• Sat. Jan 28th, 2023

ප්‍රතිවිප්ලවය පරාජය කිරීමේ පළමු පියවර ජනාධිපති මෛත්‍රී ආරක්ෂා කිරීමයි.  – රනිල් පාර්ලිමේන්තුවේ දුන් කන කිස් කන පිළිතුර

rw & ms parl

“මහ බැංකු “අධිපතිගේ සිංගප්පූරු පුරවැසි භාවය ප්‍රශ්න කරන දිනේෂ්, ගෝඨාභය නමැති ඇමරිකානු පුරවැසියාට රටේම ආරක්ෂාව බාර දෙද්දී හිටියේ කොහිද..?

පාර්ලිමේන්තුවේ රීති අනුව එක් වරක් නැගූ ප්‍රශ්නයක් දෙවතාවක් නැගිය නොහැකිය. වෙනත් අයෙක් නැගූ ප්‍රශ්නයක් පවා තවත් අයෙකුට යලිත් නැගිය නොහැකිය. නමුත් මේ රීතිය දැන් ක්‍රියාත්මක නොවන සෙයකි. මහ බැංකු අධිපතිවරයා ගැන වරක් ප්‍රශ්න කර කතානායක වරයා ඒ සම්බන්ධ තම තීන්දුවක් දී තිබියදී යලි යලිත් ඒ ගැනම ප්‍රශ්න ඉදිරිපත් කරති. පාර්ලිමේන්තු මහ ලේකම් වරයා මේ පිලිබඳ සොයා නොබලන සෙයකි. මහ බැංකු අධිපතිවරයාගේ පුරවැසි භාවය ගැන එවැනි යලි යලි ප්‍රශ්න නැගීමක් දිනේෂ් ගුණවර්ධන විසින් පසුගියදා සිදුකළ අතර ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට කන කිස් කන දීර්ඝ පිළිතුරක් දෙමින් ගෝඨාභය නමැති ඇමරිකානු පුරවැසියාට ආරක්ෂාව බාරදෙද්දී ඕස්ට්‍රේලියානු පුරවැසි පාලිත කොහොනට විදේශ සේවය බාර දෙද්දී තමන් සිටියේ කොහේ දැයි දිනේෂ් ගෙන් ප්‍රශ්න කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී දුන් පිළිතුර සම්පූර්ණයෙන් මෙසේය.

ගරු කථානායකතුමනි,

මහ බැංකු අධිපතිතුමාගේ පත්වීම සම්බන්ධයෙන් මා මිත්‍ර දිනේෂ් ගුණවර්ධන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා ප්‍රශ්ණ කීපයක් අහල තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සවිස්තර පැහැදිලි කිරීමක් මේ සභාව හමුවේ ඉදිරිපත් කිරීමටයි. අපේ රටේ එක් අඳුරු පරිච්ඡේදයක් පිළිබඳවත්, සැබෑ තත්වය පිළිබඳවත් පැහැදිලි කිරීමට එමගින් අවස්ථාව ලබා දීම ගැන එක් අතකින් මම සතුටු වෙනවා.

ගරු කථානායකතුමනි,

“අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ ලංකාවේ ඉපදුන කෙනෙක්, ලංකාවේ හැදුණ වැඩුණ කෙනෙක්, ලංකාවේ අධ්‍යාපනය ලබපු කෙනෙක්, ඒ වගේම ලංකාවේ රැකියා කරපු, රටට ආදරය කරන, උගත්, බුද්ධිමත් පුද්ගලයෙක්. ඔහු මුලින්ම රැකියාව කළෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ. අවුරුදු එකොළහක් ඔහු මහ බැංකුවේ රැකියාව කළා. ඊට පස්සේ ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල උසස් රැකියා කීපයකම නිරත වුණා.

2002 වසරේ ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා බවටත් පත් වුණා. ඒ තනතුර ඔහු දැරුවේ ආණ්ඩු ගණනාවක ඇමති ධූර දැරූ ජී. එල්. පීරිස් මැතිතුමා යටතේ යි. 2004 වසර වෙන තුරු ම ඔහු එම තනතුරේ රාජකාරි කළා.

2004 වසරේ සන්ධාන ආණ්ඩුව බලයට පත්වූ පසු එතුමා එම තනතුරින් ඉවත් වුණා. රාජපක්‍ෂ රෙජීමය නිසා තමයි රැකියාවෙන් අයින් වෙලා රටින් පිටවෙලා ගියේ.
ඒ නිසා ගරු දිනේශ් ගුණවර්ධන මන්ත්‍රිතුමාගේ ප්‍රශ්ණෙට එක අතකින් වග උත්තරකරු වෙන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා.

අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාට පමණක් නොවෙයි. 2006 වෙනකොට රාජපක්‍ෂවරුන්ට හිතවත් නැති, වෙනස් මත දරණ, ශිෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසකට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වය රාජපක්‍ෂ රෙජීමය විසින් ඇති කරලා තිබුණා. සුළු ජාතිකයන්ට ඒ තත්වය තවත් දරුණු වුණා.
ජෝසප් පරරාජසිංහම්, රවිරාජ්, මහේෂ්වරන් වැනි අපේ හිතවත් දෙමළ මන්ත්‍රිතුමන්ලා අපට අහිමි කළා. එදා මේ රටේ තිබුණේ විශාල භීෂණයක්.

මේ නිසා තමයි අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාටත්, රැකියාවක් කරන්න සිංගප්පුරුවට යන්න වුණේ. එහෙම නොගියා නම් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි විශාල පිරිසකට අත් වූ ඉරණමම තමයි අර්ජුන මහේන්ද්‍රන්ටත් අත් වෙන්න තිබුණේ. එතුමා සිංගප්පුරුවට ගිහිල්ලා හරි ජිවිතය බේරා ගත්තා.

එතුමා වගේම මේ රටේ විශාල පිරිසක් රට හැර ගිහින් තම තමන්ගේ ජීවිත බේරාගත්තා. කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, මන්දනා ස්මයිල් වැනි අයට දරුණු වධ බන්ධනවලින් පස්සේ තමයි තමන්ගේ මව්බිම දාලා යන්න සිද්ධ වුණේ. එවැනි අඳුරු පරිචඡේදයක් තමයි පසුගිය ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව විප්ලවයකින් අවසන් කළේ. මේ රටේ ලක්ෂ 63ක ජනතාවක් ඒ සඳහා කැප වුණා.

ඒක එතනින් නතර වුණේ නෑ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්වෙච්ච ගමන් රාජපක්‍ෂ රෙජීමය කරපු වැරදි සියල්ල නිවැරදි කරන මෙහෙයුමක් දියත් කළා. මරණ භයෙන් රට හැරගිය සියලූ දෙනා ආපහු ගෙන්නන්න තීන්දු කළා. අර්ජුන මහේන්ද්‍රන් විතරක් නොවෙයි අපි ගෙන්නුවේ. එදා රාජපක්‍ෂ රෙජීමයේ මරණ තර්ජන නිසා රට දාලා ගිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩිවත් අපි ගෙන්න ගත්තා.

ප්‍රභාකරන් පරාජය කරල රටට කීර්තියක් අත්කරලා දීලත් සරත් ෆොන්සේකා මැතිතුමාගේ හිත මිත්‍රයන් වුණ වරදට මරණ තර්ජන එල්ල වෙලා රට දාලා යන්න සිද්ධ වුණ ඉහළ හමුදා නිලධාරින් විශාල ප්‍රමාණයකුත් අපි ආපහු ගෙන්වා ගත්තා. ජීවිත තර්ජන නිසා විදේශ ගතවුණ මාධ්‍යවේදීන්ටත් අප නැවත එන්න කියා ආරාධනා කළා.

දින 100 වැඩසටහන ‘වැරදි නිවැරදි කිරීමේ අභ්‍යාසයක්‘ බවට පත්වුණා. රාජපක්‍ෂ රෙජීමය, සරත් ෆොන්සේකා මහතා කුදලා ගෙන ගිහිල්ලා දස වධ දීලා පදක්කම් තාන්න, මාන්න සියල්ල අහිමි කළා. එතුමාගේ නමට කලින් ජෙනරාල් වචනය භාවිතා කිරීම පවා තහනම් කරලා තිබුනත් අද එතුමා අපේ රටේ පළමු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්කරන්න අපි කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි. දුෂ්ඨ පළිගැනීමකට ලක්වූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනියටත් අපි සාධාරණය ඉෂ්ඨ කළා.

දැන් අපි මහ බැංකුව දෙසට හැරෙමු.

රාජපක්‍ෂ රෙජීමය සිදුකළේ කුමක්ද? ආර්ථික විශේෂඥයෙකු නොවන පුද්ගලයෙකු මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීමයි. අඩු තරමින් ඔහුට එල්ල වී තිබූ මූල්‍ය ජාවාරම් චෝදනා පිළිබඳවවත් විමසා බැලුවේ නැහැ. මේ පත්වීමෙන් පසුව මහ බැංකුවේ එදිනෙදා කටයුතු සිදු කර ගෙන යෑමේ දුෂ්කරතාවන් පැන නැංගා. මේ නිසා ආර්ථික විශේෂඥයෙකුගේ සේවය ලබා ගැනීම අත්‍යවශ්‍ය වුණා.

එහි ප්‍රතිඵලය වුණේ ආර්ථික විශේෂඥයෙක් පමණක් ලෙස නොව ස්ත්‍රී දූෂකයෙක් ලෙසත් නමක් දිනා සිටි ඩොමිනික් ස්ට්‍රව්ස්ඛාන් නම් ප්‍රංශ ජාතිකයාගේ සේවය මහ බැංකුව වෙත ලබා ගැනීමයි. ඔහු සමඟ එළැඹුනු කොන්ත්‍රාත්තුව අනුව, ඔහුගේ සේවය ලබා ගත්තේ ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 05කටයි.

මේ සා මුදලක් වැය කළත් ප්‍රතිඵලය කුමක්ද? ආර්ථික විශේෂඥතාවයකින් තොර මහ බැංකු අධිපතිවරයාගේ පාලනය සමයේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. දූෂණය සහ වංචාව වර්ධනය වුණා.

2007 අවුරුද්දේ ඉඳන් මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ඉහළ පොළී අනුපාතවලට වාණිජ ණය ගත්තා. 2007 අවුරුද්දේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක්. 2009 අවුරුද්දෙත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක්. යුද්ධය අවසන් වුණාට පස්සෙත්, පෞද්ගලික අංශයේ කිසිම ආයෝජනයක් සිදු වුනේ නෑ. මහ බැංකුවෙන් පාලනය වන සේවක අර්ථ සාධක අරමුදල යොදාගෙන රාජපක්‍ෂ රෙජීමයේ හෙංචයියන් කළ නූල් සූත්තර නිසා කොටස් වෙළඳ පොලේ පිබිදීමක් සිද්ධ වුණේ නෑ. මේ අඩුපාඩුව වහගන්න මහ බැංකුව කළේ 2010, 2011 සහ 2012 අවුරුදුවල අමෙරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා ණය ලබා ගැනීමයි.

මේ නිසා ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙලා ඇමරිකානු ඩොලරය රුපියල් 110 ඉඳන්, 130 දක්වා ඉහළ ගියා. රුපියල ආරක්‍ෂා කරන්න 2011 දී යොදවපු අමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක මුදල වගේ නාස්තියක් නැවත කරන්න එපා කියලා ජාත්‍යන්තර ශ්‍රේණිගත ඒජන්සියක් වන Standard and Poors ලංකා රජයට අවවාද කළා. මේ තත්වය මත Standard and Poors සහ Moodys අපේ රට ධනාත්මක ශ්‍රේණියේ සිට ස්ථාවර ශ්‍රේණිය දක්වා පහළ දැම්මා. දූෂිත හෙජින් ගනුදෙනුව නිසා මහ බැංකුව Standard Chartered බැංකුවට ඩොලර් මිලියන 25 ක් ගෙව්වා. Deutsche බැංකුවට තවත් ඩොලර් මිලියන 25 ක් අපි ණයයි.

මේ දූෂිත ගනුදෙනු හැම එකක්ම අතරේ, හිටපු මහ බැංකු අධිපතිවරයා විශාල රත්තරන් තොගයක් මිළදී ගත්තා. රත්තරන් අවුන්සයක් සඳහා ඔහු අමෙරිකානු ඩොලර් 1600 බැගින් ගෙව්වා. මේ ගනුදෙනුව නිසා 2013 සහ 2014 අවුරුදුවල බරපතළ පාඩුවක් සිද්ධ වුණා.

ඒ විතරක් නෙවෙයි. රාජ්‍ය ආයතන ගණනාවක විශාල වශයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුවුණා. කිසිම ආකාරයක මූල්‍ය විනයක් පවත්වාගෙන යන්නට මහබැංකුව අසමත් වුණා. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වල සිට සෑම රාජ්‍ය ආයතනයකම මහා පරිමාණයේ දූෂණ කරන්නට ඉඩකඩ මහබැංකුව පාදා දුන්නා. මේ නිසා අපේ රට මහා විනාශයකට පත් වුණා. මේ විනාශයෙන් අපේ ආර්ථිකය යළි ගොඩ ගැනීමට විශේෂඥයින්ගේ සහාය අවශ්‍යයි.

අපි රාජපක්‍ෂ රෙජීමය කළා වගේ ස්ට්‍රව්ස්ඛාන්ලා ලංකාවට ගෙන්වා ගත්තේ නෑ. අපි ගෙන්නා ගත්තේ ලංකාවේ ඉපදුනු විශේෂඥයෙක්. හැබැයි ඔබතුමන්ලා මේ විශේෂඥයාට බයයි. මොකද ඔහු යටතේ මහ පරිමාණ දූෂණ වංචා හෙලිරදව් වෙමින් පවතින නිසා. රාජපක්‍ෂ රෙජීමය යටතේ හැදුණු වැඩුණු ධනපති හෙංචයියලාට නීති විරෝධී ලෙස හම්බ කිරීමේ අවස්ථා අහිමි වෙමින් පවතින නිසා. ආර්ථිකය වර්ධනය වෙන නිසා.

දැනට අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාට එරෙහිව මේ අය එල්ල කරන බොරු චෝදනාවේ මූල්‍ය අගය මෙන් දෙසිය හැත්තෑ ගුණයක් වැඩි සත්‍ය වංචාවක් මොවුන් සිදුකළ බව මේ වෙනකොටත් හෙළිදරව් වෙලා ඉවරයි. ඒකයි ඔවුන් මේ ගමනට බාධා කරන්නේ. මේ අය දන්නේ දේවල් කඩන්න විතරයි. හදන්න දන්නේ නෑ. කඩන්න හරිම දක්ෂ බව ඉතිහාසය විසින්ම ඔවුන් ඔප්පු කරලා තියෙනවා.

අනුන්ගේ දේශපාලන පක්ෂ පවා කඩලා බිඳලා දාලා ආපහු හැරිලා බලන කොට තමන්ගේ පක්ෂෙත් එහෙන් පිටින්ම කඩා වැටිලා. ඒකට බුද්ධ භාෂිතයේ කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා. අද ඒ අය ඒ විපාක විඳිමින් ඉන්නේ. ඒත් ඒක හිතන තරම් ඉක්මණින් ගෙවලා අවසන් කරන්න ඒ අයට බෑ. මේ රටේ ජනතාවට ඒ අය දීපු පීඩනය, මේ රටේ ජනතාවගෙන් ඒ අය හොරකම් කරපු මහා ජාතික ධනය අතිවිශාලයි. ඒ නිසාම ඔවුන්ට එරෙහිව ජනතාව තුළ තියෙන කළකිරීමත් ඒ තරමටම විශාලයි. ඒ නිසා එකෙන් ගැලවෙන එක හිතන තරම් ලේසි නෑ.

ඒකෙන් ඔවුන්ට ගැලවීමක් නැතත් ඔවුන්ගේ විවිධ අල්ලස් දීම්, රැවටීම්, මුලාකිරීම්වලට අහුවෙලා ඔවුන්ට ඡන්දෙ දීපු මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කරගැනීම ආණ්ඩුවේ වගකීමක්. අද ඒ වගකීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා භාර අරගෙන තියෙන්නේ.

අපිත් ඒකට දිවි හිමියෙන් එතුමාට සහයෝගය දෙන්න තීන්දු කරල ඉවරයි. ඔවුන් මෛත්‍රිපාල ජනාධිපතිතුමාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයකදි පළමුවෙන්ම ඒකට මුහුණ දෙන්නේ අපි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ ලක්ෂ 63ක ජනවරමක් තියෙන නායකයෙක්. එතුමා ආරක්ෂා කරගැනීම තමයි මේ රටේ ප්‍රතිවිප්ලවය පරාජය කිරීමේ පළමු පියවර.

ඒකට කොන්දේසි විරහිතව මුහුණ දෙන්න මේ රටේ අති බහුතරයක් ජනතාව සමග අපි සූදානම්.

ඒ නිසා මේ අය අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට එරෙහිවත් ‘පලයන් මන්තරය‘ ජප කරන්න පටන්න අරන්. අපේ වට්ටක්කා මන්ත්‍රීතුමා රත්නපුරේ ජනහමුවකදී ඒ මන්තරේ ජප කරන හැටි රූපවාහිණියෙන් රටම දැක්කා. ඉතිං මෛත්‍රිපාල ජනාධිපතිතුමා වගේ ලක්ෂ 63ක ජනවරමක් ලබපු රාජ්‍ය නායකයකුට එරෙහිව මේ අයගේ ප්‍රතිචාරය එහෙම නං, තමන්ගේ පක්ෂෙ සභාපතිට එරෙහිව මේ අයගේ ප්‍රතිචාරය එහෙම නං, තමන්ගෙම සන්ධානෙ සභාපතිට එරෙහිව මේ අයගේ ප්‍රතිචාරය එහෙම නං, මේ රටේ පළමු පුරවැසියා වන ගරු ජනාධිපතිතුමාට එරෙහිව මේ අයගේ ප්‍රතිචාරය එහෙම නං, අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා වගේ සුළු ජාතික බුද්ධිමතෙකුට එරෙහිව නගන ප්‍රශ්න පිටුපස ඇති සැඟවුණ න්‍යාය පත්‍රය මොකක්ද කියන එක අද මුළු රටටම පැහැදිලියි.

අපි ජනවාරි 08 වැනිදා පරාජයට පත් කළේ ඒ න්‍යාය පත්‍රයේ එක් කොටසක් පමණයි. පරාජයට පත්කළ යුතු තවත් කොටස් ගණනාවක් තියෙනවා. රාජපක්‍ෂ රෙජිමයේ කොටස් කරුවන් උත්සාහ ගන්නේ තර්ජනයෙන්, ගර්ජනයෙන්, බලහත්කාරයෙන් ජනතාව බිය ගැන්වීමටයි. සල්ලි විසි කරමින් ජනතාව මිලදී ගැනීමටයි. ඔවුන් පසුගිය කාලයේ රට පාලනය කළේත් ඔය ආකාරයටමයි.

රාජපක්‍ෂ රෙජීමය සමයේ ජීවිතය පිළිබඳ ඇති ආශාව නිසා ශ්‍රී ලාංකිකයන් රට හැර ගියා. ශ්‍රී ලංකාවේ ලබාගත නොහැකි අවස්ථාවන් ලබාගැනීමට හැකියාව ලැබු නිසා තවත් සමහරු රට හැර ගියා. වෙනත් විවිධ හේතු නිසා රට හැර ගියා. ඒ අයගේ සේවය යළි අප රට ගොඩ නැගීම සඳහා ලබාගැනීම වරදක්ද ?

ඕනෑම රටක පුරවැසියෙකුට තවත් ඕනෑම රටක සේවය කිරීමට අවස්ථාව සහ අවකාශය තියෙනවා. එය ලොව පිළිගත් සම්ප්‍රදායක්. අපේ රටේද එම සම්ප්‍රදාය කලක් තිස්සේම පවතිනවා.

පසුගිය ආණ්ඩුව සමයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ අධිකරණයේ විනිශ්චයකරුවන්, පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නියුතු විනිශ්චයකරුවන් පවා ෆීජී රාජ්‍යයේ සේවය සඳහා යෙදවූවා. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියට පටහැනි නොවන නිසයි එසේ සිදුකළේ. ඒ අවස්ථාවේදි කිසිවෙකුත් එහි වරදක් දැක්කේ නැහැ.

ශ්‍රී ලංකාව විදේශ පුරවැසියන් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අප කවුරුත් දන්නවා.

ශ්‍රී ලංකාවේ උපත ලද, ශ්‍රී ලංකාවේ කාලය ගතකල සමහරු පසු කාලවල විදේශීය පුරවැසි භාවය ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට විදේශීය පුරවැසියන්ට බාධාවක් නැහැ. ව්‍යවස්ථාව මගින් විදේශීය පුරවැසියන්ට සීමා පණවා තිබෙන්නේ මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට නොහැකි ලෙස පමණයි. පසුගිය රජය විදේශීය පුරවැසියන් සම්බන්ධයෙන් ඊටත් වඩා දුරගොස් තිබෙනවා.

විදේශීය පුරවැසියෙකු වූ කේ. පද්මනාදන් නොහොත් කේපී ට ලංකාවේ රැකවරණ ලබාදී තිබෙනවා. ත්‍රස්තවාදී විමර්ශන කටයුතු සඳහා වෙනත් රටවල් ඔහුව භාරදෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවන්හිදි ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔහුව ආරක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළා.

 

ඕනෑම රටක පුරවැසිභාවය ලබාගන්න කොට දිවුරුම් දීමක් කරන්න සිද්ධ වෙනවා. ඒක නීතිමය අවශ්‍යතාවක්. එදා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අමෙරිකාවේ ඒ විදියට දිවුරුම් දුන්නා. පාලිත කොහොන මැතිතුමා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගන්න එහෙම දිවුරුම් දුන්නා. පසුගිය ආණ්ඩුව ඇමෙරිකානු පුරවැසියෙක් ලංකාවට කැඳවලා මේ රටේ ආරක්‍ෂාව බාර දෙන වෙලාවේ මෙතුමන්ලා මේ ප්‍රශ්න ඇහුව නම් එක පැත්තකින් ඒක සාධාරණයි. ඒකට හේතුව තමයි ඒ දිවුරුමේ තියෙන බරපතලකම. ඇමෙරිකාවේ පුරවැසිභාවය ගන්න ලබාදිය යුතු දිවුරුමේ තියෙන්නේ මෙහෙමයි.

 

“I hereby declare, on oath, that I absolutely and entirely renounce and abjure all allegiance and fidelity to any foreign prince, potentate, state, or sovereignty of whom or which I have heretofore been a subject or citizen; that I will support and defend the Constitution and laws of the United States of America against all enemies, foreign and domestic; that I will bear true faith and allegiance to the same; that I will bear arms on behalf of the United States when required by the law; that I will perform noncombatant service in the Armed Forces of the United States when required by the law; that I will perform work of national importance under civilian direction when required by the law; and that I take this obligation freely without any mental reservation or purpose of evasion; so help me God.”

 

මෙහෙම දිවුරුමක් දීපු කෙනෙකුටයි රටේ ආරක්‍ෂක ලේකම් තනතුර භාර දුන්නේ. එතුමා ආරක්‍ෂක ලේකම් වුණේ 2005 නොවැම්බර් 24 වැනිදා. එතුමාට ද්විත්ව පුරවැසිකම ලැබුණේ නොවැම්බර් 30 වැනිදා. ඔබලාගේ සිතිවිලි වලට අනුව අමෙරිකානු පුරවැසියෙකුට එසේ ලබා දීමේ වරදක් නැතුව ඇති. නිදහසින් පසුව ලංකාවේ මුල්ම මහබැංකු අධිපති වුණේත් ඇමරිකානු පුරවැසියෙක්.

 

ඒ, ජෝන් එක්ස්ටර්. ආරක්‍ෂක ලේකම් කමට ඇමරිකානු පුරවැසියෙක් පත්වීම ගැන ඔබ කතා නොකළේ ඒ පූර්වාදර්ශය නිසාද කියා මම දන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි. විදේශ සේවය ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකුට බාර දුන් අවස්ථාවේදීත්, ඔබතුමන්ලා කිසිවෙක් ප්‍රශ්න කළේ නෑ. හැබැයි ඒ ආකාරයට කටවල් පියා ගෙන හිටපු උදවිය අද, අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිකම ගැන ප්‍රශ්න කරනවා.

අඩු තරමින් එහෙම ප්‍රශ්න කරන්නවත් නිදහසක් තිබීම ගැන සතුටු වෙන්න කියා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ඒ කාලයේ දිනේෂ් ගුණවර්ධන මහතා අමෙරිකානු පුරවැසියන් ගැන ප්‍රශ්න කළා නම්, එතුමාට සිදුවෙන්නේ, සුදු වෑන් වල අවමංගල ගමන යන්නටයි. දැන් සුදු වෑන් නෑ. ඒ නිසා හුඟක් දෙනාගේ කටවල් මුවහත් වෙලා. මකුළු දැල් බැඳී තිබුණු ඔය කටවල් එහෙම හරි මුවහත් වීම ගැන අපි සතුටුයි.

ගෝඨාභය රජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සඳහා වූ අරමුණු පෙන්නුම් කරන කිසිදු ක්‍රියාවක් කර නැහැ. ඇමරිකානු එක්සත් ජනපදයේ නීතිය අනුව ඇමරිකානු පුරවැසියෙකුට වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමට හිමිකම තියෙනවා. නමුත් ඇමරිකාවට ද්‍රෝහි වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නඩු පැවරීමේ අයිතිය ඇමරිකාවට හිමියි. ද්විත්ව පුරවැසිභාවයක් ඇති හැම විටකම ප්‍රධාන පුරවැසිභාවය ලෙස සැලකෙන්නේ ඇමරිකානු පුරවැසිභාවයයි.

ප්‍රධාන පුරවැසිභාවය පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය පුරවැසියාට නැහැ. එය ඇත්තේ ඇමරිකාවටයි. ඇමරිකාවට ද්‍රෝහි වුවහොත් පුරවැසිභාවයෙන් ඉවත් වූ කෙනෙකුට පවා නඩු පැවරීමේ අයිතිය ඇමරිකාව සතුයි. අන්න එවැනි කාරණා නිසයි අපේ රටේ මහජන නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් පමණක් විය යුතු බවට ව්‍යවස්ථාමය නියමයක් පණවා තිබෙන්නේ. මන්ද ඔවුන් නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍යය නිසයි.

ඒ හැරුණු කොට ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තනතුරක් දැරීමේ බාධාවක් විදේශීය පුරවැසියන්ට නැහැ. උදයංග වීරතුංග, ජාලිය වික්‍රමසූරිය, පාලිත කොහොන, ලක්‍ෂ්මන් ජයවීර ආදී නම් ලැයිස්තුවක් මෙහිදි සඳහන් කළ හැකියි. ඒ සියළු දෙනාම රජයේ වගකිව යුතු තනතුරු දැරූ අයයි. ඔවුන් සියලූ දෙනාම විදේශීය පුරවැසියන්.

ඒ විතරක් නෙවෙයි. රාජපක්‍ෂ රෙජිමය යටතේ ධනයෙන් හා බලයෙන් ආරූඪ වූ අපේ රටේ සමහරු හොර රහසේම විදේශ රටවල පුරවැසිභාවය ලබා තිබෙන බවත් මම මේ සභාවට දැනුම් දෙන්න කැමතියි. ඒ නිසා අනුන්ට චෝදනා කිරීමට පෙර පුළුවන් නම් ඒ අය පිළිබඳව තොරතුරු මේ සභාවට ගෙන හැර දක්වන්නැයි කියා මම ඔය චෝදනා කරන අයගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

මේ උදවිය සී ෂෙල්ස්, කේමන් දූපත්, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, ඇන්ඩෝරා, මොනැකා, උගැන්ඩා ආදී රටවල පුරවැසිභාවය ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. හැකිනම් එසේ නැති බවට සහතිකයක් මට දෙන්න.

ගරු කතානායකතුමෙනි,

දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් නෙවෙයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩනගන්න මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා දරණ උත්සාහයට ඔබතුමාලා බාධා කරනවා.

ඒ වගේම අපි රට ගොඩනගන්න දරණ උත්සාහයටත් ඔබතුමාලා බාධා කරනවා. ඔබතුමාලා දන්නේ බාධා කරන්න පමණමයි. ඔබතුමාට ඇමතිකමක් ඕනම නම්, එහෙම නැත්නම් විපක්‍ෂයේ සංවිධායක තනතුර ඕනෑම නම් අපි ජනාධිපතිතුමාට කියලා ඒක අරන් දෙන්න බලන්නම්. අපිට ඒක මහ ලොකු වැඩක් නෙවෙයි. හැබැයි අපි මේ රට හදන්න යන ගමනට බාධා කරන්න එපා.

මේ රටේ ජනතාව ඔබතුමන්ලාගේ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, සහමුලින්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව ඒවා මැදමුලනටම පන්නලා දැම්මා. ආපහු ඒවා රජ කරවන්න දෙන්න බෑ. ජනතාව ඒකට ඉඩ දෙන්නෙත් නෑ. අද මේ රාජපක්‍ෂ රෙජිමයේ වහල්ලූන්ට තියෙන්නේ දරාගන්න බැරි හිතේ අමාරුවක්. ජනවාරි 08 වැනිදා සිද්ධ වුණ විප්ලවය පරදවන්න ප්‍රති විප්ලවයක් දියත් කරන්නයි මේ අය දිවා රෑ වෙහෙසෙන්නේ. හැබැයි ඒක පරාජය කරන්න දැන් දැන් ජනතාව එදාටත් වඩා සූදානම්.

දැන් මේ උදා වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සු රට දාලා යන යුගයක් නොවෙයි. රටෙන් පැනලා යන යුගයකුත් නෙවෙයි. ඔබතුමන්ගේ කාලයේ වගේ රටට සේවයක් කරන්න පුළුවන් අය රටෙන් එළවා ගන්න යුගයකුත් නෙවෙයි. රටට සේවයක් කරන්න පුළුවන් අය ආපහු රටට ගෙන්න ගන්න යුගයක්. ඒ අයට ආපහු ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා.

එහෙම එන උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් ඒ අයට බාධා කරන්න අපි කාටවත් කිසිදු අයිතියක් නෑ. අපි ඒකට ඉඩදෙන්නෙත් නෑ. ජනතාව ජනවාරි 08 වෙනිදා විශාල ජනවරමක් දීලා තියෙන්නේ ඒකටයි. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ විදේශීය පුරවැසි භාවය ගැන ප්‍රශ්න කරන ඔබතුමන්ලා අඩු තරමින් ලංකාවේ මුල්‍ය නීති පනතවත් හරි ආකාරයට කියවා නැහැ. හදාරා නැහැ.

ඔබතුමන්ලා දන්නේ කිසිදු නීතිමය පදනමක් නැතිව කෑ ගහන්නම් වාලේ කෑගහන්නට පමණයි. රාජපක්‍ෂ රෙජිමය සමයේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසිද්ධ වෙන්දේසියේ නොදමා පුද්ගලික ගැනුම්කරුවන්ට ලබාදීමේදී ඔබතුමන්ලා වචනයක් කථා කළේ නැහැ. වැඩි පොලියට විදේශ වාණිජ ණය ලබා ගනිද්දි වචනයක් කථා කළේ නැහැ. මහ බැංකුවේ සහ කොටස් වෙළඳ පොළේ මූල්‍ය වංචා සිදුවෙද්දි වචනයක් කථා කළේ නැහැ. ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් කළේ නැහැ.

බැඳුම්කර පිළිබඳ චෝදනාවක් එල්ලවූ විට අප කළේ කුමක්ද? අප ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවේ ඒ පිළිබඳව සොයා බැලීමට අවකාශ සැලසුවා. මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය හමුවේ විමර්ෂණය කිරීමට අවස්ථාව ලබා දුන්නා.

මහබැංකුව පමණක් නොව, වෙනත් කිසිම ආයතනයක් පිළිබඳව චෝදනාවක් එල්ල වූ විට, රාජපක්‍ෂ රෙජීමය යටතේ ඒවා විමර්ෂණය කිරීමට අවස්ථාවක් ලබා දී තියෙනවාද කියා ඔබතුමන්ලාම විමසා බලන්න.

ගරු කතානායකතුමෙනි,

මම මූල්‍ය නීති පනත පිළිබඳ මේ ගරු සභාවට පැහැදිලි කරන්නට කැමතියි. මූල්‍ය මණ්ඩලයට හෝ මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට නුසුදුසුකම් මුල්‍ය පනතේ 11 වන වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ පළාත් සභා හෝ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු මේ තනතුර සදහා පත් කරන්නට බැහැ. රාජ්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකු පත් කරන්නට බැහැ. රජයේ මුදලින් වැටුප් ලබන නිලධාරියෙකු හෝ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයෙකු මේ තනතුර සඳහා පත් කරන්නට බැහැ.

බැංකුවක හෝ බැංකුවකට සම්බන්ධ මූල්‍ය ආයතනයක පමණක් නොව මහ බැංකුව යටතේ අධීක්‍ෂණය වන වෙනත් ආයතනයක අධ්‍යක්ෂ වරයෙකු, නිලධාරියෙකු සේවකයෙකු හෝ කොටස් හිමිකරුවෙකු මේ තනතුරට පත් කරන්නට බැහැ. මහබැංකු අධිපති තනතුර සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු පත් නොකළ යුතු බවට එම නීතියේ දක්වා නැහැ. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතාට පදවිය දැරීමට නීතියෙන් දක්වා ඇති කිසිදු නුසුදුසු කමක් නැහැ.

සමහරු දැන් තමන්ට හිතවත් මාධ්‍ය උපයෝගී කර ගනිමින්, අර්ජුන මහේන්ද්‍රන් මහතා නිසා ජාත්‍යන්තර ප්‍රශ්න ඇතිවී ඇති බවට ප්‍රචාර යවනවා. නමුත්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන මහබැංකු ගනුදෙනු විමසීමේදී ඒ බවක් පෙනී යන්නේ නෑ. රාජපක්‍ෂ රෙජීමයේ හෙංචයියලා, ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන වලට බලපෑම් එල්ල කරන බව අප දන්නවා. නමුත් ඒ කිසිවක් සාර්ථක වී නෑ.

මෙතන මා දකින ප්‍රධාන කරුණු දෙකක් පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි.

විදේශ පුරවැසියන් සම්බන්ධ කර ගෙන, රාජ්‍ය සම්පත් මංකොල්ල කද්දි, කොමිස් කුට්ටි ගණන් ගසා කද්දී, දූෂණයේ යෙදෙද්දී වංචා කරද්දී ඔබතුමන්ලා කට පියා ගෙන හිටියා. ඒත් විදේශ පුරවැසියෙක් යොදා ගෙන, දූෂණ වංචා තුරන් කරද්දී, මූල්‍ය විනයක් ඇති කරද්දී, රාජ්‍ය සම්පත් ආරක්‍ෂා කරද්දී, ඔබතුමන්ලා ඊට විරුද්ධයි.

මේ සා පහත් තත්වයකට මේ සභාවේ සමහර මන්ත්‍රිවරු ඇද වැටීම කණගාටු දායකයි. දූෂකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ සභාවේ රැයක් ගතකළ ඒ අයට, දූෂකයන්ට වැට බැදීම වෙනුවෙන් වචනයක් කථා කිරීමට පුළුවන් කමක් නැහැ.
අනෙක් කරුණ මෙවැනි ප්‍රශ්න මතුකිරීමට උපදෙස් දෙන පුද්ගලයන් පිළිබඳවයි. මේ සම්පූර්ණ ප්‍රශ්නය පිටුපස ඉන්නේ උසාවියක් දැකලාවත් නැති ගොඩ පෙරකදෝරුවෙක්.

අවසාන වශයෙන් තවත් එක් කාරණයක් කියන්න ඕන. ඒ කාලේ කැබිනට් මණ්ඩලයේ හිටපු ඔබතුමාලාටත්, පාර්ලිමේන්තුවටත්, මේ රටේ ජනතාවටත් හොරෙන් එක පවුලක් ජනතාවගේ මුදල් බිලියන ගණනක් ගසා කෑවා. අපි අද ඒ හොරකම් හොයනවා. හොයලා කොහොම හරි ඒ මුදල් සියල්ල ආපහු ජනතාවට ලබා දෙනවා. ඒ ගැන හොයන්න අපිට උදව් කරන එක ඔබතුමාලාගේ වගකීමක්.

අද ලෝකයේ හැම රටක්ම අපට උදව් කරනවා. ජාත්‍යන්තර වශයෙන් අපි කොන් වෙලා නෑ. ඒ නිසා අපි ඔබතුමාලාට කියනවා හොරු වෙනුවෙන් පෙනී සිටින්නට සූදානම් වෙන්න එපා. එක පවුලක් පෝෂණය කරනවා වෙනුවට, රටේ හැම දරුවෙකුටම පාසලක් දීලා, හැම තරුණයෙකුටම රැකියාවක් දීලා, ණය බර නැති කරලා, මුළු රටම පෝෂණය කරන්න මහා මෙහෙයුමක් දියත් කරන වෙලාවක අපේ කකුලෙන් අදින්නේ නැතුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, ඔබේ පක්‍ෂයේ සභාපතිතුමා සමඟ මේ රට ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න.

එහෙම කළොත් විතරක් දුෂිත රාජපක්‍ෂ රෙජීමයට උදව් කිරීමේ මහා පාපයෙන් මිදෙන්න ඔබටත් පුළුවන් වේවි. ජනතාව ඔබට සමාව දෙන්න සළකා බලාවි. නමුත් ඔබතුමාලා කරන්නේ කුමක් ද? රාජපක්‍ෂ රෙජීමය පරාජය කළ, මේ රටේ බහුතර ජනතාවගේ අපේක්‍ෂාව වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට අවලාද නැගීමයි. එතුමාට එරෙහිව යෑමයි.

පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත මහතා නිකුත් කළ පුවත් නිවේදනය ඊට ආසන්නතම උදාහරණයයි. ප්‍රෙමජයන්ත මහතා මෙන්න මෙහෙම පවසනවා. “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හතුරුකම් කළ සමහරුන් නැවත පක්‍ෂයේ තනතුරු ඩැහැගෙන නැවතත් පක්‍ෂය භේද කිරීමට ප්‍රයත්න දරණ බව පෙනේ. ඒ වෙනුවෙන් කිසිදා පක්‍ෂය හැර නොගිය ශ්‍රී ලංකා නිදහස් දේශපාලඥයන් පාක්ෂිකයන් සමග සිටිනවා ඇත.”

පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔබතුමන්ලා කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවයි. දැනුත් ඔබතුමන්ලා කටයුතු කරන්නේ ඒ ආකාරයටමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා අඩි දහයක් පොළව යටට යැවීමට කටයුතු කළ උදවිය, දැන් එතුමාගේ ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙල පොළව යටට යැවීමට උත්සාහ දරනවා. අප ඊට කිසි විටෙක ඉඩ දෙන්නේ නෑ.

අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, එතුමාගේ යහපාලන වැඩ පිළිවෙලත් ආරක්‍ෂා කරනවා. සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. හොරුන්, තක්කඩියන් සහ වංචාකරුවන් පිටු දකිනවා. ශීලාචාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා කැපවෙනවා.

 

(ලංකා ඊ නිව්ස්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *