුළ සිදුවූ වඩාත් ප්‍රමුඛ වූ මෙන්ම සිදුවූ ඵලදායිම ක්‍රියාවක් ලෙසිනි.අප එය නැවත නැවත කතා කළ යුත්තේ එබැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *