• Mon. Jan 30th, 2023

මහින්දගේ පාර්ලිමේන්තු ලේකම්ටත් මුල්‍ය චෝදනා.

mr mny sec

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සභාපතිත්වය දැරූ ජාතික උරුම උයන භාරය නම් සංවිධානය ජාතික උරුම සංකල්ප කෞතුකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ලබාගත් රුපියල් මිලියන 30.5ක මුදලින් රුපියල් මිලියන 18ක (රු.18,811,046) මුදලක් සාවද්‍ය පරිහරණයට ගෙන ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති විගණන විමසුමෙහි සඳහන් වේ.

උක්ත කෞතුකාගාරය ඉදිකිරීම අකුරැස්සේ කහවිල්ගොඩ පුරාණ විහාරස්ථානයේ සිදුකර ඇති අතර ජාතික උරුම උයන භාරය රජයේ ලියාපදිංචි වී නැති සංවිධානයක් බවත්, මෙම ප‍්‍රතිපාදන ලබාදීමේදී අනුගමනය කළයුතු නීති රීති නොසලකා හැර ඇති බවත් T M / A / 2 0 1 4 / Q / 2 0 2015’02’2 දරණ විගණන විමසුමේ සඳහන්ය.

ජාතික උරුම උයන භාරයේ නිලධාරීන් වන්නේ පරදුව ජිනරතන හිමි, කුමාරසිරි හෙට්ටිගේ හා සිරිසේන පැලවත්ත යන අයයි.

රුපියල් මිලියන හැටක ණය මුදලක් :

සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පාලක මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කර රුපියල් මිලියන හැටක ණය මුදලක් මෙම භාරයට ලබාදීමට අනුමත කර ඇත්තේ කිසිදු ඇස්තමේන්තුවක්, සැලැස්මක් හෝ මුදල් වැය කරන ආකාරය හා අනෙකුත් අවශ්‍ය වාර්තා කිසිවක් ලබා නොගෙනය.

අනුමත කළ මුදලින් රුපියල් මිලියන 30.5ක ප‍්‍රමාණයක් ජාතික උරුම උයන භාරයට ලබාදී තිබේ. මෙයින් ඉදිකිරීම් කටයුතු සඳහා වියදම් කළ මුදල් වෙනුවෙන් රිසිට්පත්, වව්චර් හෝ වෙනත් තහවුරු කිරීමේ ලේඛන පවා විගණන විමසුමේදී ඉදිරිපත් කර නැත.

ඉදිකිරීම් සඳහා යොදාගත් ඉඩමටද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබී ඇති අතර ඒ පිළිබඳව ද අවධානයක් යොමුකර නැති බවද විගණන විමසුම පෙන්වා දෙයි.

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා :

නීත්‍යනුකූල නොවන ආයතනයක් පිහිටුවා රාජ්‍ය අරමුදල් ලබාගෙන නිසි ලෙස පරිහරණය නොකිරීම පිළිබඳව ජාතික උරුම උයන භාරයේ නිර්මාතෘ හා ප‍්‍රධාන මෙහෙයුම්කාර පරදුව ජිනරතන හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පැවසුවේ, තම ආයතනය පාර්ලිමේන්තුවේ සම්මත පුණ්‍යායතනයක් ලෙස අනුමත කරවා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට 2013 වසරේදී අදාළ ලියකියවිලි භාරදුන් බවත්, 2015 පෙබරවාරි මාසයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්ය.

තමන් එයින් ලබාගත් මුදල් නිසි ලෙස යොදවා ඉදිකිරීම් කර ඇතත් විහාරස්ථානයට පිවිසෙන මාර්ගය ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් මුදලට සරිලන ලෙස මාර්ගය ඉදිකර නැති බවත් උන්වහන්සේ පැවසුහ.

ජාතික උරුම උයන භාරයේ සභාපති කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ජංගම දුරකථනයට අමතා කරුණු විමසීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

සෑහීමකට පත්විය නොහැකියි :

සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් එච්.ඞී.එස්. මල්කාන්ති මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ විට ඇය පැවසුවේ ජාතික උරුම උයන භාරය නම් සංවිධානය ලියාපදිංචි ආයතනයක් නොවන බවය.

එමෙන්ම මෙම ඉදිකිරීම් සිදුකළේ යැයි කියන ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂාවක් කළ බවත් එහි සිදුකර ඇති කාර්යයන් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඇය කීවාය.

එසේම දුරකථන ඇමතුමට පිළිතුරු දෙන අවස්ථාවේ ඇය කාර්යාලයෙන් බැහැරව සිටින බැවින් අදාළ ලිපිගොනුව නොබලා එයට වඩා විස්තර කිසිවක් කිව නොහැකි බවද ලේකම්වරිය කීවාය.

 

(රාවය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *