• Tue. Feb 7th, 2023

අගමැති අපේක්ෂකත්වය ගන්නේ නෑ. අගමැතිතුමා දක්ෂ ලෙස රට පාලනය කරනවා

chandrika & ranl

හෙට ජීවන දිවි මගෙහි, හැත්තෑවෙනි සැතපුම් කණුව පසුකරන හිටපු, ජනාධිපතිනි, චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, සමග සිළුමිණ පුවත්පත පැවැත්වූ සාකච්ඡුාවකි මේ. ඇගේ ජීවිතයට අදාළ බොහෝ කාරණා සේම, දේශපාලනික මාතෘකා කිහිපයක් ද සාකච්ඡුා විණී. හිටපු ජනාධිපතිනිය, ලේක්හවුස් පුවත්පතක් හා මේ සංවාදයට එක්වනුයේ වසර 11කට පමණ පසුවය.

හෙට (29) ඔබට සුවිශේෂී දිනයක්.‍ ඔබේ උපන් දිනය හෙටයි. වසර 70 ක් ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?

ඉතාමත් සංකීර්ණ, හා සාරවත් ජීවිතයක් මම ගත කර තියෙනවා‍. ඒක වරප‍්‍රසාදයක් හැටියට මම සලකනවා. ඉතාමත් ම සතුටුදායක වගේ ම කනගාටුදායක දේත් මම මේ කාලය තුළ භුක්ති විඳ තියෙනවා. පොදුවේ ගත්තහම ගෙවුණ අවුරුදු හැත්තෑව ගැන සුළු හෝ කනස්සල්ලක් මට නැහැ. උපරිම ලෙස මේ කාලය තුළ මම ජීවිතය භුක්ති විඳ තියෙනවා.

ඔබේ පාසල වුණේ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය. ඉස්කෝලේ කාලේ ගැන තියෙන මතකය මොනවගේ ද?

හොඳ මතකයක් තියෙනවා. අවුරුදු පහේදී මම පාසලට ඇතුළු වුණා. බොහෝ ම ප‍්‍රීතිමත් පාසල් කාලයක් තිබුණා. ඒ කාලේ මම හරි දගයි.

කැත වැඩ කියලා කියන දේවල් නම් කළේ නැහැ. ඒත් ටීචර්ලට විහිළු කරනවා‍. ඒ අය කථා කරද්දී මොනවා හරි විහිළුවක් වගේ දේවල් නම් නිතර කළා.

ඉගෙන ගන්න තිබුණු උනන්දුව මොනවගෙයි ද?

ලොකු උනන්දුවක් තිබුණා. පළමුවෙනි අවුරුද්දෙදි ඩබල් ප‍්‍රමෝෂන් එකක් ගත්තා. විනය කියන දේ බොහෝ ම තදින් ම පවත්වාගෙන ගිය පාසලක් හැටියට ඊට අනුගතවෙන්න අපට සිද්ධ වුණා. තාත්තාගේ, අම්මගේ තනතුරු ඒ තරාතිරම නොබලා, අනිත් ළමයින්ට වගේ ගුරුවරු අපිටත් සැලකුවා.

උසස් පෙළට මොනවද කළේ?

විද්‍යා විෂයයන්.

බාහිර ක‍්‍රියාකාරකම්වල එහෙම නිරත වුණේ නැද්ද?

කළා. අපි ඉස්කෝලේ යන කාලේ රේඩියෝ සිලෝන් එකෙන් අන්තර් පාඨශාලීය මට්ටමෙන් සමස්ත ලංකා අත්අකුරු තරගයක්, සමස්ත ලංකා විවාද තරගයක්, දැනුම මිනුම තරගයක්, කළා. ඒ කණ්ඩායම් තුනම, මම නියෝජනය කළා. ඒවායින් ජයග‍්‍රහණ පවා ලැබුවා‍. ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන් පටන් ගත්ත පළමු වෙනි සිංහල පුවත්පතේ කර්තෘ වුණෙත් මම.

පාසලෙන් පිට මම ‍උඩරට නැටුම් කළා. වේදිකාවෙත් නැටුවා. මුල් ම නැටුම් ගුරුවරයා වුණේ ශ‍්‍රී ජයනා මහත්මයා. ඒ කාලේ සිංහල සංස්කෘතික සංගමය තිබුණේ හුණුපිටියේ ගංගාරාමය ළග පරණ ගොඩනැගිල්ලක. එතැන තමයි පන්ති තිබුණේ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් එතැනට නැටුම් ඉගෙන ගන්න ආවා. අපි දෙන්නා එකට නටලත් තියෙනවා. නමුත් එයා ඉක්මනින් යන්න ගියා. මම දිගටම නැටුවා. ඊට පස්සේ චිත‍්‍රසේන හා වජිරා ළගට ගිහින් නැටුම් ඉගෙන ගත්තා.

ක‍්‍රීඩාවට තිබුණේ මොනවගේ උනන්දුවක් ද?

ටෙනිස් ගැහුවා. ජිම්නාස්ටික් කළා.

ඉස්කෝලේ හිටපු සමකාලීනයෝ කවුද?

ඒ ඔක්කොම දොස්තරලා. තාත්තා නැතිවෙලා අවුරුදු එක හමාරකට විතර පස්සෙ මම ඒ. ලෙවල් කළේ. එතකොට, අම්මා දේශපාලනයට ඇවිත්. විශේෂයෙන් ම තාත්තාගේ හදිසි මරණය අප තුළ ලොකු කම්පනයක් ඇති කළා. ඇත්තටම ඒකෙන් අපිට තාත්තයි අම්මයි දෙන්නම නැතිවුණා.

අම්මා, දේශපාලනයට ගියාට පස්සේ අපේ භෞතික දේවල් දිහා බැලූ‍වට, අනිත් දේවල්, ගැන හොයලා බලන්න වෙලාව තිබුණේ නැහැ. හුගක් වෙලාවට අපේ දේවල් අපිටම කරගන්න වුණා. ඒ කාලේ ලංකාවේ තිබුණේ එකම වෛද්‍ය විද්‍යාලයයි. ඒ අවුරුද්දෙදි එකසිය දහතුන්දෙනයි ඒකට ගත්තේ. අම්මගේ දේශපාලන කටයුතු දිහා බලාගෙන හිටියා මිසක් මම වැඩිය පාඩම් කළේ නැහැ. මගේ යාළුවෝ මුළු අවුරුද්දම පාඩම් කරද්දී මම පාඩම් කළේ සති දෙකයි.‍

‍විභාගේදී මොකද වුණේ?

වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු 05 ක් හරි 06 ක් හරි අඩුවුණා. ඒ වෙද්දී මම කිසිම විභාගයක් ෆෙල් වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඇක්වයිනාස් එකට ඇතුළු වෙලා ලෝ කරන්න පටන් ගත්තා. එල්.එල්.බී එකට ‍ඉගෙන ගනිමින් ඉන්න කොට මට පැරිස් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් හම්බ වුණා.

සාමාන්‍යයෙන් ඒ වෙද්දී ලංකාවේ විලාසිතාව වුණේ අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට යන එක. නමුත් ඔබ ඒ වෙනුවට ඒ සඳහා යන්නේ ප‍්‍රංශයට.

ඕක හුග දෙනෙක් අහන ප‍්‍රශ්නයක්.‍ ඇත්තටම ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රංශයට ගිය මුල් ම උපාධි අපේක්ෂිකාව වුණේ මම. මෙහෙමයි. පොඩි කාලේ ඉඳලම මම කොහොමටත් පෙරළිකාරයෙක්. විශේෂයෙන් ම ප‍්‍රංශ විප්ලවය වගේ කාරණා ගැන ලොකු උනන්දුවක් මට තිබුණා. විද්‍යා විෂයයන් කරලා, කලා විෂයයන් කරන්න පටන් ගත්තට පස්සේ මම ලංකාවේ ඒ. ලෙවෙල් වගේ ම ය‍ූකේ ඒ ලෙවලූ‍ත් එක සැරේ කළා.

කලා විෂයයන්ගෙන් ඒලෙවල් කළා. ප‍්‍රංශ භාෂාවත් මම විෂයයක් හැටියට එතැනදී කළා. යූ.කේ. ඒලෙවල් වලට ඉතිහාසය ඉගෙන ගනිද්දී එක් විෂයක් විශේෂ විෂයයක් ලෙස තෝරාගත යුතුව තිබුණා. එතැනදී මම ප‍්‍රංශ විප්ලවය කියන විෂය තෝරා ගත්තා. ප‍්‍රංශ විප්ලවය ගැන පොත් කියවන්න ගත්තට පස්සේ මම ඒකට වශී වුණා.

ඒවා මම ගිල්ලා. ඇත්තටම මගේ කැමැත්ත තිබුණේ පේරාදෙණියට යන්න. නමුත් ලංකාවේ හිටියොත් දේශපාලන කටයුතුවලට හවුල්වෙයි කියලා හිතලා රට යන්න කියලා පවුලේ අය වගේ ම අපේ සමීපතමයන් බල කළා. ඒ වෙද්දී මම අම්මත් එක්ක එක පාරක් එංගලන්තයට ගිහින් තිබුණා. නමුත් එහේ මට ඇල්ලූ‍වේ නැහැ. ප‍්‍රංශයට වශීවෙලා තිබුණ නිසා, එහේ යන්න තීරණය කළා.

අර ශිෂ්‍යත්වය ඔබට ලැබුණේ කොහොමද?

පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව පිරිනමනවාට අමතරව ඒ අවුරුද්දෙදි උපාධි අපේක්ෂකයෙක්ට ප‍්‍රංශ රජය ශිෂ්‍යත්වයක් ලබාදුන්නා. මම ඒකට අයදුම් කළා. මාව ඉන්ටවීව් කළා. තෝරාගත්තා. එහෙම නැතුව මට විශේෂයෙන් දීපු එකක් නෙවෙයි. එතකොට අම්මා විපක්ෂ නායක. ඒ නිසා එයාට අර ගැන මුකුත් බලපෑමක් කරන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. ප‍්‍රංශයේ හිටපු අවුරුදු පහම මම ජීවත්වුණේ ඒ ශිෂ්‍යත්වයෙන්.

ඉගෙන ගනිද්දී රැුකියාවක් එහෙම කළා ද?

ඉගෙනගන්න ගිය නිසා ලොකු රස්සාවල් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අනික ශිෂ්‍යයන්ට රැුකියා හොයාගන්න එක පහසු වුණේත් නැහැ. මම ප‍්‍රංශ ශිෂ්‍යයන්ට ඉංග‍්‍රීසි ඉගැන්නුවා. ඒක පොකට් මනිවලට වැදගත් වුණා. ඒ වගේ ම හරි පහසුවෙන් කළ හැකි ජොබ් එකක් තිබුණා‍. සෙනසුරාදාට, ඉරිදාට අපි හිටපු හොස්ටල් එකේ අතුපතු ගාන අය වැඩට ආවේ නැහැ. ඒ දවස්වල අවශ්‍ය නම් ශිෂ්‍යයන්ට අතුගාන්න පුළුවන්. ඒ වගේ ම අපි හිටපු හොස්ටල් එකේ කෑම එක්ක බීර හා වයින්, විතරක් විකුණන බාර් එකක් තිබුණා.‍ ඒකේ බාර් මේඞ් හෝ බාර් මන් හැටියට වැඩ කරන්න පුළුවන්. මම ඒ තුනම කරලා තියෙනවා.

පැරිසියේ ජීවිතය අල්ලලා ගියාද?

හරි ෂෝක්. පුදුම නිදහසක් තිබුණේ. වාද – විවාදවලට ලොකු ඉඩක් තිබුණා. ශාස්ත‍්‍ර‍ාලයීය උගතුන් රැුසක් ඇසුරු කිරී‍මේ අවස්ථාව මට ලැබුණා. ඊළගට ශිෂ්‍ය අරගලවලට සම්බන්ධ වුණා. ඒ නිසා පොලිසියට පවා යන්න වුණා. ඒත් මාව ඇරෙස්ට් කළේ නැහැ. කවුද කියලා දැනගත්තට පස්සේ, මාව ආපහු එව්වා. එතකොට, අම්මා, ලංකාවේ විපක්ෂනායක. ඊළගට ලාමොන්ඩි පත්තරේ මාස හතරක පුහුණුවක් ලැබුවා. ඒකත් හරි ෂෝක්.

‍71 කැරැල්ල ගැන තියෙන මතකය මොනවගේ ද?

ඔය කැරැල්ලට සහාය ඉල්ලමින්, මම හොඳට දන්න නෑදෑකමකුත් තියෙන මගේ කිට්ටුවන්තයෝ දෙන්නෙක් පැරිසියට ආවා. ඒ වෙද්දී මම, මාක්ස්වාදයට සෑහෙන බරයි.‍ ඒ ඇවිත් දවස් දෙකක්, තුනක් මට කථා කළා. ඒත් ආණ්ඩුව පෙරළුවට පස්සේ කරන දේ ගැන ඒ අය තුළ වැටහීමක් තිබුණේ නැහැ.‍ ඒක කැරැල්ල ගහපු වෙලාවේ හොඳටම පෙනී ගියා.

ඊට පස්සේ ඔබ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අධ්‍යක්ෂකවරියක්‍ ලෙස පත්වෙනවා?

ඔව්. මම මගේ ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනයට තෝරාගෙන තිබුණේ ලංකාවේ ඉපැරැණි ග‍්‍රාමීය සමාජයේ සමාජ ආර්ථීක ව්‍යුහයන් හා එය විකාශනය වූ ආකාරය පිළිබඳව. ඒ නිබන්ධනය සඳහා ක්ෂේත‍්‍ර පර්යේෂණයකට අවුරුද්දකට ලංකාවට ආපු වෙලාවේ කොබ්බෑකඩුව මහත්තයාව මුණ ගැහුණා. ඒ 1972 අගෝස්තුවල. ඉඩම් ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ලෝක අත්දැකීම් ගැන මම එයාට දේශනයක් කරපු වෙලාවේ, අපිට උදව් කරන්න කියලා එතුමා මගෙන් ඉල්ලීමක් කළා.

මගෙත් ඒකට ඒ හැටි අකමැත්තක් තිබුණේ නැහැ. උදව්කරන්නම් ක්ෂේත‍්‍ර රැුකියාවක් දෙන්න කියලා ඒ වෙලාවේ මම කිව්වා. මම එහෙම නැතුව ශ‍ීත කාමරවල වැඩ කරන්න මට උවමනාවක් තිබුණේ නැහැ. ඒකේ සහකාර අධ්‍යක්ෂක තනතුරු කිහිපයකට ඉල්ලූ‍ම් පත් කැඳවපු වෙලාවේ මාත් ඉල්ලූ‍වා. මාව තේරුණා.

වැඩක් කරන්න පුළුවන් වුණාද? වැඩක් කළාද?

මරු වැඩ කළා. එතැනදී විතරක් නෙමෙයි, ජනාවාස කොමිසමේ සභාපතිනිය හැටියටත් ලොකු වැඩක් කරන්න පුළුවන් වුණා. සාමූහික තරුණ ගොවිපළවල් ඇති කරමින් රටේ තරුණ ප‍්‍රජාව අතර ලොකු විප්ලවයක් කරන්න හැකියාව ලැබුණා. ඒක ජාත්‍යන්තරව පවා, ඇගයීමට ලක්වුණා. ජනාවාස ක‍්‍රමය හරහා එදා නිර්මාණය වූ තරුණයන් අතර හිටපු, දොඩම්ගස්ලන්දේ ආර්.ඞී. විමලදාස අද පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙනෙක්.

පසු කාලෙක ඔබ ක‍්‍රියාකාරී දේශපාලනයට එකතු වෙනවා. ඒ තීරණය ගත්තේ ඇයි?

මෙහෙමයි. 72 ඉඳලම මම දේශපාලනය කළා. නමුත් ක‍්‍රියාකාරීව ආවේ නම් 77 න් පස්සෙ තමයි. මම ඒ කාලේත් දේශපාලනය කළේ කිසිම තනතුරක් නැතුවයි. ඒ වෙද්දී මැතිනි හිටියා, අනුර හිටියා. විජය දේශපාලනය කළා. එක පවුලකින් ඒ හොඳටම ඇති නිසා මම ක‍්‍රියාකාරී දේශපාලනයට ආවේ නැහැ. 77 න් පස්සේ තිබුණු හැම ඡුන්දයකදීම පක්ෂේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලිව්වේ මම. පක්ෂය සම්පූර්ණයෙන් පැරදිලා මන්ත‍්‍රීවරු අටට බැස්ස වෙලාවේ ශ‍්‍රීලනිපය කියලා කිව්වේ දිනකර පත්තරේ විතරයි. ඒක මම තනියෙන් පටන්ගත්ත එකක්. මැතිනිය මට රුපියල් ලක්ෂයක් දුන්නා. පක්ෂේ ප්‍රෙස් එක භාර දුන්නා. එච්චරයි. ඒකේ පොඩි මැෂින් දෙකක් තිබුණා.

හැට දෙදෙනෙකුගේ ස්ටාෆ් එකක් එක්ක මම ඒක පටන් ගත්තා. සති දෙකක් යද්දී අපි දිනපතා පත්තරයක් පටන්ගත්තා. දිනමිණ දවසකට 40000 ක් යද්දී අපි 25000 ක් වික්කා.‍ අවුරුදු අටක් එහෙම කරගෙන ගියා. ශත පහක ඇඞ්වර්ටිස්මන්ට් එකක් නැතුව දිනපතා පත්තරයක් ලාබෙට ගෙනිච්චෙ මම විතරයි. හැම පත්තරයකින් ම ශත විසිපහක ලාබයක් මම පක්ෂයට හොයලා දුන්නා. පස්සේ මම මහජන පක්ෂයට යද්ද‍ී පත්තරයත් අරගෙන ගියා.

විජයව මුණගැහුණේ කොහොමද?

ඒ 77 මැතිවරණ කාලේදී. දැනගෙන හිටියට මුහුණට මුහුණ මුණගැහුණේ පක්ෂයෙන් එයාට නොමිනේෂන් දීපු දවසෙයි. ඡුන්ද කාලේ එයා බොරු හේතු හොයාගෙන මාව බලන්න හොරගොල්ලට ආවා ගියා.‍ සමහර දවස්වල හවස හතර පහට ඇවිත්, මම ඈත පළාත්වල රැුස්වීම් ඉවර ‍කරලා ගෙදර එනකල්, හිටපු දවස් තිබුණා. මැතිවරණය ඉවර වුණාට පස්සේ සම්බන්ධය පටන්ගත්තා.

විජයගේ මරණය, ඔබේ ජීවිතයට බලපෑවේ මොන විදියට ද?

විශාල වශයෙන් බලපෑවා.

ඊට පස්සේ ඔබ විදේශ ගතවෙනවා. එහෙම ත‍ීරණයක් ගත්තේ ඇයි?

එහෙම තීරණයක් ගන්න වුණා. ළමයි දෙන්නවයි, මාවයි, මරලා දානවා කියලා කථාවක් ඒ කාලේ ගියා.‍ ඒත් ලංකාව දාලා යන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් අම්මයි, අක්කයි බල කරලා ටිකට් අරන් දීලා, මාව ලංකාවෙන් පිට කළා. ඒ ගිය එක ගැන මම අද සෑහෙන සතුටු වෙනවා.

කවුද ඒ වෙලාවේ උදව් කළේ?

එහෙම විශේෂයෙන් කියලා කවුරුවත් උදව් කළේ නැහැ. මගේ යාළුවෙක් කුලියට අරන් තිබුණු ෆ්ලැට් එකක් මට අඩුවට දුන්නා. මම හිටපු ෆ්ලැට් එක දැකලා දවසක් අම්මා අන්න පටන් ගත්තා. ඊට පස්සේ අම්මා මට මාසෙකට පවුම් තුන්සීයක්, එවන්න හැදුවා. මම ඒක ප‍්‍රතික්ෂේප කළා. එතකොට අම්මා ශ‍්‍රී ලංකා එකේ සභාපති, මම මහජන පක්ෂේ සභාපති. ඒ නිසා අරහම ගත්තොත්, ඒක පගාවක් වෙයි, කියලා හිතලා ඒක ප‍්‍රතික්ෂේප කළා.

ඇයි, ශ‍්‍රීලනිපය දාලා ගියේ?

දාලා ගියේ නැහැ. අපිව පැන්නුවා. විජයව පැන්නුවා. මහින්ද රාජපක්ෂයි අනුර බණ්ඩාරනායකයි, මෛත‍්‍රීපාල සේනානායකයි, එකතුවෙලා එදා වෙනම කල්ලියක් හදා ගත්තනේ. ඊට පස්සේ, මැතිනිව සභාපතිකමෙන් පන්නන්න ඒ අය මහා කලබගෑනියක් පක්ෂය තුළ කළා. ඒ පුරුද්දට තමයි, අදත් එහෙම දේවල් කරන්නේ. පසුව අපි එකතු වී මැතිනියගේ නායකත්වය බේරා දුන්නා. ඒ නිසා එදා පක්ෂයේ ප‍්‍රධානින් දහතුන් දෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටෙව්වා. මහින්ද රාජපක්ෂ කියන්නේ එයින් කෙනෙක්. ඊට පස්සේ අපිම කියලා, ඒ අයගේ තහනම අවුරුද්දකට විතර පස්සේ වෙනස් කළා. පක්ෂයේ සමගිය ගැන හිතලා අපි ‍එහෙම කළා.

ආපහු පක්ෂෙට ආපු මේ අය විජයට විරුද්ධව කේලම් කියන්න පටන් ගත්තා. කුමන්ත‍්‍රණය කරලා අන්තිමට විජයව පක්ෂයෙන් පැන්නුවා. ඒ පන්නනකොට, පක්ෂයේ හිටපු සෑහෙන පිරිසක් මේක හැමදාම ඉවසන්න බැහැ කියමින් අලූ‍ත් පක්ෂයක් හදමු කියලා යෝජනා කළා. මම ඒකට හුගක් විරුද්ධව සටන් කළා. ඒත් ඒ වේලාවේ තිබුණු රැුල්ල එක්ක මට ඒක නවත්තන්න බැරි වුණා. ඒ නිසා මමත් ඒකට එකතු වුණා.

1994 වර්ෂය ආරම්භ වෙද්දි ඔබ රටේ දේශපාලන තරුව බවට පත්වෙනවා. ඉන්පසු දිග හැරෙන ඔබේ පාලන කාලය ගැන විවිධ වූ කියවීම් සමාජයේ තියෙනවා. සමහරු ඔබව නූතන විහාරමහා දේවියට සමාන කරද්දි තව සමහරෙක් චෞර රැුජිනක් විදිහට ඔබව හඳුන්වනවා. ඒ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි….?

සාමාන්‍යයෙන් මම ප‍්‍රශංසාවලට යටවෙන්නේ නැහැ වගේ ම විවේචනවලට යටවෙන්නෙත් නැහැ. මම චෞර රැුජිනක් ය කියලා ලියපු පොතේ පිටුවක උඩ තියෙන දේ, යට තියෙන දේවල් එක්ක සම්පූර්ණයෙන් පරස්පර විරුද්ධයි කියලා ගොඩදෙනෙක් මට කියලා තියෙනවා. ඒ නිසා ඒක සම්පූර්ණ බොරුවක් විත්තිය කියවන ඕනෑම කෙනෙක්ට තේරෙනවාය කියලා මම හිතනවා. ඒකට උත්තර දෙන්න කියලා කවුද මට යෝජනා කරපු වෙලාවේ ඒක මම පිළිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කළා.

මාව දේශපාලනිකව විනාශ කිරීමේ නොනිමි ආශාවෙන් පෙළුනු දේශපාලඥනයකුගේ උවමනාවට ඒ පොත ලිව්වාය කියලා පසුව මට දැනගන්න ලැබුණා. මම ඒක කියන්නේ වගකීමෙන්.

ඔබ කියන පොතේදි විතරක් නෙවෙයි, තව හුග දෙනෙක් ඔබේ පාලන කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් විවේචනය කළා නේද මැතිනිය?

සිද්ධිය මොකක්ද කියලා කියන්නේ නැතුව මට ඒ ගැන කියන්න බැහැනේ.

ජනාධිපති ආරක්ෂක අංශයට පාතාල සාමාජිකයන්ව බඳවගත්තාය කියලා ඔබට එරෙහිව ප‍්‍රබල චෝදනාවක් එල්ල වුණා. ඒක පිළිගන්නවද?

නැහැ කවදාවත් නැහැ.

එතකොට බැද්දගා‍නේ සංජීව ඔබේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කළේ නැත්ද?

මෙහෙමයි. යූඑන්පී ආණ්ඩුව කාලේ මම බස්නාහිර මහා ඇමැති ධුරයට තරග කළ වේලාවේ, මට ආරක්ෂකයෝ තුන්දෙනෙක් ද කොහේද දුන්නා. මහ ඇමැති වුණාට පස්සේ දෙන්නෙක් තව වැඩිපුර දුන්නා. එතකොට ඔක්කොම පහයි. එයින් එක්කෙනෙක් දාලා තිබුණේ මම ගැන තොරතුරු හොයන්න. ඊළගට මහ මැතිවරණයට ඉල්ලද්දි වැඩිපුර ආරක්ෂාව ඉල්ලද්දි දුන්නේ නැහැ. ජනාධිපතිවරණය වේලාවෙදිත් දුන්නේ නැහැ. ඒ වෙද්දි අම්මා, අනුරුද්ධ රත්වත්තේ මහත්තයාගේ මාර්ගයෙන් ඔය කරාතේ එහෙම දන්න, ශ‍්‍රීලනිපයට සම්බන්ධ තරුණයන් පිරිසක් තමන්ගේ ආරක්ෂාවට යොදා ගෙන තිබුණා.

ඒ අයව පුහුණුකරලා ආරක්ෂක වැඩවලට ගත්තා. ඒ අයගෙන් කට්ටියක් මගේ ආරක්ෂාවටය කියලා අම්මා බලෙන්ම වගේ දැම්මා. එතැන බැද්දගානේ සංජීවත් හිටියා. එයා කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ. අපි දිනුවට පස්සේ ඒ අයගෙන් පොලිසියට බැ‍ෙක්‍ෂන්න කැමැතිද කියලා මම ඇහුවා. මම දන්න තරමට එතකොට ඒ අය මුකුත් නරක දෙයක් කරලා තිබුණේ නැහැ. ඔක්කොම බැහැ කියද්දි අරකට හා කියලා කිව්වේ බැද්දගානේ සංජීව විතරයි. එතකොට ඔය බැද්දගානේ සංජීව කියලා නමක් මම දන්නේ නැහැ. මම දැනන් හිටියේ සංජීව කෑල්ල විතරයි. මිනිහා දුවලා පැනලා වැඩ කළා.

ජනාධිපතිවරණ කාලේදි ඩ‍්‍රයිවර්ලව බය කරලා, නිල වාහනයක් අරන් ගිහින් ඒක ඔය සංජීව හප්පලා තිබුණා. මම මිනිහගේ වැඩ තහනම් කළා. ඒ වෙලාවේ නිහාල් කරුණාරත්න පිංසෙන්ඩු කරලා මිනිහව අනිවාර්ය නිවාඩු යැව්වා. ඊට පස්සේ ආ‍යෙත් ජොබ් එක දෙන්න කියලා මගේ ළගට ඇවිත් පින්සෙන්ඩු වුණා. ඒ වෙලාවේ හොඳටම අවවාද කරලා ආපහු ජොබ් එක දුන්නා. ඊට හුගක් පස්සේ දෙදාහේදි විතර මිනිහා පීඑස්ඞී කාඞ්එක පෙන්නලා මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවාය කියලා මට දැනගන්න ලැබුණා. නිහාල් කරුණාරත්නට එන්න කියලා මේ මිනිහව වහාම ගෙදර යවන්න කියලා ඒ වෙලාවේ මම කිව්වා. හා කියලා කිව්වට, මාස ගානක් යනකම් එහෙම යවලා තිබුණේ නැහැ.

නිහාල් කරුණාරත්න ඒ තරම් බලවත් චරිතයක් ද?

මම දන්නේ නැහැනේ. මට බොරු කිය කිය අරයව තියාගෙන හිටියා. එක්දහස් අටසීයක් විතර සිකියුරිටි හිටියා. ඒ ඔක්කොම ගැන හොයන්න මට බැහැනේ. ඒත් පස්සේ සංජීවව ගෙදර යවලා නැති බව මට දැනගන්නට ලැබුණා. ඒ වෙලාවේ මම නිහාල් කරුණාරත්නව ගෙන්නලා වහාම අර පුද්ගලයාව ගෙදර යවන්න නැත්නම් ඔබවත් ගෙදර යවනවාය කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි මිනිහව ගෙදර යැව්වේ. පස්සේ බැද්දගානේ සංජීවව කවුද මැරුවා. ඒකටත් සමහරු මට චෝදනා කළානේ.

ඒ කාලේ මාධ්‍යවේදින් කිහිපදෙනෙකුටත් ප‍්‍රහාර එල්ල වුණා. ඒ ගැනවත් ඔබ දැනන් හිටියේ නැද්ද?

කවුද ඔහොම කියන්නේ?

ඒ කාලේ පිත්තල හන්දිය ළගදිත් මහදවල් මාධ්‍යවේදින්ට පිඑස්ඞීයේ අය ගැහුවා නේද?

ඒක තනිකර බොරුවක්. මගේ කාලේ තරම් මාධ්‍ය නිදහසක් මේ ලංකාවේ මෑතකාලේ කිසිම වේලාවක තිබුණේ නැහැ මොකක්ද ඔය සිද්ධිය. රනිල් වික‍්‍රමසිංහලා, කරු ජයසූරියලා මාව ගෙදර යවන්න කියලා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ඒක අරලිය ගහ මන්දිරයේ පිටිපස්සේ ගේට්ටුව ලගට ආවා. ඒ අවස්ථාවේදි ඒ අයට එන්න දෙන්න එපා කියමින් මගේ ආරක්ෂකයෝ තුවක්කු එළියට දාලා ගේට්ටුව ළග ලැහැස්ති වුණා.

ඒ වේලාවේ මම පෞද්ගලිකව ම‍ගේ මේසෙන් නැගිටලා ගිහින් තුවක්කු ඇදලා අරන් සියලූ‍ දෙනාවම ඇතුළට ගත්තා. ඒ වෙලාවේ හිටපු පොලිස්පති ලකී කොඩිතුවක්කු මගෙත් එක්ක වාද කළා. පොලිසියේ නීතිය අනුව මේ වගේ නීති විරෝධි පෙළපාලියක් එත්දි බලන් ඉන්න පුළුවන්ද කියලා ඔහු ඇහුවා. පෙළපාලියේ කට්ටිය ගේට්ටුව ළගට ඇවිත් කුණුහරප කියලා කෑගහද්දි පොලිසියේ අය බැටන් පොලූ‍වලින් ගහලා ඒ අයව පැන්නුවා. කවුද කියලා බලන් නැතුව ආපු හැමෝටම ගහලා තිබුණා.

ඒක නිත්‍යානුකූල දෙයක් බවයි ඔබ කියන්නේ?

ඔව්.

නමුත් ඔය සිද්ධිය වුණේ අරලිය ගහ මන්දිරයට තරමක් ඈතින් පිත්තල හන්දියේදී නේද මැතිනිය?

නැහැ ගේට්ටුව ළග. මම ගේට්ටුව එහා පැත්තේ ඉඳන් බලන් හිටියා.

මේ වෙද්දි ඔබ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය බොහෝම තදබල ලෙස විවේචනය කරනවා, මහින්දව අගමැතිකමට ගෙනත් රටේ වීරයෙක් කළේ ඔබ නේද?

අගමැති විතරක් නෙවෙයි එයාව ජනාධිපති කළෙත් මම.

අද ඒ ගැන පසුතැවිලි වෙනවද?

අනිවාර්යයෙන්ම. ඒ වෙද්දි වෙන විකල්ප නායකත්වයක් තිබුණේ නැහැ. මහින්දට වැඩිය ඔයගොල්ලෝ හොඳයි, දක්ෂයි, කියලා මං ඒ වෙලාවේ මංගලට, මෛත‍්‍රිට වගේ ම අනුරටත් කිව්වා. මල්ලි පැත්තකින් තියන්න, අනිත් දෙන්නම මට කිව්වේ කොහොම හරි ව්‍යවස්ථාව වෙනස් කරලා තව වාරයක් ඉන්න කියලයි. ඒක කීයටවත් මගෙන් කෙරෙන්නේ නැහැ කියලා මම කිව්වා. ඒ අය හැදුණේ නැහැ. ඒත් මේ මිනිහා හැදුනා. ඒ නිසා මම කපන්න ගියේ නැහැ. එයාව හදා ගන්න පුළුවන් ය කියලා හිතුවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවට පැමිණීමෙන් පස්සේ මොකද වුණේ?

මට හරියට හිංසා කළා. මුලින් ම මගේ ආරක්ෂාව නැති කළා. විශේෂ ප‍්‍රභූන්ගේ ආරක්ෂාවට ඒ කාලේ වෙනම වැඩපිළිවෙලක් මම ක‍්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප‍්‍රධානින්ගේ මූලිකත්වයෙන් වෙනම කමිටුවක් තිබුණා. විශ‍්‍රාම යද්දි මගේ ආරක්ෂාවට කී දෙනෙක් අවශ්‍යදැයි අර කොමිටියෙන් අහපු වෙලාවේ අඩු ගානේ දෙසිය පනහක්වත් සිටිය යුතුයි කියලා ඒ අය මට ලිඛිත වාර්තාවක් දුන්නා. දෙසිය පනහක් එපා, සීයක් ඇති කියලා කියද්දි එකසිය පනහක් ගන්න කියලා අර කමිටුව මට නිර්දේශ ඉදිරිපත් කළා. ඒ එකසිය ප‍නහෙන් පනහක් හිටියේ කොමාන්ඩෝ භටයෝ. පළමුවෙනි අවුරුද්ද ඇතුළත මහින්ද ඒ ඔක්කොම අයින් කළා.

ඒ ඇයි කියලා අහලා මහින්දට විතරක් නෙමෙයි ගෝඨාභයට, ලලිත් වීරතුංගටත් මම ලිව්වා. නමුත් කිසි උත්තරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මහින්ද, උදය ගම්මන්පිල ලව්වා මගේ ආරක්ෂාව ඉවත් කරන්න, මට නිල නිවාසයක ඉන්න අයිතියක් නැහැ, ගෙදරින් පන්නන්න කාර්යාල පහසුකම් දෙන්න එපා කියමින් මට විරුද්ධව නඩුවක් දැම්මා. ඒ නඩුව අහපු හැමදවසේදිම වගේ උසාවියේදී මට කැත විදිහට බැන්නා. නමුත් අර නඩුවෙදි මට මුකුත් කරන්න ඒ අයට බැරි වුණා. මාව ගෙදරින් පන්නන්න බැරිවුණා. ඒත් මගේ නිල නිවාසයේ නඩත්තුවට අවුරුදු පහක් සතපහක් දුන්නේ නැහැ.

ජනාධිපති තනතුරෙන් ඉවත් වුණාට පස්සේ මගේ ඉඩම් විකුණමින් තමයි මම ජීවත් වුණේ. ගෙදර යද්දි මට තිබුණේ ලක්ෂ තිහයි. නමුත් මට වටිනා ඉඩම් තිබුණා. ඉඩම් මම හෝ ගාලා විකුණන්න පටන් ගත්තා. ඒ විකුණලා භාගයක් ළමයින්ට දීලා, ඉතුරු ටික ආයෝජනය කරලා ඒකෙන් මම සැපට ජීවත් වෙනවා. ඒ ටික මට ඇති. සල්ලි නොදීපු නිසා නිල නිවෙස රෙ‍පයාර් කරන්න මම ගිය අවුරුදු පහ තුළදි මිලියන තුන හතරක් අතින් වියදම් කරලා තියෙනවා.

ඊළගට එකදවසක් ඇතුළත සියලූ‍ දෙනාම අයින්වෙන්න කියලා මගේ සිකියුරිටි එකට ඕඩරයක් දුන්නා. මුළු සිකියුරිටි එකම අයින් කළා. සියලූ‍ වාහන, කාර්යාලීය උපකරණ ගත්තා. එහෙම කෙනෙක් තමයි අද නාහෙන් අඩන්නේ. ආපහු මාස එකහමාරකට පස්සේ ආරක්ෂාවට කියලා පනහක් දුන්නා. අදටත් ඉන්නේ ඒ පනහ විතරයි. විසිපස් දෙනෙක් හිටපු මගේ කාර්යාලයත් මහින්ද වහලා දැම්මා. අද මේ ජනාධිපතිතුමා මට අටදෙනෙක්ගේ කාර්යාලයක් දීලා තියෙනවා. එදා මගේ කාලේ ජනාධිපති කාර්යාලයේ, සම්පූර්ණ කාර්ය මණ්ඩලය හැටියට, ඩ‍්‍රයිවර්ස්ලා පියන්ලා ඔක්කොම එක්ක මට හිටියේ දෙසිය අසූ තුන්දෙනයි.

මම අමාත්‍යාංශ හයක් කළා. මහින්දට එක්දහස් හයසීයක් හිටියා. මේ වගේ තව හුගක් දේ කළා. මම එංගලන්තයට ගියහම ගමන් බිමන් යන්න අපේ මහ කොමසාරිස් කාර්යාලයෙන් වාහනයක් දෙන්න කියලා මංගල සමරවීර මහත්තයා විදේශ අමාත්‍යවරයා විදියට හිටපු කාලයේදී නියම කර තිබුණා. නමුත් ඒක කාරුණිකව ප‍්‍රතික්ෂේප කරමින් ඕනෑමනම් සතියකට එක වරුවක් වාහනය එවන්න කියලා ඒ අයට මම දැන්නුවා. මංගල ඇමැතිකමෙන් අයින් වුණාට පස්සේ මේ මනුස්සයා ඒකත් නැවැත්තුවා. එයාර්පෝට් එකෙන් ගන්නයි, ආපසු බැස්සීමයි හැර වෙන පහසුකම් මට දෙන්න එපා කියලා ඒකත් නැවැත්තුවා. මහින්දලා මට සැලකුවේ එහෙමයි.

තව එකක් කියන්න කැමතියි. මහින්ද මුලින් ම, ජනාධිපතිවරණය දිනපු, රිසාල්ට් ආපු එයාගේ හැටවැනි උපන් දිනේ දවසේදි මම සුබපතන්න දුරකථන ඇමතුමක් දීපු වේලාවේ, මිනිත්තු 19ක් මට කෑගහලා කුණුහරුනේ බැන්නා. අවශ්‍ය නම් ඒ වේලාවේ එයාට දිවුරුම් දෙන්න ‍බැහැ කියන්න මට තිබුණා. ඒ වගේ හුගක් දේ කරන්න පුළුවන්කම තිබුණා. අපේ ජාන වෙනස් නිසා ඒ මොනවත් මම කළේ නැහැ.

ඔය ඇරියස් කවර් කරන්න වෙන්නැති මහින්ද රාජපක්ෂ දෙර යැව්වේ?

ඇත්තටම නැහැ. එහෙම අවශ්‍යතාවක් තිබුණා නම්, මීට හුගක් කලින් මොනවා හරි කළ යුතුව තිබුණා. අවුරුදු හයක් මම බලන් හිටියා. එයා හැදෙයි කියලා මම බලාගෙන හිටියා. නමුත් මුකුත් වුණේ නැහැ. මහින්ද මගෙත් එක්ක කතාකරන්න එපා කියලා දෙදහස් හත අට වෙද්දි නියෝග පනවලා තියෙද්දි ශ‍්‍රීලනිප මැති ඇමැතිවරු මට හොරෙන් පණිවුඩ එවන්න පටන්ගෙන තිබුණා. ඇවිත් පක්ෂය භාර ගන්න කියලා මට පණිවුඩ එව්වත් මම බැහැ කියලා කිව්වා.

අවුරුදු හයක් විතර ගියාට පස්සේ රට බේරගන්න ආපහු එන්න කියලා මාව නොදන්න ගම්වල සාමාන්‍ය මිනිස්සු පවා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ යුඇන්පියේ ප‍්‍රධානින් මාව මුණගැහෙන්න එන්න පටන් ගත්තා. එජාපයට සහාය දෙන වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඉදිරියට එන්න කියලා මට ආරාධනා කළා. ඒ එක්කම ස්වාමින්වහන්සේලා, අන්‍ය ආගමික පූජකවරු, ප‍්‍රධාන විදේශ රටවල් කිහිපයක් ම මට ආපහු දේශපාලනයට එන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් කරන්න ගත්තා.

ඒ හැමෝටම කිව්වේ මම හොඳ කෙනෙක් හොයා දෙන්නම් කියන එක විතරයි. එතකොට එහෙම කෙනෙක් ගැන මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. ඒත් ඒ ගැන මට යම් හැගීමක් නම් තිබුණා. එහෙම හිතද්දි, කෙළින් ම මෛත‍්‍රි ගැන තමයි මම හිතුවේ. හොරෙකුට, මිනීමරුවෙකුට, ජාතිවාදියෙක්ට මට සහාය දෙන්න බැහැ. මෛත‍්‍රි කියන්නේ හොරෙක්, මිනීමරුවෙක්, ජාතිවාදියෙක් නෙමෙයි. එයාගේ කථා මම ෆලෝ කළා.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්ක මේ ගැන කථා කළේ කවදද?

ඔහු ආණ්ඩුවෙන් එළියට බහින්න සුමානෙකට කලින්. එතකම්ම මම මේ ගැන ඔහු එක්ක කථා කළේ නැහැ. කාලෙකට කලින් මම මේ ගැන ඔහු එක්ක කථා කළාට ඒ වේලාවේ ඔහු ඒ ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඒ වේලාවේ මමත් එච්චර වැඬේ ඉස්සරහට අරගෙන ගියේ නැහැ. ඒත් රාජපක්ෂලා දිගින් දිගටම මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කළ නොසළකාහැරීම්, හිරිහැරයන්, කොන්කිරීම් අන්තිමට තීන්දුවක් ගැනීමට ඔහුට බලකළා කියලා මට හිතෙනවා.

ඒ අතරතුර රාජපක්ෂ පැරදවීමට අවශ්‍ය නම් විපක්ෂයේ ප‍්‍රබල ශක්තිමත් එකමුතුවක් හදාගන්න කියන පණිවුඩය මම ඒ අයට දුන්නා. මුලදි ඒකට යුඇන්පිය එතරම් කැමැති නොවුනට, පස්සේ අපි ඔවුන්ව ඒකට එකග කර ගත්තා. මහින්ද එලවන සන්ධානයට පදනම වැටුණේ එහෙමයි.

යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය ගැන ඔබ ඉන්නේ සතුටින් ද?

එකක් දෙකක් වැරදුණාට සෑහෙන හොඳට වැඩකටයුතු සිද්ධවෙමින් තියෙනවා. අගමැතිතුමා ඉතාමත් දක්ෂ ලෙස රට පාලනය කරනවා. ඒක අවංකව කිව යුතුයි. ජනාධිපතිතුමා, ඒකට බොහෝම හොඳට සහය දෙනවා.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා කරළියට ආ අවස්ථාවේදි ඔබේ අවවාද අනුශාසනා එක්ක ගමනක් යෑමට ඔහු නිරතුරුවම සූදානම්ව සිටියත් දැන් ඒ ගතිය අඩු වෙලාය කියලා සමහරු කියනවා. ඒක වෙන්වීමක් නෙවෙයිද?

එතුමට මොළේ තියෙනවා. එතුමා කයිවාරු කාරයෙක් නෙවෙයි. දැන් එතුමා ස්වාධීනව කටයුතු කරනවා. ඒකට අපි ඇÛිලිගහන එක හොඳ නැහැ. යම් ප‍්‍රශ්නයක් තියෙනවා නම් අපි ගිහින් කියනවා. එකක් කියන්න කැමතියි මහින්ද රාජපක්ෂ අසූවේ අසූඑකේ කරපු වැඬේ දැන් අලූ‍ත් වටයකින් පටන්ගෙන තියෙනවා. නැවත පක්ෂය බේද කරන්න ඔහු උත්සාහ ගනිමින් ඉන්නවා. මේ වනවිට පක්ෂයේ නිල නායකත්වය ජනාධිපතිවරයා හා එතුමා විසින් පත්කරගත්ත දේශපාලන මණ්ඩලයයි.

ඔවුන් පක්ෂයේ බලය අතට ගෙන, කවුරු හරි විනය විරෝධීව කටයුතු කරනවා නම් ඒ සම්බන්ධව ක‍්‍රියාත්මක විය යුතුයි. එහෙම බලද්දි ශක්තිමත් ලෙස පක්ෂය අතට ගැනීමට කළ යුතු දේ තවම සිද්ධවෙලා නම් නැහැ. දැන් බලන්න පක්ෂයේ ලේකම් සහ සන්ධානයේ ලේකම් අපිව රැුවට්ටුවා. කාටවත් එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්න එපා සියලූ‍ දෙනාවම ගෙනත් ජනාධිපතිතුමාට බාර දෙන්නම් ය කියමින් අපව රැුවට්ටුවා.

හැමෝම නොවුණත් සමහරු ඒකට රැුවටුණා. ජනවාරි අටවැනිදා මේ රටේ සැබවින් ම සිද්ධ වුණේ, දර්ශනයක්, ප‍්‍රතිපත්තියක් ජයග‍්‍රහණය කිරීමක්. හොර, මැරකම් නැති, ශිෂ්ට රටක් බිහි කිරීමේ බලාපොරොත්තුවක් ඒ වෙනුවෙන් පෙළගැසුණු ජනතාවට තිබුණා. ඒ ජනතා බලාපොරොත්තු ආපසු හැරවීමට අර දුෂ්ට ක‍්‍රමයෙන් වාසි ලැබූ සමහරුන්ට ලොකු සිහිනයක් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ සරලව සැහැල්ලූ‍වෙනු හුස්ම ගැනීමේ හැකියාවක් කිසිවෙකුට හෝ නැහැ. සියලූ‍ මිනිමරුවෝ, හොරු තියාගෙන පක්ෂය ආරක්ෂා කරගැන්මද අපේ පරමාර්ථය නැත්නම් පක්ෂය හා රට බේරාගන්න එකද අපේ පරමාර්ථය කියලා මේ මොහොතේ වගකිවයුත්තන් තීන්දු කළ යුතුයි.

මහා ඡුන්දේදි ඔබේ භුමිකාව මොකක්ද?

මම පක්ෂයේ තනතුරු අරගෙන නැහැනේ.

ඒත් පක්ෂය තුළ ඔබේ යෝධ හෙවණැල්ල තියෙනවානේ?

මොකද වෙන්නේ කියලා ඒ වෙලාවට බලමු.

පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබා දුන්නොත් ඒක භාරගන්න ලැහැස්තිද?

මට එක එක්කෙනා යෝජනා කළා. මම බැහැ කිව්වා.

ඇයි බැහැ කිව්වේ?

හැමදාම හැමකෙනාම දේශපාලනයේ සිටිය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම මට දේශපාලනයෙන්, ලබාගන්න කිසිම භෞතික දෙයක් නැහැ. එහෙම ලබාගන්න බලාපොරොත්තුවකුත් මට නැහැ. මට අවශ්‍ය රට හදන්න විතරයි.

සංවාද සටහන
චාමර ලක්ෂාන් කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *