ජනතා මුදල් බැනර් සහ කටවුට් වෙනුවෙන් නාස්තිකාර ලෙස වියදම් කිරීම වෙනුවට දේශපාලනඥයින් විසින් එම මුදල් ජනතා සුභසාධනය වෙනුවෙන් යෙදවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් නීරෝගා නමින් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් හදුන්වාදුන් නව ලොතරැයිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (24) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
“පසුගිය ආණ්ඩු සමයේ සිටි පාලකයින් රාජ්‍ය ආයතන වල මුදල් තම තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපයක් ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් භාවිත කළ අතර ඒ වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන ගණනක් වේ.
එවන් පසුබිමක් තුළ පසුගිය ජනාධිපතිවරණයේ දී බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය වෙනුවෙන් පොදු අපේක්ෂකයා වූ තමා වෙත විවිධ පාර්ශවයන් විසින් ලබා දුන් මුදල් වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් වන අරමුදලක් පිහිටවීමට යොමු කළ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
ඇතැම් පුද්ගලයින් විනෝදාශ්වාදය වෙනුවෙන් සමාජශාලා සහ වෙනත් ස්ථානවල දී එක් රාත්‍රියක දී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරනු දක්නට හැකියි.
එම මුදල් මෙරට දිළිදු පුරවැසියන්ගේ හා වකුගඩු රෝගීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරන මෙන් තමන් ඔවුන් සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය.
එසේම, මෙරට වකුගඩු රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් වකුගඩු නිවාරණ පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටවීම, ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ඇතිව නව අරමුදලක් පිහිටවීම ඇතුළු රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
වකුගඩු රෝගී නිවාරණ වැඩපිළිවල ශක්තිමත් කිරීම සදහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හදුන්වාදුන් මෙම නිරෝගා ලොතරැයි පත අළෙවියෙන් උපයාගන්නා මුදල් සම්පූර්ණයෙන් ම එම රෝගීන්ගේ සුභසාධන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් යෙදවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් ද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.