ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරුණු ලෙස පසුබෑමකට ලක්ව ඇති බව ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක පවසයි.
රට තුල දරුවන්ට සිදු වන හිංසනය වැඩි වීමක් මිස අඩු වීමක් පෙනෙන්නට නොලැබෙන බව ඇමතිනිය සඳහන් කළේ යාපනය පුන්කුඩුතිව්හිදී විද්‍යා යෝගේෂ්වරන් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව සංවිධානය කෙරෙන උද්ඝෝෂණයක් පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කරමින්.
විද්‍යා යෝගේෂ්වරන් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීම හෙළා දුටු ඇමතිවරිය, යුක්තිගරුක හා නීතිගරුක රටක් බිහි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.
බැගෑපත් ආයාචනයක්
“දරුවකුට ගරු නොකරන, සාරධර්මවලින් පිරිහී යන, මාස 06, අවුරුදු එක හමාරේ දරුවන් දූෂණය කරන තැනට රට පත් වෙලා. පාසල් යන අහිංසක දැරිවියක් පැහැරගෙන ගොස් හතර දෙනෙක් දූෂණය කර තවත් පස් දෙනෙකුට ඇයව දූෂණය කිරීමට ආරාධනය කරන්න තරම් අමානුෂික පුද්ගලයින් මේ රටේ සිටීම ඉතාම කණගාටුදායකයි,” ඇමතිනී රෝසි සේනානායක සඳහන් කළාය.
“මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවාද, චූදිතයින්ට දඬුවම් ලැබෙනවද යන්න අද ප්‍රශ්නයක් බවට පත් වෙලා. අපරාධකාරයින් මහජනතාව විසින්ම අල්ලලා පොලීසියට ගෙනත් දෙන විට පොලීසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරනවද කියන එක ප්‍රශ්නයක්. විද්‍යාගෙන් මේ සිදුවීම් නවතින්නට මම බැගෑපත්ව ආයාචනා කරනවා මුළුමහත් සමාජයම මේකට එරෙහිව නැගිටිමු කියා.”
ළමා අපචාර පිළිබඳ තමන් දන්නා තොරතුරු නීතිය හමුවට ඉදිරිපත් කරන මෙන් ඇමතිනිය ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කළාය.
විද්‍යා යෝගේෂ්වරන් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී ඉටි පහන් දැල්වීමේ විරෝධතාවක් ඉරිදා සවස පැවැත්වීමට නියමිතය.
(බීබීසී සන්දේශය)