• Sat. Jan 28th, 2023

සිරියා හමුදාව බැරල් බෝම්බ හෙළීමෙන් පුද්ගලයෝ 37 ක් ඝාතනය වෙති.

BySandun

Jun 5, 2015

siria

පසුගිය දින කිහිපයේ උතුරු සිරියාවේ ප්‍රදේශ කිහිපයකට රජයේ හමුදාව බැරල් බෝම්බ හෙළීමෙන් පුද්ගලයන් 37 දෙනකු පමණ ඝාතනය වී ඇතැයි මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණාගාරය ප්‍රකාශ කළා. මේ අතර ඉස්ලාමීය රාජ්‍ය ජිහාද්වාදීන් ඊශාන දිග පළාත් අගනුවර වන හසාකේ ආසන්නයට ම පැමිණ තිබෙන බව විදෙස්වාර්තා සඳහන් කරනවා.

සිරියානු මානව හිමිකම් කණ්ඩායම පවසන්නේ ඉහත පුද්ගල ඝාතන සිදුව ඇත්තේ උතුරේ අලෙප්පෝ පළාතේ හා වයඹ දිග ඉඩ්ලිබ් පළාතේ ඇති වූ සිද්ධි තුනක දී බවය.

අලෙප්පෝ හා ටැල් රෆාට් හි දී රජයේ හෙලිකොප්ටර් යානාවලින් හෙළන ලද බැරල් බෝම්බ 4 කින් ළමයින් 8 දෙනකු ඇතුළු පුද්ගලයන් 18 දෙනකුගේ ජීවිත අහිමිව ඇති අතර කැරලි කරුවන්ගේ බල ප්‍රදේශයක් වන ජබ් අල් කුබ්බේ හි බැරල් බෝම්බ පුපුරා යාමෙන් ළමයින් දෙදෙනකු ඇතුළු සිවිල් වැසියන් 11 දෙනකු ඝාතනයවී ඇති බවටයි නිරීක්ෂක කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ.

ඉඩ්ලිබ් පළාතේ කෆර් සිජ්නා නගරය මත බැරල් බෝම්බ හෙළීමෙන් එකම පවුලේ 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද ඔවුහු සඳහන් කර තිබෙනවා.
මේ සිද්ධි තුනේ දී ඝාතනයවී ඇති සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සමහරකු බරපතල ලෙස තුවාල ලබා ඇති බැවිනි.

විශාල බැරල් වල පුපුරන ද්‍රව්‍ය පුරවා සකසා ඇති මේ බැරල් බෝම්බවලට බොහෝ අවස්ථාවල පාසල් රෝහල් හා වෙළෙඳපොළ ගොදුරු වන බව පැවසී තිබේ.

මේ අතර අයි එස් ත්‍රස්තවාදී කණ්ඩායම ඊශාන දිග හසාකේ නගරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් රිය බෝම්බ පහක් පමණ පුපුරුවා තිබෙන බව වාර්තාවී තිබේ. රජයේ හමුදා සමග ගැටෙමින් ඔවුන් දැන් නගරයට පිවිසීමට ආසන්න බවත් දෙපැත්තේම විශාල පිරිසක් මියගොස් ඇති බවත් තවදුරටත් වාර්තාවී ඇත.

නගරයේ හමුදා සෝදිසි මධ්‍යස්ථාන සියල්ලම පාහේ අයි එස් සටන්කාමීන් සතුව ඇති අතර රජයේ හමුදා සමග ඇති වූ ගැටුම් වල දී ඔවුන්ගේ 26 දෙනකු ද හමුදාවේ 27 දෙනකුද ඝාතනයවී තිබේ. අයි එස් කණ්ඩායම දැන් නගරයෙන් මීටර් 500 ක දුරින් සිටින බවත් ඔවුන් මේ නගරය අල්ලා ගතහොත් එය ඔවුන්ගේ ග්‍රහණයට පත් දෙවැනි පළාත් අගනගරය වනු ඇති බවත් සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *