ඇමෙරිකානු ඩොලර් මිලියන දාහක් (රුපියල් මිලියන 132,000ක්) සියයට 6.25ක පොළියට විදේශීය බැංකු කිහිපයකින් ලබා ගැනීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී. මෙම ණය මුදල ලබා ගන්නේ වසර 10 කින් කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කර මගින් සහ වසරකින් කල් පිරෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විදේශීය බැංකුවලට නිකුත් කිරීමෙන්ය.
මෙම මුදල සිටි, ඩොයිෂ්, එච්.එස්.බී.සී. සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් යන විදේශීය බැංකුවලින් ලබා ගන්නා බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි 27 වනදා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව ක්ෂේත්රයේ විශේෂඥයන් හෙළි කිරීමෙන් පසු ආණ්ඩුව ණය ලබා ගැනීමේ බරපතල අර්බුදයකට මුහුණ දුන්නේය. මෙහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාසය තුළ රුපියලේ අගය සියයට 2කින් පහත වැටී තිබේ.
එමෙන්ම මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ අධික පොළියට ණය ලබා ගැනීමේ ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව තුළින්ද දිගටම අනුගමනය කරමින් සිටින බව මෙයින් පැහැදිලි වේ. දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් වාණිජ බැංකුවලින් ණය ලබා ගැනීම දක්වා තත්වය බරපතල වී ඇත. මේ නිසා කිසිසේත්ම සහනදායී පොළිය මත ණය ලබා ගත නොහැකි අතර ගිණි පොළියට ණය ලබා ගැනීමට සිදුව තිබේ.