• Thu. Feb 2nd, 2023

lasantha

 

 

 

 

 

 

 

 

මේ වනවිට වැලිකඩ බන්ධනාගාර ගතව සිටින සැකකරුවෙකු විසින් ලද තොරතුරකට අනුව සන්ඩේ ලීඩර් කාර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් නව තොරතුරු රාශියක් ලැබෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටි.

ඊයේ (16) පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් සමග පැවැත්වු සාකච්ඡාවකදී මෙම තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෙළදරව් කළ අතර ඒ අනුව ලසන්ත ඝාතනයේ පරීක්ෂණ නව මගක් ඔස්සේ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙම අවස්ථාවට උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරමින් දෙමළ මාධ්‍යවේදීහුද එක්ව සිටි අතර එම ප්‍රදේශවල මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුවත් කිරීමට එම මාධ්‍යවේදීහු පියවර ගත්හ. මෙහිදී ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය කළ ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ කීය

“ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණ කටයුතු කළේ ගල්කිස්ස ‍පොලිස් ස්ථානය මගින්. ඊට පසු එම පරීක්ෂණ කටයුතු මිරිහාන විමර්ශන ඒකකය මගින් හා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් සිදුකළා. අවසාන වශයෙන් ‍පොලිස්පතිවරයාගේ නියෝග මත 2015 පෙබරවාරි 23 වනදා මෙහි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනු ලැබුවේ පෙර විමර්ශනවල උද්ධෘතද සමගිනි. මෙහි කලින් කළ විමර්ශනවලදී පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් එක් අයකු මියගියා. අනිත් පුද්ගලයා දැනට මුදාහැර තිබෙනවා.

මේ වනවිට වෙනත් වරදක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු වික්‍රමතුංග ඝාතනය ගැන වැදගත් තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශනය කර පරීක්ෂණ කටයුතු නව මගකට ගන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම මර්වින් සිල්වා මහතා මාධ්‍යයට කරනු ලැබූ ප්‍රකාශයකට අනුව ඔහුගෙන් ප්‍රකාශ ගෙන කරුණු හෙළිදරව් කර ගැනීමට බලා‍පොරොත්තු වනවා. මර්වින් සිල්වා මහතාගේ ප්‍රකාශවලින් සම්පූර්ණ කරුණු අනාවරණය නොවුණත් එළිදරව් වූ සුළු සුළු කාරණා ඔස්සේ හෝ පරීක්ෂණ කරනවා..

‍පොලීසිය හා මාධ්‍යවේදීන් අතර සුහදතාවය ගොඩනැගීම අරමුණු කරගෙන පැවැති මෙම හමුවේදී මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම, මාධ්‍යවේදී නිමල රාජන් ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණි. මෙම හමුව මාස 02කට වරක් හෝ පැවැත්වීමට ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එකඟතාවය ලැබිණි.
ඒ අනුව මාධ්‍යවේදීන් මතු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් මීළඟ හමුවේදී යාවත්කාලීන තොරතුරු ලබාදීමටද මාධ්‍ය ප්‍රකාශකවරයා එකඟතාවය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *