• Sat. Jan 28th, 2023

wigneshwaran

උතුරු පළාත් මහ ඇමැතිවරයා යළිත් දෙබරයකට ගල් ගසා ඇත. නිරන්තරව විවාදාත්මක මෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා මෙවර තවත් මුසාවාදයක්‌ පතුරුවා ඇත. එනම් උතුරේ තරුණයන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස්‌ ඇති බවත් මෙය ඉතා සූක්‍ෂම ලෙස ව්‍යාප්ත කර ඇති බවත් එයට වගකිව යුත්තේ අන්කවරකුවත් නොව රජයේ ආරක්‍ෂාක අංශ බවත් සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබීම සැබවින්ම සැලකිල්ලට ගතයුතු කාරණයකි.

නිරන්තරව උතුරෙන් හමුදාව ඉවත්විය යුතු බව පවසන මේ මහ ඇමැතිවරයා යළිත් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ හමුදාවට නිග්‍රහ කිරීමට බවට සැක නැත. උතුරු පළාතේ තරුණයන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඇරඹෙන්නේ 2009 මැයි මාසයෙන් පසුව බව හෙතෙම කියයි. කොටි සංවිධානය ක්‍රියාත්මකවූ සමයේ උතුරු නැගෙනහිර පළාත්වල මත්ද්‍රව්‍ය ව්‍යාප්තියක්‌ නොතිබූ බව මේ වැදගත් විනිසුරුතුමා කියයි. ඇත්තෙන්ම යාපනය හමුදා පාලනයේ පවතින්නේ 1995 දෙසැම්බර් 05 වැනිදා සිටය.

රිවිරැස මෙහෙයුමෙන් පසුව යාපනයේ බලය හමුදාව අතට පත්වී දැන් වසර 20 කි. කුමන්ත්‍රණකාරී ලෙස දෙමළ තරුණයන් මළ මිනී බවට පත්කිරීමට උත්සාහයක්‌ ඇති බව විග්නේෂ්වරන් මහතා යාපනයේ පැවැති ක්‍රීඩා උත්සවයකදීත් ප්‍රකාශ කර තිබිණි. එහිදී ද වක්‍රව චෝදනා කර තිබුණේ ආරක්‍ෂක අංශවලටය. නමුත් දෙමළ තරුණයන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරීමට හමුදාවට ඇති උවමනාව කුමක්‌ද? කොටි සංවිධානය බලයේ පැවැති සමයේදී නම් මුහුදු කොටි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළා පමණක්‌ නොව ඒ ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් බවද රහසක්‌ නොවේ. උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම තදින් සිදුනොවූයේ කප්පම් ගෙවමින් මේ ව්‍යාපාරය කිරීමට අපහසු නිසයි.

ඇත්තෙන්ම 2009 න් පසුව දෙමළ ජනයාට නිදහස ලැබිණි. ඒ නිදහස නිසාම උතුරට පළාත් සභාවක්‌ පත්කර ගැනීමට අවස්‌ථාව උදාවිය. එහෙත් විග්නේෂ්වරන්ට අවශ්‍ය සියළු විපත් උදාවන්නේ 2009 පසුව බව කියන්නද? කොටි බෝම්බ පුපුරද්දී ෂෙල් වෙඩි පතිත වෙද්දී, මිනිස්‌ බෝම්බ පුපුරා යද්දී, මේ සියළු ඛේදවාචක සමඟ ගෙවුණු කාලය හොඳ බව කීමද? මේ මහ ඇමැතිවරයා උත්සහ ගන්නේ. අපට නම් මෙය අදහාගත නොහැකිය. 2009 මැයි මාසයෙන් පසුව රටේ සෑම ප්‍රදේශයකම බලය ශ්‍රී ලංකා රාජ්‍ය සතුවිය. එක කොඩියකට එක නීතියකට රට නතු විය. එහෙත් විග්නේෂ්වරන් ප්‍රකාශ කරන්නේ කොටි කොඩිය යටතේ පැවැති කාලයේ උතුර මත්ද්‍රව්‍යවලින් නිදහස්‌ව සාමකාමීව තිබුණු බවයි. මේ ඊනියා මහඇමැතිට අවශ්‍ය නැවත කොටි පාලනයකට යන්නද?

ඇත්තෙන්ම උතුරු මහඇමැතිවරයා සිදුකරන මෙවැනි සාහසික ප්‍රකාශවලින් සිදුවන්නේ හමුදාව නිග්‍රහයට ලක්‌වීමය. මේ ප්‍රකාශ ජාත්‍යන්තරයටද යයි. එයින් සිදුවන්නේ කවරක්‌ද? යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින ජාත්‍යන්තර බලවේගයන්ට විශේෂයෙන්ම කොටි ඩයස්‌පෝරාවට තවත් අනුබලයක්‌ ලැබීම පමණි.

උතුරේ හමුදාව ඉවත් කිරීමට “සිරිසේන – වික්‍රමසිංහ” නව ආණ්‌ඩුවද සූදානම් නොවන නිසා හමුදාව නිග්‍රහයට ලක්‌කිරීමේ තවත් උපාය මාර්ගයක්‌ විග්නේෂ්වරන් අරඹා ඇත. මෙය විග්නේෂ්වරන්ගේ පමණක්‌ නොව දෙමළ සන්ධානයේද ප්‍රධාන දේශපාලන උපක්‍රමයකි.

‘විද්‍යා’ පාසල් සිසුවියගේ ඝාතන පුවත රටේම ආන්දොඅලනයට ලක්‌වූ බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සම්බන්ධව පැවැති රූපවාහිනි වැඩසටහනකදී ළමා කටයුතු නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරම් මහත්මිය ප්‍රකාශ කළේ කුමක්‌ද? කොටි පාලනය පැවැති සමයේ කාන්තාවන්ගේ ආරක්‍ෂාව වඩා සුරක්‍ෂිතව පැවැති බවයි. එමෙන්ම රාත්‍රි 12 ට පවා කිසිදු හිරිහැරයකින් තොරව කාන්තාවන්ට නිවසින් එළියට බැසීමට හැකියාවක්‌ තිබුණ බව ඇය ප්‍රකාශකර සිටියාය. මේ අවස්‌ථාවේදී එම වැඩසටහන මෙහෙයවූ නිවේදකයා විජයකලා මහත්මියගෙන් කොටි සංවිධානය ළමුන් පැහැරගෙන ගොස්‌ ළමා බළකා සෑදීම ගැන ප්‍රශ්න කිරීමේදී ඇය අපූරු උත්තරයක්‌ දුන්නාය. ඇය කීවේ ඒ අය කැමැත්තෙන් මේවාට සහභාගි වූ බවයි. ඒ අවස්‌ථාවේදී මෙම වැඩසටහනට සහභාගිවූ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායකද තම නියෝජ්‍ය ඇමැතිනියගේ ප්‍රකාශයෙන් අපහසුතාවට පත්වූ බව පෙනිනි.

විග්නේෂ්වරම් මෙන්ම විජයකලාද එකම මානසික මෙහෙයුමක නිරතවන බව පැහැදිලිය. ‘විද්‍යා’ දැරිය දෙමළ ජාතියකුගේම අතින් දූෂණය වී ඝාතනය වුවත් අපවාදයට ලක්‌කෙරෙන්නේ ආරක්‍ෂක හමුදාවයි. හදිසියේ හෝ මෙයට සෙබළෙක්‌ සම්බන්ධ වූවානම් කවර තත්ත්වයක්‌ උදාවෙයිද.? එහෙත් අපේ ආරක්‍ෂක අංශ කටයුතු කරනු ලබන්නේ විනයානු කූලවය. 2009 න් පසුව උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ස්‌ත්‍රී දූෂණ චෝදනා එල්ලවුණේ නැත. විග්නේෂ්වරම්ලා දුක්‌ වන්නේ එවැනි චෝදනාවක්‌ නැගීමට අවස්‌ථාවක්‌ නොලැබෙන නිසාය. එනිසා මත්කුඩු වලින් හමුදාවට දමා ගසයි.

උතුරු මහ ඇමැතිවරයා මත්කුඩුවලින් හමුදාවට දමා ගසනවිට අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති නිලංග සමරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට කිසිම පදනමක්‌ නොමැති බවයි. යාපනය මත්ද්‍රව්‍ය පැතිරීම ඉතාම අඩුම ප්‍රදේශයක්‌ බව සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙරට කුඩු ගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 17 දෙනෙක්‌ හඳුනාගෙන ඇති බවත් එයින් 07 දෙනෙක්‌ම දෙමළ ජාතිකයන් බවත් උතුරේ දෙමළ තරුණයින්ට කුඩු විකුණුවේ දෙමළ ජාවාරම්කරුවන් මිස අන් අය නොවන බව සමරසිංහ මහතා අවධාරණය කරයි.

අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයට උතුරේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳව හමුදාවට චෝදනා එල්ල කරමින් කිසිම අයෙකු මෙතෙක්‌ පැමිණිලි කර නැති බවත් සමරසිංහ මහතා පවසයි. එහෙත් විග්නේෂ්වරන් නම් මේ කරුණු පිළිගන්නේද යන්න ප්‍රශ්නයකි. ඉකුත් 08 වැනිදා උතුරේ මත්ද්‍රව්‍ය පැතිරීම පාලනය පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ රැස්‌වීමක්‌ පැවැති අතර එයට උතුරු මහ ඇමැති මෙන්ම අමාත්‍ය ජෝන් අමරතුංගද සහභාගි විය. වෛද්‍ය සමරසිංහ මහතා විග්නේෂ්වරන් අසලම සිට අදහස්‌ දක්‌වමින් මේ ව්‍යාජ චෝදනා ප්‍රතික්‍ෂේප කිරීම අගය කළ යුතුය. ඖෂධ පාලක මණ්‌ඩලය මේ ව්‍යාජ තර්ක ප්‍රතික්‍ෂේප කළද විග්නේෂ්වරන් නම් සිය චෝදනා හකුලාගනීද යන්න පැහැදිලි නැත. ඔහුට අවශ්‍ය හමුදාවට මඩ ප්‍රහාර එල්ල කර සිංහල විරෝධී මතයක්‌ උතුරු නැගෙනහිර පළාත්වල ඇති කිරීමටය. එය කොටි හිතවාදී බලවේගවල මෙන්ම දෙමළ ඩයස්‌පෝරාවේද සතුටට හේතුවනු ඇත. එක්‌ අතකින් දෙමළ තරුණයන් මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමට විග්නේෂ්වරන් මහතා තුළ ඇති උනන්දුව සිංහල දේශපාලකයන්ට නැතිවීම කනගාටුවට කරුණකි. එහෙත් මේ මහ ඇමැතිවරයා මත්ද්‍රව්‍ය චෝදනා නගමින් ආරක්‍ෂක අංශවලට මඩ ගැසීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

 

(දිවයින)

One thought on “හමුදාව නිග්‍රහයට ලක්‌කිරීමේ "විග්නේෂ්වරන් උපාය"”
  1. විගණේෂ්වරන් මහතාගේ සහ විජයකලා මහත්මියගේ ප්‍රකාශයන් නිරතුරවම ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන, අාන්දෝලනාත්මක සහ මහජනයා අතර සාමය බිදවැටෙනසුලු ප්‍රකාශයන් වීම ඉතාමත් ප්‍රහේළිකා සහගතය.
    ඒ ප්‍රකාශයන්හි යටි අරමුණ කුමක්දැයි වටහාගැනීම කිසිවකුටත් අපහසු නොවේ.
    ඔවුන්ගේ ඒකායන ප්‍රාර්ථනාව අවසථාවාදී ලෙස හැසිරී රට දෙකඩ කිරීම නම් ඒ කිසිදා සිදුනොවන දහවල් සිහිනයක්ම වනු අැත.
    මක්නිසාද යත් වසර 30 ක කාලයක් යුද්ධයෙන් බැටකා අසරණවූ සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සුළුජන කොටස් වලට අවශ්‍යව අැත්තේ සාමය සහ සංහිදියාව පාදකවූ ඒකීය රටක් මිස බෙදා වෙන්කරන ලද සැමදා කුලල් කාගන්නා ශ්‍රී ලාන්කීය ජාතියක් නොවේ.
    දමිළ මාතෘභූමිය ලෙස සැලකෙන තමිල්නාඩුව වත් ඒකීය රටක් සේ කිසිදා පිළිනොගන්නා වාතාවරණයක, ඉතාමත් කුඩාවූ ශ්‍රී ලංකාවෙන් කොටසක් කඩාගැනීමට තැත් කරනවුන් 20 වන සියවසේ මහාම විහිළුව ඒළිදැක්වූවන් වුවත් ඒ 21 වැනි සියවසටත් නිමිත්තක් කරගැනීමට තරම් මුග්ධ නොවනු අැතැයි අපි විශ්වාස කරමු.
    මෙයට පිටුපා වැඩකරන සැවොම තම දේශපාළන හා සමාජයීය භූමිකාව තමන් විසින්ම වළදා ගන්නවුන් වනු අැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *