• Mon. Jan 30th, 2023

10 Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළ තරග විකාශන අයිතිය හිමි ටෙන් ස්පෝර්ට්ස් (TEN Sports) ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලි විකාශය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලංසුවල වටිනාකම් අඩුකරන බවක් පෙනෙන්නට තිබෙන බැව් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව 2017 වසරෙන් පසුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග විකාශය කරන විට එක් තරගයක් සම්බන්ධයෙන් ගෙවන මුදල ඩොලර් ලක්ෂ පහක් දක්වා අඩුකිරීමට යෝජනා කර ඇතැයි වාර්තා වෙන්නේ.

දැනට පවතින 2017 වසර දක්වා වන තරග ගිවිසුම හරහා ඔවුන් එක් තරගයට ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවනු ලබයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සමීප වාර්තා පවසන්නේ ඔවුන්ගේ අගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙන බවයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අගෝස්තු මාසයේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී තරග තුන සඳහාම ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට ගෙවීමට එකඟ වී තිබෙන්නේ ඩොලර් මිලියන 1.4ක් පමණි. (මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කාලසටහනට පරිබාහිරව ලැබුණ තරගාවලියක් හෙයින් ඒ සඳහා වෙනම මුදල් ගෙවීමට ටෙන් ස්පොර්ට්ස් ආයතනයට සිදුවෙයි).

කෙසේ වෙතත් මේ වටිනාකම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැඩි විරෝධය එල්ල වී තිබෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයාද වරක් පැවසුවේ, එම වටිනාකම දැකීමෙන් තමන් පුදුමයට පත්වූ බවයි. එසේම එම අගය පිළිබඳව නැවත සලකා බලන ලෙස මේ ආයතනයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සාමාජික නුෂ්කි මොහොමඩ් මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවැසුවේ,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලියේ අපේක්ෂා කරන මිල ගණන් ඉදිරිපත් කරන ලෙසට ටෙන් ස්පොර්ට්ස් නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවසා තිබුණ බවයි. නමුත් සභාපතිවරයා විදෙස්ගතව සිටින හෙයින් නව මිල ගණන් ඉදිරිපත් කළේද යන්න පිළිබඳව නුෂ්කි මොහොමඩ් මහතා දැන නොසිටියේය.

ඉන්දීය තරගාවලිය සඳහා අඩු වටිනාකම් ඉදිරිපත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් වන උපාලි ධර්මදාස, ආසන්නතම හිටපු ලේකම් වන නිශාන්ත රණතුංග යන මහත්වරුන්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පසුගියදා (ජුනි 10-14) බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයේ විකාශය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් නාළිකාව ගෙවූ බවයි.

යම් හෙයකින් ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ටෙන් ස්පෝර්ට්ස් ආයතනය විසින් ඉල්ලා තිබෙන මිල ගණන්වලට ලබාදුනහොත් ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට සිදුවන පාඩුව ආසන්න වශයෙන් ඩොලර් මිලයන 6.1 ක්  (ජුනි 20දා හිටපු නිලධාරීන් නිකුත් කළ නිවේදනයට අනුව) බව ඔවුහු පවසති.

ඔවුන් තවදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ සිදුවන පාඩු පිළිබඳව අවධානය යොමු කරන බව හා ඒ පිළිබඳව කනගාටු වන බවයි. එසේම මේ පිළිබඳව ජනපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුවනු ඇතැයිද ඔවුහු පවසති.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සාමාජික නුෂ්කි මොහොමඩ්:

“අලුත් අගයක් (ඉන්දීය තරගාවලිය වෙනුවෙන්) එවන්න කියලා තියෙන්නේ. ඒක යැව්වද කියලා මම දන්නේ නෑ. 2017 වෙනකම් අත්සන් කරපු ගිවිසුමට (ටෙන් ස්පොර්ට්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට්) අනුව එක තරගයකට මිලියන 2.5 (ඇමෙරිකානු ඩොලර්) ගෙවනවා. දැන් අලුත් ගිවිසුමට (2017 -2020) ඒ අය ඉදිරිපත් කරලා තියෙන මිල ඩොලර් ලක්ෂ පහටත් වඩා අඩුයි. හුඟාක් අඩු අගයක්. තාම අපි ගිවිසුම් අත්සන් කරලා නෑ. අපිට පුළුවන් මේක ප්‍රතික්ෂේප කරලා සාකච්ඡාවකට යන්න. මේ වෙලාවේ මොනවා වෙයිද කියලා කියන්න බෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *