• Tue. Feb 7th, 2023

සංක්‍රාන්ති සමයක නව දේශපාලන පෙළගැසීම්.

ms article

ජනවාරි අට ජනාධිපතිවරණය නව දේශපාලන හවුලක් කරළියට ගෙන ආවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා පක්ෂයෙන් ඉවත් ව එතෙක් තම පක්ෂයෙහි ප්‍රධාන එදිරිවාදියා වූ එක්සත් ජාතික පක්ෂය සමහවුලක් තනා මැතිවරණයට ඉදිරිපත් විය. මෙය නිදහස් ලංකාවෙහි පූර්වාදර්ශයක් රහිත සිදු වීමකි.

මෙම අපූරු සිද්ධියට හේතු වූයේ කුමක් ද.? පළමු වැන්න, රාජපක්ෂ පවුලේ අධිකතර බල සංකේන්ද්‍රණයට ශ්‍රීලනිපය ඇතුළත ම පක්ෂ විපක්ෂ කණ්ඩායම් අතර වූ ප්‍රතිවිරෝධතාව මුහුකුරා යාම ය. දෙවැන්න, රටෙහි ශක්තිමත් වෙමින් වැඩුණු ඒකාධිපති පාලනයට එරෙහි ව ජන සමාජයෙන් පැන නැඟුණු විරෝධය උච්ච වීම ය.

ජනාධිපතිවරණයෙන් පොදු විපක්ෂයෙහි ජයග්‍රහණය සමඟ නව සංවර්ධන සහ නව ප්‍රතිවිරෝධතා ජනිත වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කළ ජාතික ආණ්ඩුව හැදුණේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ පක්ෂය ලෙස සිටීමට වැඩි මනාපයක් දැක්වූ හෙයිනි. එයින් සුළුතර ආණ්ඩුවක් සහ විපක්ෂයට බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අතර නව ප්‍රතිවිරෝධතාවක් පැන නැඟුණි.(නමුත් ඊයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි තවත් මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් දිව්රුම් දීම තුලින් 37 ට 37 ක් ලෙස ජාතික ආණ්ඩුවක් ලෙස ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂට ඇති ඉඩකඩ වැඩිය.)

Mahinda-Wimalපරාජිත ජනාධිපතිවරයා පක්ෂයෙහි තමන් සතු බහුතරය යොදවා බලපෑම් කළ හැකි තැනක සිය ප්‍රතිවාදියා “බැඳ දැමූ” පසු ඔහු කෙළේ සිය අනුප්‍රාප්තිකයාට හැකි තරම් හතුරුකම් කැරීම ය. පක්ෂයේ වැඩ අවුල් කැරීම ය. තවමත් ඔහු එසේ කරයි. 

අනතුරු ව රාජපක්ෂ කෙළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි වාටියෙහි වන් විහිළු නළුවන් තිදෙනෙකු යොදා ගනිමින් තමා අගමැති කරවන්නට ව්‍යාපාරයක් පටන් ගැනීම යය. ආරම්භයෙහි දී උන්මත්තක ක්‍රියාවක් සේ පෙනුණ ද කල් යත් ම එය සිය ප්‍රතිවාදියා ම නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ම බහුතරය යොදා ගනිමින් යළි බලයට පත් වීමට රාජපක්ෂ දරන දැඩි සහ කපටි වෑයමක් බව පෙනී ගියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස වර්තමාන ජනාධිපතිවරයා, රාජපක්ෂට නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කැරීමෙන් දැන් එළිපිට ම වෙනත් අතක් බලා ගන්නට ඔහුට සිදු ව ඇත. කෙසේ හෝ මැතිවරණයට ඉදිරිපත් වීමට ඔහු දක්වන උනන්දුවෙන් ඔහුගේ නොසිඳෙන බල තණ්හාව මෙන් ම දුර දක්නා නුවණ ද පෙනේ.

මෙම තත්ත්වයෙන් බැස ගත හැකි නිගමනයක් වන්නේ නව දේශපාලන බලවේගයක උදාව පමණක් නො වේ. දේශපාලන කරළිය පුරා ම වන බලවේගයන්හි නව පෙළගැස්මක් ද ඉන් අනාවරණය වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ද භේද ව ඇත. මෙම බෙදීම වර්තමානයෙහි හෝ නුදුරු අනාගතයෙහි හෝ සමථයකට පත් කළ නො හේ.

බොහෝ දෙනා එකඟ නොවුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද වීම යථාර්ථයකි. එය රටට මෙන් ම එම පක්ෂයට අසුබ වන්නේ ද නැත. මන් ද යත්, වර්ගවාදී ගෝත්‍රවාදී මෙන්ම අල්ලස, දූෂණය සහ බලය අවභාවිතයෙන් ජරාජීර්ණ වූවන් බුරුතු පිටින් තොලොංජි වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සකල උදරාබාධ සුව වී එය නීරෝගී සත්ත්වයකු ලෙස යළි පිබිදෙනු ඇති බැවිනි.

ආණ්ඩුව සහ විරුද්ධ පක්ෂය අතර ඇති  බල අරගලය හේතුවෙන් යහපාලනය සමච්චලයට පාත්‍ර ව ඇත. දියාරු කර සම්මත කර ගත් 19 වැනි සංශෝධනය ද අතරමඟ හිර ව ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කැරීම මතභේදයක් බවට පෙරැළි ඇති හෙයිනි. මෙම කඹ ඇදිල්ල දුර දිග ගෙන යාමෙන් එම මුළු ක්‍රියාදාමය ම. විශේෂයෙන් ම අල්ලස දූෂණය සහ බලයෙහි අවභාවිතය වැලැක්වීම කොට උඩ තැබෙන්නට පිළිවනි. ව්‍යවස්ථාදායක සභාව තිඹිරි ගෙයි ම මියැදේ ද.? ජනතා සිත්සතන්හි පැන නැඟ ඇති කුකුස එය යි. ඔවුන්ගේ වැඩෙන අවිශ්වාසයට හේතුව ද එය යි. මේ අතර ජනතා නියෝජිතයන් සඳහා යෝජිත ආචාර ධර්ම පද්ධතිය, විගණන කොමිසම තොරතුරු දැනගැනීමෙහි අයිතිය පනත ආදිය පෙනෙන තෙක් මානයක නැත. අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම අඩපණ කර ඇත. මූල්‍ය අපරාධ විමර්ශන අංශය අභියෝගයට ලක් කරමින් නඩුවක් උසාවිය ඉදිරියේ ය. මෑත උසාවි තීන්දු සමහරක් ජනතාවගේ හිතට ඇල්ලූවේ ද නැත.

මෙම තත්ත්වය යටතේ රට ගමන් ගන්නේ කොයිබට දැ යි ජනතාව විමතියට පත් වෙමින් සිටිත්.

ශ්‍රී ලංකාව පසුවන්නේ සංක‍්‍රාන්ති සමයක ය. ඒකාධිපතිවාදයෙහි සිට ප්‍රජාතන්ත්‍රවාදය කරා වන වෙනසක ය. ජනවාරි අට මැතිවරණ ජයග්‍රහණය එහි ආරම්භය පමණකි. දින සියය වැඩ පිළිවෙ­ෙළන් අපේක්ෂා කරන ලද්දේ එම ආරම්භය තහවුරු කැරීම ය. එහෙත් එය සාර්ථක ව ඇත්තේ අර්ධ වශයෙනි. එකෙතුදු වුව ඉතා වැදැගත් සංවර්ධනයක් සිදු විය. ජනතාවට නිදහසේ තම අදහස් ප්‍රකාශ කළ හැකි ය. විරුද්ධ මත දැරීමට පමණක් නොව පළ කැරීමට ද පිළිවනි. සුදු වෑන් තමන් පිටුපස හඹා එතැ යි බියක් නැත. අතුරුදහන් ව ඇත්තේ පුද්ගලයන් නොව සුදු වෑන් ය. සිවිල් සමාජය මර නින්දෙන් අවදි ව ක්‍රියාකාරී ය. එහෙත් ක්‍රියාකාරිත්වය තව ඉහළ නැංවිය හැකි ය.

සංක්‍රාන්ති සමයක් යනු අර්බුද සමයක් ද වෙයි. අර්බුද අවස්ථාවන්හි විරුද්ධ බලවේග තියුණු ව ගැටෙත්. එය ස්වාභාවික ය. තැවෙන්නට හෝ අධෛර්ය වන්නට හෝ කාරණයක් නැත. කළ යුතු වන්නේ කරළියෙහි රඟන නළුවන් ගේ කියුම් කෙරුම් පිටුපස සැඟැවී ඇති අභිලාෂ, අභිප්‍රාය වටහා ගෙන නිවැරැදි පැත්ත, ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කරන පැත්ත තෝරා බේරා එම පැත්තට සහාය වීම ය.

කලින් සඳහන් කළ පරිදි නව දේශපාලන පෙළගැසීම් වර්තමානයෙහි න්‍යාය පත්‍රයට පිවිස තිබේ. උතුරු නැගෙනහිර පළාත්වලින් පිටත වාසය කරන දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන සංවිධාන තුනක් නව සන්ධානයක් තනා ගත්තේ ඉකුත් සතියේ ය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු සංගමය සහ කඳුරට දෙමළ පෙරමුණ එක්ව දෙමළ ප්‍රගතිශීලී සංන්ධානය බිහි ව ඇත.

පැහැදිලි ව ම එය ඉදිරියෙහි එන මහා මැතිවරණය නිසා ඉක්මන් වන්නට ඇත. පසුගිය ජනාධිපතිවරණයෙහි දී මෙබන්දක විභව ශක්තිය පෙනී ගියේ ය. මෙය මෙතෙක් ලංකා වතු කම්කරු කොංග්‍රසයට වතුකරයෙහි පැවැති ඒකාධිකාර බලයට අභියෝගයක් වන්නට පිළිවනි.

මෙම සංවර්ධනයෙහි සාධනීය ලක්ෂණයක් වන්නේ වතුකරයෙහි කම්කරුවන්ගේ ජාතික සහ දේශපාලන විඥානයෙහි ඉදිරියට යාමක් එයින් පිළිබිඹු වීම යි. එහෙත් ඔවුන් කම්කරු පන්ති විඥානයක් ඇති කැරැ ගැනීමට නම් තව බොහෝ දුර යා යුතු ය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් වතුකරයට බැඳ තබන පූර්ව – ධනේශ්වර සහ වැඩවසම් සම්බන්ධතා ය.

මෙම සංවර්ධනයට බල පෑ සාධනීය නොවන ලක්ෂණ තුතකි. පළමු වැන්න වතුකරයෙහි කම්කරුවන් ගේ ප්‍රශ්න දෙස සැලැකිලි මත් වීමට සහ ඒවා වෙනුවෙන් සටන් වැදීමට වාමාංශය සහ නාගරික කම්කරු ව්‍යාපාරය අසමත් වීම ය. මෙම දුබලතාවෙන් පැරැණි වම පමණක් නොව (තරමක් වයසක) නව වම ද පෙළෙයි.

දෙවැන්න දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇති විශ්වාස භංගය ය. එම සන්ධානය වතු කම්කරුවන් ඇතුළු උතුරු නගෙනහිර පළාත්වලින් බැහැර ව වාසය කරන දෙමළ ජනතා ප්‍රශ්න ගැන එතරම් උනන්දුවක් උද්යෝගයක් පෙන්වා නැත.

තෙවැන්න, වතුකර ජනතාව ගේ පරම ඉල්ලීම් පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වීම සහ උතුරු නැ‍ෙඟනහිරින් බැහැර වසන දෙමළ ජනයාට නියෝජන සභාවන්හි සප්‍රාමාණික නියෝජනයක් දීමට අසමත් වීම නිසා එම ජනතාව සිංහල ධනේශ්වර පාලකයන් කෙරෙහි තැබූ විශ්වාසය පලූදු වීම ය.

මහා මැතිවරණය ළං වත් ම තව නව පෙළගැසීම් බලාපොරොත්තු විය හැකි ය. මෙම සංවර්ධනයෙන් කැපී පෙනෙන්නේ න්‍යායයික මතභේද පසෙක ලා එකඟ විය හැකි අවම ප්‍රායෝගික වැඩපිළිවෙලකට වත් සමගි වීමට කැඩී පවත්නා වාම බලවේගවලට ඇති නොහැකියාව ය. මෙම තත්ත්වය දිගට ම පැවැතිය හොත් වාමාංශයෙහි ඉරණම ගැලපෙන මනාලයකු පතමින් ගෙදරට ම නාකි වන ළමිස්සියක ගේ ඉරණම ම වීමෙහි අනතුරක් ද පවතී.

 

(ජයතිලක ද සිල්වා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *